මහසෙන් රජු වුණා නුඹ මට අප්පච්චී

බන්දුල විජේවීරට කඳුළු ගෙනා ආදරණීය ගීතයක්
අගෝස්තු 13, 2020

මව් සෙනෙහස ගැන ලියවුණු ගීත ගැන ඕන තරම් අපි කතාබහ කරල තියෙනවා. එහෙත් මවු සෙනෙහෙ හා සමානම පිය සෙනෙහස කොයි තරම් අරුමයක් ද කියලා මම අත්දැකීමෙන්ම විඳලා තියෙනවා. ‘පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදි’ කියලා මාලිනී ජයරත්න ලිව්වෙත් ඒ හින්දම වෙන්න ඇති. ගැහැනියකට මාතෘත්වය කිරුළක් වගේම පිරිමියෙකුට පීතෘත්වය කිරුළක්.

පීතෘත්වය ගැන එහෙම සටහනක් තබන්න හිතුණේ පියෙකු ගැන කියවෙන අපූරු ගීතයක් පසුගිය දිනක අහන්න ලැබුණු නිසයි.

 

මව් සෙනෙහසින් මගේ ජීවය පිබිදෙද්දී

හිරු කිරණින් ඒ ලෝකය බබළද්දී

මිණිහිරි වැවේ සුළඟින් මා නැළවෙත්දී

මහසෙන් රජු වුණා නුඹ මට අප්පච්චී

ගොයමට ලියැද්දට නුඹෙ සිත බැන්දාය

මහ වන මැදින් තනිමඟ ගිය ගිජිඳාය

සිසු පරපුරක නෙත් පෑදූ වියතාය

මගේ අප්පච්චි නුඹ පැරකුම් නිරිදාය 

ගීයක අරුත සිතුවම් කළ අප්පච්චී

ගහ කොළ වැලට සෙනෙහස දුන් අප්පච්චී

සියතොන් ගේ හඬට පෙම් බැඳි අප්පච්චී

සඳස් කවක් මෙනි නුඹ සිත අප්පච්චී

මොහොතින් මොහොත වියපත් වී දවස ගෙවෙයි

පාලුව හුදකලා බව ජීවිතය වෙලයි

මුදා හැරි සසර බැමි නුඹ විඩා නිමයි

මගේ අප්පච්චි නොසැලෙන මහ මිහිඳු ගිරයි...

ගැහැනියකගේ ජීවිතය පුරා වැටෙන දැවැන්ත  සෙවණැල්ල තමන්ගේ පියා. අම්මගේ ආදරය, සෙනෙහස, කරුණාව, දයාව මැද්දේ ගැහැනු සිතකට මහා ලොකු විශ්වාසයක් ආරක්ෂාවක්, රැකවරණයක් දැනෙන්නේ පියාගේ හෙවණ යට. ජීවිතේ පටන් ගත්ත තැන් සිටම පියාගේ හෙවණැල්ල ගැහැනු හිතකට දැවැන්ත ආරක්ෂකයෙක් කියලා දැනෙන්නේ ඒ හින්දයි. ඒ වගේම ජීවිතේ තමන්ට හමුවන පරමාදර්ශි පිරිමි චරිතය වෙන්නෙත් පියායි. මේ ගීතය  රචනා කරලා තිබෙන්නෙත් තමන්ගේ ආදරණීය පියා තම පරමාදර්ශි චරිතය කරගත් කාන්තා චරිතයක්. ඇය දමයන්ති අත්තනායක. ලාංකේය ගීත  රචනා කලාවට ප්‍රවිශ්ට වන තවත් කුසලතා පූර්ණ ගීත රචිකාවියක්.

ඇය තම පියා උපමා කරන්නේ මහසෙන්, පැරකුම් වැනි අපේ ඉතිහාසයේ අමරණීය රාජ වංශයකට. පියා පිළිබඳ ඈ තුළ උපන් ගෞරවය, භක්තිය සේම අභිමානය කෙතරම් ද කියලා ඈ අපට දනවන්නේ එහෙම. ඇගේ පියා ස්වභාදහම ප්‍රිය කළ සොභා දහමට ආදරය කළ ගුරු භවතෙක්. මේ ගී පද අපට පසක් කළේ සිය පියාගේ ජීවන රිද්මයෙන් ඇය ලෝකය දැකි අපූර්වත්වයයි. මෙබඳු කවි පද බඳින්නට, සෞන්දර්යකාමි හිතක් ඈට තිළිණ වන්නට ඇත්තේ පියාගේ ආභාෂයෙන් වන්නට ඇත.

ගීතය ගායනා කරනුයේ ප්‍රවීණ ගායන ශිල්පී බන්දුල විජේවීර විසිනි.  සංගීතය නිර්මාණය කර ඇත්තේ ද ඔහු විසිනි. ගීතය රචනා කළ දමයන්ති අත්තනායක ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියකි. වෙනත් විෂයකින් වෘත්තීය ජීවිතය ඇරඹුව ද ඇය කුඩා කල සිටම කවියට, ගීතයට පෙම් බැන්දියකි. අප්පච්චි ගීතය තැටිගත කරන ලද ඇගේ ප්‍රථම ගීතයයි.

 “පුංචි කාලේ ඉඳලම මට පුරුද්දක් තිබුණා ගී පද කවි පද ලියලා. මම විශ්වාස කරනවා ඒ හැකියාව මට ලැබෙන්න ඇත්තේ මගේ පියාගෙන් කියලා. මගේ පියා 60-70 දශකයේ බිහි වූ ගුරුවරයෙක්. මම දැක්කා ඔහු හැම පැත්තකින්ම ස්වයංපෝෂිත මනුස්සයෙක් බව. මගේ පියා පරිසරයට, සතා සීපාවට, ගහට වැලට, ඇලට දොළට හරියට ආදරය කරපු කෙනෙක්.ඒ වගේම ජීවිතේ බොහොම සන්සුන්ව ගත කරන හැම දෙයක් දිහාම බොහොම උපේක්ෂා සහගතව බලන්න පුළුවන් පුද්ගලයෙක්. මගේ පරමාදර්ශි චරිතය වුණේ ඔහු. ඉතින් මගේ පළමු ගීතය මම ඔහු වෙනුවෙන් පුද කරනවා. අද මට මගේ ජීවිතේ කිසියම් තැනක ඉන්නවා නම්, මගේ ජීවිතේ තුළ වඩවා ගත්ත මානුෂික වටිනාකම්, මම ලෝකයා සමඟ ගනුදෙනු කරන විදිය මේ සියල්ල මගේ පියා තුළින් මට ලැබුණු දේවල්.’

ඈ සිය පියා ගැන කතා කළේ මහත් වූ අභිමානයකින්. ගීතේ කියවෙන ‘අප්පච්චී’ ඇගේ විතරක් අප්පච්චි  නොවෙයි කියලා මට සිතුණා. හැම දරුවෙකුගේම හිතේ තමන්ගේ පියා වෙනුවෙන් ගොඩ නැඟුණු මහා ලොකු ප්‍රතිරූපයක් තියෙනවා. ඒ ප්‍රතිරූපයට සම කරන්න ආයෙ කිසිවක් නෑ. ඒ හින්ද හැම තාත්තා කෙනෙක් වෙනුවෙන්ම හැම දරුවෙක්ගෙම හිතේ මෙවන් ආදරණීය පදවැල් ගෙතෙන්න මේ ගීතය උත්තේජනය වේවි.

ගීතය ගායනා කරන ප්‍රවීණ ගායන ශිල්පී බන්දුල විජේවීර ගීතය ගැන මෙහෙම කිව්වා.

 ‘දමයන්තිව මම මීට කලින් අඳුනගෙන හිටියේ නෑ. ඇය මේ ගීතය මට දීලා කිව්වා මේකට තනුවක්  දාලා දෙන්න කියලා. මේ වචන ටික දැක්කම මට කඳුළු ආවා. ඇය ඉතාම සංවේදීව තමන්ගේ පියාට ඇති ආදරය අකුරු කරලා තිබුණා. මට විශ්වාසයි මේ ගීතය ඉතාම ජනප්‍රිය ගීතයක් බවට පත් වෙයි කියලා.’

ගී පද රචනා කලාවට කුළුඳුලේ සම්ප්‍රාප්ත වන ඇයට දිගු ගමනකට සුබපැතුම් එක් කරන්නෙමු.

ඇය තම පියා උපමා කරන්නේ මහසෙන්, පැරකුම් වැනි අපේ ඉතිහාසයේ අමරණීය රාජ වංශයකට. පියා පිළිබඳ ඈ තුළ උපන් ගෞරවය, භක්තිය සේම අභිමානය කෙතරම් ද කියලා ඈ අපට දනවන්නේ එහෙම. ඇගේ පියා ස්වභාදහම ප්‍රිය කළ සොභා දහමට ආදරය කළ ගුරු භවතෙක්. මේ ගී පද අපට පසක් කළේ සිය පියාගේ ජීවන රිද්මයෙන් ඇය ලෝකය දැකි අපූර්වත්වයයි. මෙබඳු කවි පද බඳින්නට, සෞන්දර්යකාමි හිතක් ඈට තිළිණ වන්නට ඇත්තේ පියාගේ ආභාෂයෙන් වන්නට ඇත.