රටට වාසනා වේවා

පියෙකුගේ ගී පද පුතෙකු විසින් ගයන දුර්ලභ අවස්ථාවක්
මැයි 14, 2020

 
 රටට ආදරේ කරන ඕනෑම පුරවැසියකුගේ අරමුණ රටට වාසනා වේවා යන්නයි. පුංචි සංධියේ පටන් අපට ඉගැන්වූයේ ලංකාවට ලක් මෑණියන් කියාය.ඒ වදන නිසා නිතැතින්ම රටට ආදරේ කරන්නට රටට ළෙංගතු වන්නට අප පෙලඹිණ. රටේ පිනට උපන් අය නිසාද රට වාසනාවට පත් වෙයි. වීරෝදාර රණ විරුවෝ, සුව විරුවෝ, ගොවි විරුවෝ යන මෙකී නොකී පිරිවර නිසා රටට යහපත් කලක් උදාවේ. ඔවුනට කරනා ගෞරවය නිසා ඔවුන් අගයමින් කලාකෘතීන් බිහිවිය. විශේෂයෙන් ගීත සාහිත්‍යය තුළ ඊට ඔනෑතරම් උදාහරණ සපයා ගන්නට පුළුවන. ඉකුත් දිනයකදී තවත් ඒ අන්දමේ උපහාර ගීයක් එළිදැක්විණ. එහි සිතුවිල්ල රෝපණය වුණේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ සිතෙහිය. දේශපාලන ලොවේ ප‍්‍රබල චරිතයක් වූ ඔහුට කලාව අමුතු විෂයයක් වන්නේ නැත. හොඳම නිෂ්පාදක ලෙස දෙවරක්ම සරසවිය සම්මාන දිනා වාර්තාවක් තැබූ ආචාර්ය බන්දුල ගුණවර්ධන මීට ප‍්‍රථමද ගීත රචනයේ යෙදී ඇත්තේය. එහෙයින් මෙවර හිතට නැඟු‍ණ පදපෙළ අපූරුවට ගැළපුවේය.
 
 රටට වාසනා වේවා යනුවෙන් ආරම්භ වූ එය ගායනා කිරීමට සුදුසුම කෙනාට ලබාදුන්නේය. ඒ වෙන කවුරුවත් නොව තමාගේම ආදරණීය පුත‍්‍රයාය. එතැන් පටන් මේ රටට වාසනා වේවා නිර්මාණය වූ අන්දම ගැන හඬ අවදි කළේ ආචාර්ය බන්දුලගේ පුත් සහන් ගුණවර්ධනයි.
 
 මේක මගෙ පළමු ස්වනිර්මාණය. ඉකුත් දවස්වල අපට නිවෙස්වලටම වෙලානෙ ඉන්න වුණේ. ඔය අතරතුරදි තාත්තට මේ අදහස හිතට ඇවිල්ලා තියෙනවා. මේ මොහොතේ රට වෙනුවෙන් බොහෝ පිරිසක් මහන්සි වෙලා වැඩ කරනවා. අපේ ආරක්ෂක සේවයේ ඉන්න අය, ගොවි මහතුන් කම්කරුවන් වගේ උදවියට නිසි වටිනාකමක් දීලා අගැයීමක් මේ කළේ, ඇත්තටම ඔවුන් රටට වාසනාවක් නිසා. තාත්තා මේක ලිව්වාට පස්සේ සංගීතවත් කරලා දුන්නේ තරුපති මුණසිංහ. රවීන්ද්ර ගුරුගේ video එකක් හදලා දුන්නා. මේ වනවිට හදම tube හරහා song එක release කළා. පසුගිය අඟහරුවාදා තමයි මාධ්‍යට නිකුත් කළේ.
 
 ඔබ ගැන කෙටි හැඳින්වීමක් කළො,කොහොමද ඔබ සංගීත පැත්තට යොමුවෙන්නේ?
 
 මං අධ්‍යාපන හැදෑරුවේ කොළඹ රාජකීය විදුහලෙන්. ඉස්කෝලේ සාගා කියලා ප‍්‍රසංග මාලාවක් කළා. අපි තමයි ඒක පටන් ගත්තෙ. මම ඒකට වාදකයකු විදිහට එකතු වුණා. මගේ instrument එක වුණේ වයලීනය. මම වැඩිය ගායනයට යොමු වුණේ නැහැ, මොකද ගායකයෝ ඕනෑතරම් හිටියා. වාදකයෝ තමයි හිඟ. පස්සේ කාලෙක මහචාර්ය සනත් නන්දසිරි යටතේ විශාරද දක්වා සංගීතය හැදෑරුවා.
 
 ඔබේ පියා කලාලොවේ සම්මානිත චරිතයක්. ඔහු මොනවගේ උපදේශයක්ද දුන්නේ ඔබ කලා ලොවට ආගමනය වෙද්දි?
 
 මොළේ කල්පනා කරලා වැඩ කරන්න කිව්වා. ඇත්තටම මම music කරන්න එන්න හැදුවේ මීට වසර ගාණකට කලින්. ඒත් පියා ඒක නැවැත්තුවා. ඔහු මාව උසස් අධ්‍යාපනයට යොමු කළා. ආර්ථික විද්‍යා උපාධියත් ව්‍යාපාර අධ්‍යනය පිළිබඳ පශ්චාත් උපාධිය දක්වාත් මම ඉගෙනගන්නේ ඒ මගපෙන්වීම මත. දැන් තමා music කරන්න පටන් ගත්තේ.
 
 
 
 රටට වාසනා වේවා ගීයේ
 
 පද මාලාව.
 
 රටට වාසනා වේවා
 
 රටට වාසනා
 
 ඇසක් මෙන් රට රකින
 
 දිවා ? මඟ සරන
 
 වීර රණවිරු සෙබළ
 
 රටට වාසනා වේවා
 
 රටට වාසනා..
 
 සුව සහන සලස්වන
 
 මනස සුවපත් කරන
 
 හෙද වෙද සුවසේවා
 
 රටට වාසනා වේවා
 
 රටට වාසනා..
 
 සුන්දර සරුසාර ගෙවතු
 
 බත බුලතින් පිරි කෙත් වතු
 
 කිරුළ දරන ගොවි රජවරු
 
 රටට වාසනා වේවා
 
 රටට වාසනා..
 
 ජල විදුලි මඟ නැගුම්
 
 පතල් කම්හල් ඉදි කෙරුම්
 
 වැඩ බිමෙහි වැඩ කරන ජනයා
 
 රටට වාසනා වේවා
 
 රටට වාසනා..