සරසවිය සම්මාන දිනූ . . .

හොඳම නිෂ්පාදකවරු, හොඳම නළු නිළියන්, ජනපි‍්‍රය නළු නිළියන්, ජනපි‍්‍රය නිෂ්පාදකයන් මෙවර පාර්ලිමේන්තුවට
අගෝස්තු 13, 2020

පාර්ලිමේන්තු ඉතිහාසයේ මුල්වරට හොඳම නිෂ්පාදක ලෙස සරසවිය සම්මාන දිනූ තිදෙනෙක්ම මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත. ඒ හැරත් මෙරට සිනමාවට දායක වූ කිහිප දෙනෙක් ද සිටිති. ඒ අතර විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මැතිවරණ ඉතිහාසයේ වාර්තාගත මනාප සංඛ්‍යාවක් ලබාගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාය. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.

මහින්ද රාජපක්ෂ මහතා සේනාධිනායක ලෙස කටයුතු කරමින් තිස් වසරක් පැවති කුරිරු යුද්ධය අප රටින්  තුරන්  කොට දැමීය. ඔහු ඉන් බොහෝ කලකට ඉහතදී සේනාධි නායකයකු ලෙස රිදී තිරයේ චරිත මැවූ වගට සිනමා ලෝලීන්ගේ මතකයේ ඇතුවාට කිසිදු සැකයක් නැත. සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ නොමියෙන මිනිසුන් සිනමාපටයේ මහින්ද රාජපක්ෂ මහතා සේනාධිනායකයකුගේ චරිතය නිරූපණය කරනු ලැබීය. පසු කලෙක බැද්දෙ සෙනෙහස ඇතුළු ටෙලි නිර්මාණ කිහිපයක එතුමා චරිත රංගනයෙන් දායක විය.

මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් කලකට ඉහතදී සිරිමැදුර සහ සුද්දිලාගේ කතාව යන චිත්‍රපට නිපදවන ලදී. නොමඳ විචාරකයන්ගේ අවධානයට පාත්‍ර වූ එම නිර්මාණ අතරින් සිරිමැදුර පරාක්‍රම නිරිඇල්ලගේ අධ්‍යක්ෂණයකි. ධර්මසිරි බණ්ඩාරනායක සුද්දිලාගේ කතාව අධ්‍යක්ෂණය කළේය. මෙම සිනමාපටයන් ද්විත්වයම හොඳම සිනමාපට ලෙස සරසවිය සම්මානයට පාත්‍ර වූයේය. ආචාර්ය බන්දුල එම සම්මානයන් ලබා ගන්නා ලදී. එමෙන්ම ඔහු මේ දිනවල තවත් වාර්තාවක් තබා ඇත්තේ ද නිව්ස් පේපර්ස් චිත්‍රපටයේ   නිෂ්පාදක හැටියටය. 

ගීතා කුමාරසිංහ හොඳම නිෂ්පාදක  ජනප්‍රියම නිෂ්පාදක, හොඳම නිළිය සහ  ජනප්‍රියම  නිළිය ලෙස සරසවිය සම්මාන දිනා ගෙන  සම්මාන ඉතිහාසයේ වාර්තා තබා ඇත්තේය. පාලම යට සහ ලොකු දුව යන සිනමාපට ඇය නිෂ්පාදනය කළ අතර එකී  සිනමාපටයන්හි රංගනය වෙනුවෙන් ඇය වසරේ හොඳම නිළිය සහ ජනප්‍රිය නිළිය ලෙස අභිසෙස් ලැබුවාය.  එමෙන්ම ගීතා පාලම යට හා ලොකු දුව උදෙසා හොඳම නිෂ්පාදිකාව වූ අතර පාලම යට වෙනුවෙන් වසරේ ජනප්‍රියම නිෂ්පාදිකාව හා ජනප්‍රියම නිළිය වූවාය. අනුරාගයේ අනන්තය, සළඹක් හඬයි ගීතා    නිෂ්පාදනය කළ චිත්‍රපට අතර වේ. ගීතා ජයග්‍රහණය ලැබුවේ ගාලු දිස්ත්‍රික්කයෙනි.  දෙදහස් දහඅට සරසවිය සම්මාන උලෙළේ හොඳම නිෂ්පාදක මෙන්ම ජනපි‍්‍රයම නිෂ්පාදක වූ ආචාර්ය ගුණපාල රත්නසේකර ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ජනතා මනාපය ලැබුවේය. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදි හෙතෙම මනාප ලැයිස්තුවේ තෙවැනි තැන දිනා ගත්තේය. ආචාර්ය රත්නසේකර ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ‘මහරජ ගැමුණු’ සිනමාපටයේ නිෂ්පාදකවරයාය. ඔහු සරසවිය සම්මානයට පාත්‍ර   වූයේ එකී සිනමාපටය වෙනුවෙනි. හොඳම සහ ජනප්‍රිය නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ රන්ජන් රාමනායක ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටියි. නිලම්බරේ සිනමාපටයේ කළ රංගනය වෙනුවෙන් ඔහු මෙලෙස සරසවිය සම්මාන හිමි කර ගත්තේය. කිහිපවරක්ම ජනප්‍රිය නළුවාගේ සම්මානය දෝතට ගත් ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කරනුයේ දෙවැනි වතාවටය. ඒ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

ගාමිණි ෆොන්සේකා, විජය කුමාරතුංග ප්‍රධාන චරිත මැවූ සක්විති සුවය සිනමාපටය නිෂ්පාදනය කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතාද මෙවර පාර්ලිමේන්තුව  නියෝජනය කිරීමට  නැවතත් පත්ව සිටියි. ඒ මහනුවර  දිස්ත්‍රික්කයෙනි. කලක් එතුමන් ජනමාධ්‍ය විෂය බාර ඇමති ධූරය ද දැරුවේය. එමෙන්ම අතිශය ජනප්‍රිය ටෙලි හා සිනමා නළු උද්දික ප්‍රේමරත්න ද ඉහළ ජනතා මනාපය ලබා ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වාසනාව හිමි කර ගත්තේය.  සමනල සංධ්වනිය, මහරජ ගැමුණු, ආලෝකෝ උදපාදි, පත්තිනි, රෂ් ආදී  සිනමාපටයන්හි එකිනෙකට වෙනස් චරිත මැවූ උද්දික ඉතින් ඊට පස්සේ, කළු අරලිය වැනි ටෙලි සිතුවම් රැසක ප්‍රධාන භූමිකාව නිරූපණය කළේය.  උද්දික පාර්ලිමේන්තුවට වරම් ලැබුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙනි. 

ගාමනී සිනමාපටය නිර්මාණය කරමින් සිංහල සිනමාලෝලින්ට නවමු අත්දැකීමක් එක් කළ රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ද දෙවැනි වතාවට පාර්ලිමේන්තුව නියෝජනය  කිරීමට වරම් හිමි කර ගත්තේය. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ජනතා මනාපය හිමි කර ගත්තේ ද ඔහුය. ආචාර්ය වීරසේකරයන්ගේ නවතම  සිනමාපටය ශ්‍රී සිද්ධා ළඟදීම තිරගතවීමට නියමිතය. ලෝක සිනමා ඉතිහාසයේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන ලද දෙවැනි රියර් අද්මිරාල්වරයා ආචාර්ය සරත් වීරසේකරය.

පබා ටෙලි සිතුවමේ පියල් ලෙසට රඟපෑ පියල් නිශාන්ත නැවතත් ජනතා මනාපයෙන් පාර්ලිමේන්තු වරම් දිනා සිටියි. දේශපාලන වැඩ කටයුතු හේතුවෙන් කාර්යය බහුල වූ හෙතෙම පසුකාලීනව කලාවෙන් තරමක් ඈත් විය. එහෙත් පබා නාට්‍යයේ කළ චරිතය අදටත් ප්‍රේක්ෂක මනසින් ගිලිහී නැති බවට සැකයක්  නැත. ඔහු නියෝජනය කරනු ලබන්නේ කළුතර දිස්ත්‍රික්කයයි. රෝහිත අබේගුණවර්ධන ද පාර්ලිමේන්තුවට තේරී පත් වූ තවත්  කලාකරුවෙකි. ඔහු නිර්මාණ කිහිපයකටම සිය රංගන දායකත්වය සැපයීය. ඔහු කළුතර දිස්ත්‍රික්කයෙන් තරග වැදිණ. රංජිත් සියඹලාපිටිය නළුවකු ලෙස අවස්ථා ගණනාවකම අපට හමු විය. ඔහු කැපී පෙනෙන  චරිතයක් රඟපෑවේ  ජාතික නාළිකාවේ විකාශය වූ “මුල්” නැමැති ඓතිහාසික කතා මාලාවකය. එහි ඔහු ශ්‍රී වික්‍රම රාජසිංහ ලෙස චරිත මැව්වේය. රංජිත් සියඹලාපිටිය කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත් විය. පාර්ලිමේන්තුවට මෙවර නියෝජනය කිරීමට වරම් ලැබූ තවත් නිෂ්පාදකවරයෙකි ආචාර්ය විජේදාස රාජපක්ෂ. ඔහු සුනෙත් මාලිංග අධ්‍යක්ෂණය කළ නිදහසේ පියා ඩී. එස්. සිනමාපටයේ ප්‍රධාන නිෂ්පාදකවරයාය. ඔහු කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදිණ. 

කලක් පුංචි තිරය හැඩ කළ ජයන්ත කැටගොඩ ද ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් හිමි කරගෙන තිබේ. ඔහු ද දේශපාලන දිවිය හේතුවෙන් කලා ලොවට විරාමයක් තැබූ තැනැත්තෙකි.