දේවිකා මිහිරාණි විජය ගැන ලියූ ආදරණීය කවි පෙළක්...

අගෝස්තු 6, 2020

 

ඔබ මා, දරු දෙදෙනා, බෑණා හා මිනිබිරිය අතැර ගොස් 08. 08. 2020 දිනට පුරා සිව් වසරක් සපිරෙයි. අද රටේ පවතින තත්ත්වය මත සුපුරුදු ලෙසට වාර්ෂිකව පවත්වනු ලබන ලේ දන්දීමේ පින්කම කළ නොහැකි බැවින් විජය ගුණ සමරා මෙසේ සටහනක් තැබීමට ඔබේ ආදර බිරිඳ දේ්විකා වන මම අදහස් කර ගතිමි. විජය ගුණ සුවඳ චිරාත් කාලයක් වේදිකාවේ, සිනමාවේ හා රූපවාහිනියේ රැඳී පවතින බව නොරහසකි. මා දන්නා තරමින් සොහොයුරු කලාකරුවන්, හිතවතුන් හා ඥාතීන් සැමටම ඔබට හැකි පමණින් සෑම අවස්ථාවකදීම අත හිත දීමට මැළි නොවුණු, මිනිසුන් අතර, ඔබ උසස්ම මිනිසෙකි. සොඳුරුතම කලාකරුවෙකි. විජය ඔබ නොමැරුණු මිනිසෙකි.

 

රන් හූයකින් අතඟිලි බැඳි දිනේ පටන්
පසුපස ආමි මා ඔබෙ සෙවණැල්ල ලෙසින්
සිව් වසරක් පිරුණි ඔබ මා අතැර ගොසින්
පිං පෙත් පුරමි පුතු හා පන්සලට ගොසින්

ඉරබටු තරුව නැත අඳුරුයි ආකාසේ
ඔබ නැති අඩුව තවමත් දැනෙනවා නිවසේ
පින්කම් කළ නොහැක පෙර මෙන් අද දවසේ
මා දෙන මෙපින් අනුමෝදන් වනු සුවසේ

සුවසෙත නීති සුරකිමි පිළිවෙත් පුරමින්
සුපුරුදු දිනට දහමට අද තිත තබමින්
නිහඬ සිතින් පන්සල වෙත පිය නඟමින්
සමරමි සිව් වසර පිං පෙත් පමුණුවමින්

කරුණා ගුණය තම හද තුළ රඳවගෙන
තනිවම නොකා කන බොන දේ බෙදාගෙන
වියපත් සැමට ආදරයෙන් අත දෙමින
කල් ගෙවූ මැතිඳු අද ඔබ ඉන්නේ කොතැන

ගත කළ දිවිය ගැන සිතනා විටදි ඉබේ
හිමියනි මසිතටත් සිසිලස සුවය ලැබේ
රැස් කර කුසල් බලයෙන් මතු භවය ඔබේ
සැපවත් වේවා! මෙත් බුදුු හිමි පහස ලැබේ

නැති බැරි කෙනෙක් ආ විට පිටුපෑවෙ නැත
අසරණ කෙනෙක් දුටු විට ගැරහුවේ නැත
තිබෙනා දෙයක් දීමට මැලි වුණේ නැත
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වුණේ නැත

බෑණනුවන් සමඟ දුර රට සිටිනා දියණී
රන් රුවන් සේම දෙගුරුන්ගේ ගුණය දනී
ආදරයෙන් පිය ගුණ නිති සමරමිනී
නිරතුරුවෙන් පිනට දහමට අත දෙමිනී

ආදර මිනි පහන අපෙ නිවහනට එක්වුණා
මුත්තනුවන්ගේ සිත ආදරයෙන් පිරුණා
දින සති මාස ගණනින් කාලය ගෙවුණා
තනිකර මිනිබිරිය ඔබ රහසෙම පිටත්වුණා

කොතැනක සිටින මුත් දෙනෙතින් අත්වේවා
රැස් කර ගත් පිනෙන් ඔබෙ භවයම සෙත් වේවා
සසර වසන තුරු ඔබ මා හමුවේවා
මෙත් බුදු පා සෙවණේ ඔබ නිවනෙන් සැනසේවා