ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු සමුගනී

1947-2020
අප්‍රේල් 30, 2020

”මල්ලී තවමත් මට ඒ කික් එක දෙන්න පුළුවන්”


ඔහු පැවසුවේය. මේ සරසවිය පුවත්පතේ ඡුායාරූපාගාරය ඇතුළතදීය. ඉඩ ඇති නියාව සළකා ඔහු ඒ පාපහර එල්ල කළේය. මගේ මුහුණ අද්දරින් එම පාර ඉගිලී ගියේය. බියක් මෙන්ම සතුටක් ද ඇතිවිය. බිය යන්තම් එහා මෙහා වුණා නම් මා රෝහල් ගත වන නිසාය. සතුට නම් කලකට ඉහත අප රිදී තිරය මත දුටු පහර සියසින් දැක ගන්නට ඉඩ ලැබීමය. ඔහු ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දුය. ජෝශප් මැනුවෙල් ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු උපන්නේ 1940 වසරේ අගෝස්තු මස 7 වැනිදාය. ගම කොටහේනේය. සිංහල සිනමාවට වැඩිම සිනමා ශිල්පින් පිරිසක් බිහි කළ කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහලෙන් සහ ශාන්ත අන්තෝනි විදුහලෙනි.පාසල් අවදියේම බොක්සිං ක‍්‍රීඩාවේ හා මල්ලවපොර සූරයකු ලෙස නම් දැරූ ඇලෙක්ස් අවුරුදු පහලොව වන විටත් කොටහේනේ ආම්ස්ට්‍රොංග් මල්ලව පොර කණ්ඩායමේ සාමාජිකයකු විය. එමෙන්ම ඔහු පිහිනුමට, පාපන්දුවට මළල ක‍්‍රීඩාවට නම් දැරුවේය. ශාන්ත බෙනඩික්ට් සිසුවන් වූ පසුකලක ජනප‍්‍රිය සිනමාකරුවකු වූ ලෙනින් මොරායස් මෙන්ම නැටුම් අධ්‍යක්ෂ රෝනල්ඞ් ප‍්‍රනාන්දු ද ඇලෙක්සැන්ඩර් සමග ඇම්ස්ට්‍රෝංග් මල්ලව පොර සමාජයට පැමැණුන මිතුරන්ය. බස්නාහිර පළාත් පාසල් මල්ලව පොර ශූරයා බවට ඔහු පත්වනුයේ ඒ අවදියේය. අනතුරුව වරායේ රැුකියාවට යන ඔහු 1962 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලිය ක‍්‍රීඩා තරග සඳහා සහභාගිවූයේය . එමෙන්ම 1964 වසරේ ටෝකියෝ ඔලිමිපික් උලෙළ සඳහා මල්ලව පොර සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කළේ ද ඔහුය. 1966 වසරේ බැංකොක් නුවර පැවැත්වූ ආසියානු ක‍්‍රීඩා තරග මාලාවට සහභාගි වූ ඇලෙක්ස් එහි දී පදක්කමක් දිනා ගත්තේය. ඇලක්ස් අය්යා මේ ගැන හැමවිටම පැවසුවේ ක‍්‍රීඩාවෙන් මවිබිමට ජයග‍්‍රහණයක් ගෙනා එකම නළුවා තමා බවය.

ඇලක්සැන්ඩර් ප‍්‍රනාන්දු නම් සටන් නලූ‍වා සිනමාවට පිවිසෙනුයේ වෙන ස්වර්ගයක් කුමටද ? චිත‍්‍රපටයේ ජවනිකාවකිනි. ඒ සිය මිතුරු ලෙනින් මොරායස් ගේ ආරාධනයෙනි. ලෙනින් එහි කැමරා අධ්‍යක්ෂවරයා විය. එහෙත් මේ ජවනිකාව චිත‍්‍රපටයේ අවසන් සංස්කරණයෙන් ඉවත්ව තිබිණ. මේවන විට ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු කොළඹ නගර සභාවේ ක‍්‍රීඩා උපදේශක වශයෙන් රැුකියාව කරමින් සිටියේය. පාසල් මිතුරකු මෙන්ම ලාංකික චිත‍්‍රපට සටන් කලාව නවමානයකට යොමු කළ රොබින් ප‍්‍රනාන්දු ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දුට යළිත් සිනමාවට ආරාධනා කළේය. ඒ රුහුණු කුමාරි චිත‍්‍රපටය සමගය. ඔහු සිනමා ගමන ආරම්භ කැරනුයේ ඒ සමඟය. උසට මහතට සරිලන දේහධාරි ඇලෙක්සැන්ඩර් ට චිත‍්‍රපට ගලා එන්නට විය. සටන් නළුවකු ලෙස සිනමාවට පිවිසිය ද ඔහු ගෙන් එයට වඩා යමක් කළ හැකි බැවි අධ්‍යක්ෂවරු වටහා ගත්හ. ඇලෙක්ස්ගේ රංගන හැකියාව මුලින්ම වටහා ගත්තේ ටයිටස් තොටවත්යන්ය. ඒ හාරලක්ෂේ චිත‍්‍රපටයෙනි. ඇලෙක්සැන්ඩර් එහි වීරේ නම් චරිතය රඟපෑවේය. රොබින් සහ ඇලෙක්ස් අතර හාරලක්ෂෙ චිත‍්‍රපටයේ එන සටන සිහංල චිත‍්‍රපටයක එදා මෙදා දුටු හොඳම සටන්වලින් එකක් ලෙස අවිවාදිතය. යසපාලිත නානායක්කාර ගේ සහායට ඩැනී චිත‍්‍රපටයෙන් ද ප‍්‍රධාන චරිතයක් නිරුපණය කළ ඔහු ඇගේ ආදර කථාවේ පෙම්වතාවිය. ශ‍්‍රී මදාරා, සරදියෙල්ගේ පුතා, පසු මිතුරෝ ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු ප‍්‍රධාන චරිත මැවූ කැපී පෙනෙන චිත‍්‍රපට අතර වෙයි. සරදියෙල්ගේ පුතා චිත‍්‍රපටයේ සිරාගේ චරිතය මෙන්ම පස මිතුරෝ චිත‍්‍රපටයේ රග පෑ වේලූ‍ නම් දෙමළ සිරකරුගේ චරිත ඔහුට ලැබුණ වටිනා අවස්ථා විය. ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු රඟපෑ 

හැම චිත‍්‍රපටයකම පාහේ ඔහු කැපී පෙනිණ. ඔහුගේ ජවාධික සටන් නිර්මාණය ප‍්‍රාණවත් හා තාත්වක විය. ඒ සියල්ලම කාලයේ හැටියට පමණක් නොව වර්තමානයේ පවා ඇඟ කිළිපොළා යන සටන් විය. සිංහල සිනමාවට රොබින්-ඇලෙක්ස් ගෙනා සටන් විලාසය ඒ වනවිට අපට මුලූ‍මනින්ම ආගන්තුක සම්ප‍්‍රදායක්විය. එය ඒ වන විට ඉන්දියානු චිත‍්‍රපටයක වුව දැක ගත නොහැකි විය. මේ නිසාම සිනමා තිරයේ පමණක් නොව පේ‍්‍රක්ෂකයන් ද ආවේශ වන සුලූ‍ විය.

ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු සිනමාවේ හැමවිටම වීරයකු නොවීය. එහෙත් බොහෝවිට වීරයාට පණ ලැබුණේ ඔවුන්ගේ ප‍්‍රතිවීර ක‍්‍රියාදාමයන් සමඟය. ඒනිසා ඇතැම් චිත‍්‍රපට වල වීරයාට වඩා ඔහු කැපී පෙනිණ.

ඇලෙක්සැන්ඩර් සිනමාව එන්නට පෙර දෙමළ වේදිකාවේ නළුවකු විය. ජුලියස් සීසර් ලෙස රඟපෑවේ ඔහුය. පසුකලෙක ද ඔහු වේදිකා නට්‍ය කිහිපයකම චරිත නිරූපණය කළේය. කෙසේ වෙතත් ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු වැනි සිනමා නළුවන් බිහි වූයේත් පැවැතියෙත් සිනමාවේ ස්වර්ණමය යුගයේය. ඔවුන්ගේ කාලයත් සමග සිනමාවේ දිප්තිය ද අඩුවිය. ඔහු ලාංකික දෙමළ භාෂිත චිත‍්‍රපට කිහිපයක ද ප‍්‍රධාන චරිත නිරූපණය කළේය. යාර් අවල්, එංගලීල් ඔරුවන්, රත්තතින් රක්කමේ, මේ අතරිනි කිහිපයකි.

දැන් මතකද? ආත්ම පූජා, හතර දෙනාම සූරයෝ, එදත් සූරයා අදත් සූරයා, මාතර ආච්චි, තුෂාරා, දහකින් එකෙක්, අහස් ගව්ව්, හොඳට හොදයි, හිත හොඳ මිනිහෙක්, සිකුරුලියා, කවුද රජා, හරිම බඩු තුනක්, මරුවා සමඟවාසේ, හිතුවොත් හිතුවාමයි, යකඩයා, හරි පුදුමයි, විසි හතර පැය, රක්තා, ක‍්‍රිස්තු චරිතය,මල්දෙණියේ සිමියොන් වැනි චිත‍්‍රපට රාශියක රඟපෑ ඇලෙක්සැන්ඩර් අවසන් වරට රඟපෑවේ පුතා මගේ සූරයා චිත‍්‍රපටයේය.

චිත‍්‍රපට සිය ගණනක රඟපෑව ද ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු ධනවතකු නොවිය. සිනමාවට නොපැමිණියා නම් විශ‍්‍රාම වැටුපක් සහිත රැුකියාවක් තිබුණායැයි ඇලෙක්ස් අය්යා වරක විස්සෝප විය. සිනමාවේ එකල ලද ආදායම් ගැන වරෙක ඔහු මා සමග පැවසු කරුණක් මෙහි සදහන් කරන්නේ කිසිදු අපහාසයක් කිරීමේ චේතනාවෙන් නොවන බව පැවසිය යුතුය. ඉස්සර අපි සල්ලිවලට විහිළු කළා. දැන් අපිට සල්ලි විහිළු කරනවා.

එහෙත් ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු සියපුතු අනෝජන් සහ දියනියන් වූ අනුෂ්කා සහ ආශා සමග භාර්යාව අනෝමා සමග සතුටින් දිවි ගෙවුවේය. ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු මිය ගිය බව ඊයේ (29* දා උදේ මට දුරකථනයෙන් කථා කර පවැසුවේ අපේ පාඨකයකු වූ ඩබ්ලිව්.ජේ.පේ‍්‍රමලාල් හිතවතාය. එයට සති කිහිපයකට පෙර දැඩි ලෙස රෝගාතුර වූ ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ රංගවේදියාණන් ගැන සැළ වූ ගරු අග‍්‍රාමාත්‍ය තුමන්ගේ මැදිහත්වීමෙන් ඔහු කොළඹ මහා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු යොදා තිබිණ. ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු රංගවේදියා අද සවස වත්තල දී අවසන් ගමන් යනු ඇත. මට සරදියෙල්ගේ පුතා චිත‍්‍රපටයේ ඔහු රඟපාමින් ගයන ගීයක් සිහිපත් වෙයි.

කවුදෝ මිනිසාගේ දෛවේ පෙරලෙන්නේ

සන්තෝසෙන් ලොව ඉන්නට ඉඩ දෙන්නේ

කවුද අනේ අත්වැල මගෙ බිඳලන්නේ

කාටත් පොදුයි ජීවිතේ