සුෂාන්ත් සිං රාජ්පුත් නඩුව වෙනත් අතකට

අගෝස්තු 6, 2020

මේ වන විට පුද්ගලයන් 40 කට වැඩි පිරිසකගේ ප්‍රකාශ සටහන් කර ගෙන

කෝටි ගණනක සැක කටයුතු ගනුදෙනුවක්?

බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් පසුගිය ජුනි 14 වැනිදා උදෑසන මුම්බායි, බන්ද්‍රා හි පිහිටි නිවසේදී ගෙල වැළලා ගෙන මියගොස් සිටිය දී සොයා ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා ගෙන ආවේය. සුෂාන්ත්ගේ මූලික මරණ පරීක්ෂණයෙන් හෙළි කර සිටියේ, ඔහු මානසික අවපීඩනයෙන් පෙළෙනු බවයි. කෙසේ නමුත් මේ වන විට ඔහුගේ මරණය සම්බන්ධ පරීක්ෂණ කටයුතු වෙනත් අතකට හැරී ඇත. සුෂාන්ත්ගේ පියා ක්‍රිෂ්ණ ක්‍රිෂෝර් සිං විසින් බිහාර් පොලිසියට ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව සුෂාන්ත්ගේ මරණය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේදී රුපියල් කෝටි 15 ක් වටිනා සැක කටයුතු ගනුදෙනුවක් සිදුව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. එම පැමිණිල්ල සිය දිවි නසා ගැනීමට අනුබල දුන් බවට චෝදනා කරමින් සුෂාන්ත්ගේ පෙම්වතිය රියා චක්‍රවර්තිට එරෙහිව ඉදිරිපත් කර ඇත. රංගන ශිල්පී රියා චක්‍රවර්ති, ඇගේ සහෝදරයා සහ පවුලේ තවත් පුද්ගලයින් හය දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

එම පැමිණිල්ලට රියා සුෂාන්ත්ට මානසික හිරිහැර කළ බවත්, ඔහුගේ දුරකතනය තහනම් කරමින් පවුලේ සාමාජිකයන් සමඟ කතා කිරීමට ඔහුට ඉඩ නොදුන් බවත් සඳහන් විය. සිය වෘත්තිය ස්ථාපිත කිරීමේ උත්සාහයක් ලෙස රියා සුෂාන්ත්ගේ වෘත්තීය සම්බන්ධතාවලින් ප්‍රයෝජන ගත් බවත් එය කර්මාන්තය තුළ ඔහුගේ ප්‍රතිරූපයට විශාල හානියක් සිදු කළ බවද එහි සඳහන් වේ. හිටපු කළමනාකරු දීෂා සාලියන්ගේ සියදිවි නසා ගැනීමේ නඩුව මගින් ද රියා සුෂාන්ත්හට තර්ජනය කළ බවට සුෂාන්ත්ගේ පියා චෝදනා කර සිටී. සුෂාන්ත් සියදිවි නසා ගැනීමට දින කිහිපයකට පෙර සුෂාන්ත්ගේ හිටපු කළමනාකාරිණිය වූ දීෂා සාලියන් ද සියදිවි නසාගෙන තිබුණේ මුම්බායිහි මහල් නිවාසයක 14 වැනි මහලේ පිහිටි ඇයගේ නිවෙසේ ජනේලයෙන් බිමට පැනීමෙනි.

සුෂාන්ත් සිං රාජ්පුත්ගේ අභාවයෙන් දින කිහිපයකට පසුව බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් සහ කරන් ජොහාර් ඇතුළු පුද්ගලයින් අට දෙනෙකුට එරෙහිව ප්‍රාදේශීය අධිකරණයකට නීතිඥ සුධීර් කුමාර් ඔජා විසින් අපරාධ පැමිණිල්ලක් ද ඉදිරිපත් කළේය. ආදිත්‍ය චොප්රා, සජිඩ් නදියද්වාලා, සංජේ ලීලා බන්සාලි, භූෂාන් කුමාර්, එක්තා කපූර් සහ අධ්‍යක්ෂ දිනේෂ් යන අය ද මෙම පැමිණිල්ලේ චෝදනාකරුවන් ලෙස නම් කර සිටි නීතිඥ ඕජා එම පැමිණිල්ල ඔස්සේ සඳහන් කර සිටියේ මෙම පුද්ගලයින් අට දෙනා කුමන්ත්‍රණයක් යටතේ සුෂාන්ත්ට සියදිවි නසා ගැනීමට බල කර ඇති බවත් එබැවින් එය මිනීමැරුමක් බවත් ය. මුම්බායි පොලිසිය ද සුෂාන්ත්ගේ දිවි නසා ගැනීමට පිළිබඳව විමර්ශනය කරමින් සිටින අතර මේ වන විට පුද්ගලයින් 40 කට වැඩි පිරිසකගේ ප්‍රකාශ සටහන් කර තිබේ. ඒ අතරට මහේෂ් භාත්, ශේඛර් කපූර්, ආදිත්‍ය චොප්රා, සංජේ ලීලා බන්සාලි, මුකේෂ් චබ්රා සහ කරන් ජොහාර් සතු ධර්මා ප්‍රොඩක්ෂන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී යන අය ද ඇතුළත් වේ.

මේ අතර රියා චක්‍රවර්ති ද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර සුෂාන්ගේ මරණයට තමා ව්‍යාජ ලෙස සම්බන්ධකර ඇති බව එහි සඳහන් කර ඇත. තමා සුෂාන්ත් සමඟ ප්‍රේම සම්බන්ධයක් පැවති බවත් ඔහුගේ මරණයෙන් දැඩි කම්පනයකට පත්ව සිටින තමා මේ වන විට මරණ තර්ජනවලට ලක්ව ඇති බවත් රියා එහි ඇතුළත් කර තිබේ.