ජ්‍යෙෂ්ඨ පුරවැසි තරුව කවුද?

අගෝස්තු 13, 2020

වයස අවුරුදු හැට පැන්නට පස්සෙ ජීවිතයේ සැඳෑ සමය ආරම්භ වෙනවා. මේ කාලයේ පිනක් දහමක් කරගෙන ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලන්නයි බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නේ. ඔය අතරේ සමහරු තරුණ කාලෙ සාක්ෂාත් කරගන්න බැරිවුණ අරමුණු ගැන හිතනවා. අපරාදෙ එදා මට අර අවස්ථාව ලැබුණා නම් ජීවිතය කොතරම් වෙනස් වන්නට තිබුණාද කියා පසු තැවෙන්නට පුළුවන්. විශේෂයෙන් කලාවට ළැදි එවන් හිතෛෂීන්ට එහෙම ගිලිහුණු මොහොතවල් බහුල වශයෙන් තියෙනවා. සැඳෑ සමය ගෙවන වැඩිහිටියන්ගේ කලා හැකියාවන් යම් යම් අවස්ථාවන්වලදී අප දකිනවා. ඒත් ඒ අයට මතුවන්න තැනක් තිබුණේ නැහැ. ඒ හිදැස පුරවාලමිනුයි දෙරන 60+ තරඟාවලිය ආරම්භ වන්නේ. මේ වන විට එහි අදියරයන් දෙකක් නිමයි. තෙවැන්න මේ දිනවලදී පැවැත්වෙනවා. එහි අවසන් තරඟය මෙම මස 16 වැනිදා සවස හතයි තිහට දෙරණ නාළිකාව ඔස්සේ සජීවීව විකාශයවීමට නියමිතයි. එහි තරඟ වැදීමට සිටින තරඟකරුවන් තිදෙනෙකි. ඒ. ඩබ්ලියු. අයි. නුවන් පෙරේරා, ජී. පී. සෝමරත්න සහ මිල්ටන් මලවිආරච්චි වේ. සංගීත විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද රෝහණ බෝගොඩ සහ විශාරද ශෂිකා නිසංසලා විනිසුරුවරුන් ලෙස ක්‍රියා කරමින් සිටියි. ඔවුන් ඇතැම් අවස්ථාවන්වලදී අසීරුතාවන්ට ද මුහුණපායි. 60+ නියෝජනය කරන තරඟකරුවන් එක හා සමානව දක්ෂතා ඇත්තෝය. ඔවුන්ගෙන් තරඟ වට අවසනදි ඉවත් කරන තැනැත්තා කවුද කියා එක එල්ලයේ පැවසීමට ද එඩ්වඩ් ඇතුළු විනිසුරු මඬුල්ලට නොහැකි වන අවස්ථා ද අප දැක තිබේ. සිය තරුණ කාලයේදී ඉටු කර ගත නොහැකි වූ සොඳුරු ප්‍රාර්ථනාවන් 60+ වේදිකාව මතදී විකසිත වන්නේ නරඹන්නන්ගේ ද දෑසට කඳුළක් නංවමිනි. පෙර අදියරයන්හි ජය ලැබුවෝ පසුකාලීනව ප්‍රසංග වේදිකාවට ද නැතුවම බැරි චරිත බවට පත් විය.

විශාරද එඩ්වඩ් ජයකොඩි

මේ තරඟාවලිය නිසා මමත් අලුත් වුණා කිව්වොත් වැරදි නැහැ. මෙතැන ඉන්නෙ බොහෝ විට තරුණ කාලෙ තම අභිප්‍රායන් ඉටු කරගත නොහැකි වූ පිරිස. සමහරුන්ට අවස්ථා ලැබිලම නැහැ. මෙතැනට එන හැමෝම වගේ හැට පැනලනෙ. එතනත් පොඩි විනෝදයක් තියෙනවා. හැමෝම රසකාමියෝ. සඟවන්න දෙයක් නැහැ මේ වයසත් එක්ක තරගාවලියට එන ඇතැම් අය අසනීප තත්ත්වවල ඉන්නේ. ඔවුනට විනිශ්චය දෙන්න ගියාම තමයි අපි අසීරුතාවයන්ට පත් වෙන්නේ. මෙතනදි තව කාරණයක් මට කියන්න ඕන. මේ තරඟවලට එන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ දුවා දරුවන් පුදුමාකාර විදිහට ඔවුනට තරඟයට සහභාගි වෙන්න උදව් කරනවා. නිවාඩු දාලා පවා එන්නේ. ඒත් සමහර වැඩිහිටියන්ට ගෙවල්වල බලපෑම් නිසාම මේකට එන්න බැහැ. අනේ මහත්තයෝ අපිට ගෙදරින් යන්න දෙන්නෙ නැහැනෙ කියලා මහ තොටේදි අපට හමු වන අය කියනවා. මං මේ වෙලවේ ඉල්ලිමක් කරනවා එවන් වූ අයට දැන්වත් තමන්ගේ මාර්ගය හදාගන්න දෙන්න කියලා.

 

ශෂිකා නිසංසලා

මේ තරඟාවලියේ මුල සිටම විනිශ්චය මණ්ඩලයේ හිටියා. මම එම කාරණාවම භාග්‍යයක් කොට සලකනවා. මොකද මේ වගේ තරඟයක් ලංකාවේ පවත්වන්නේ පළමු වතාවට. තරුණ තරුණීයන්ට ඕන තරම් තරඟ තියෙනවානෙ. මෙතැනට එන වැඩිහිටියෝ විශ්‍රාම සුවයෙන් පසුවන අය. හැබැයි ජවසම්පන්නව ඔවුන් තමන්ගේ ඉදිරිපත් කිරිම් සිදු කරනවා. මම මේ දවස්වල කොහේ ගියත් මගේ නිර්මාණවලට වඩා මිනිස්සු අහන්නේ 60+ ගැන. ඒකෙන් තේරෙනවා මෙය කොතරම් ජනප්‍රිය ද කියලා.

 

රෝහණ බෝගොඩ

වයස අවුරුදු අසූව අනූව අයත් මේ තරඟාලියට සහභාගි වුණා. එතනින්ම පේනවා මේකට කොච්චර උනන්දු ද කියලා. ඔවුන් සිං කරනවා බලන් ඉන්න ආසයි. ඉදිරිපත් කිරීම් හරිම පවර්ෆුල්. මේක ඔවුනගේ ගෝල්ඩන් ටයිම් එකක්. රැකියාවක නියැළිලා දරුවො මල්ලො හදල සියලු බරෙන් නිදහස් වෙලයි ඔවුන් තරඟයට සහභාගි වන්නේ. මටත් එක අතකින් ආත්ම තෘප්තියක් ලැබෙනවා මේ වගේ තරඟයක විනිසුරුවරයකු ලෙසට සහභාගි වීම තුළින්. කෙසේ හෝ අවසන් තරගයට තේරී පත් වූ තිදෙනාට මං හදවතින් සුබ පතනවා. ඔවුන් තිදෙනාම එක හා සමාන දක්ෂතාවය ඇති අය.

දෙරණ 60+ අවසන් තරඟාවලිය නියෝජනය කරන තරඟකරුවන්

ඩබ්ලියු. අයි. නුවන් පෙරේරා

නුවන්ගේ ගම ඇහැලියගොඩ, විලේගොඩ. වයස අවුරුදු හැට පහයි. වැඩිපුරම ගයන්න කැමැති මිල්ටන් පෙරෙරාගේ ගීත.

ජී. පී. සෝමරත්න

සෝමරත්න ගිරිවුල්ල ගම පදිංචිකරුවෙක්. වයස අවුරදු හැට හතයි. වැඩිපුරම ගයන්න කැමැති ප්‍රියා සූරියසේනගේ ගීත.

මිල්ටන් මලවිආරච්චි

සරසවිය පුවත්පතට විශේෂ ළෙංගතුකමක් දක්වන මිල්ටන්ගේ වයස අවුරුදු හැත්තෑ පහයි. ඔහුගේ පදිංචිය ගම්පහ. මිල්ටන් වැඩිපුරම ගයන්නේ සී. ටී. ප්‍රනාන්දුගේ ගීත.

 

දෙරණ 60+ නිෂ්පාදක මණ්ඩලය:

විධායක අධ්‍යක්ෂ - මාධව මඩවල

උප සභාපති ප්‍රධාන විධයක නිලධාරි - ලක්සිරි වික්‍රමගේ

වැඩසටහන් අධ්‍යක්ෂිකා - ශර්මිලා ධර්මරාසා

අධීක්ෂණ නිෂ්පාදනය - විමුක්ති රුද්‍රිගු සහ චමින්ද තෙන්නකෝන්

සහාය නිෂ්පාදනය - අංජන උදිත් සහ සහන් වරිගජ්‍යෙෂ්ඨ

පිටපත් රචනය - ධම්මික විජේවික්‍රම

සංස්කරණය - රඛිත දික්කුඹුර

ග්‍රැෆික් නිර්මාණ කටයුතු - ප්‍රවීණ් පීරිස්

කතනය - විශ්ව ලංකා

සංගීතය - රොකී ප්‍රමුඛ අසනි