මේ හැන්දෑවට අතීතයක් ඇත

සරෝජා හේවාවිතාරණ
අගෝස්තු 20, 2020

පි - මේ හැන්දෑවට අතීතයක් ඇත

පෙම් මල් යායේ සුවඳ දිගේ

ගැ - මේ ආදරයට මහා දුකක් ඇත

ඒ දුක ගීයට නඟනු කෙසේ

පි - ගංගාවෝ ඉවුරින් සැනසී

තාලයකට ගලතී

ඉවුරු තලා ගං දෙගොඩ තලා නොයතී

ගැ - සාගරයට ගඟ යනු පෙර දී

බාධක පෙර නිමිතී

තාල කුණාටුව ගං දිය මඩිනු ඇතී

පි - ආදරයට පදනමක් ඇති

කාලය දුක් නොදෙතී

පාර කියා සිත් සනසනවා නියතී 

ගැ - කාලය පියඹයි වියරු වැටී

ලෝකය බලා සිටී

ආල වසන්තය හැමදාමත් නොමැතී

මේ දිනවල නිතර ඇහෙන මේ ගීතයක් එක්ක අලුත් හඬක මිහිර  දැනෙන්න ගත්තා. ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ සමඟ මේ ගීතය ගයන ඇය පසුගිය දිනක අපට හමු වූණා. ඇය විශාරද සරෝජා හේවාවිතාරණ. ගීතයේ තනුව හා සංගීතය ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේගෙන්. ගී පද  රචනය ප්‍රවීණ ගී පද රචිකා යමුනා මාලිනී පෙරේරාගෙන්. දිවුල්ගනේ, නවරත්න ගමගේ සමඟ යමුනා මාලිනී එකතුව අපූරු රස භාවයක මිහිරියාව දනවන්නක්. ඊට එක්වන නවතම  හඬ පෞරුෂය විශාරද සරෝජා හේවාවිතාරණ. ඇය වෘත්තියෙන් සංගීත ආචාර්යවරියක්. මේ මොහොත වන විටත් කොළඹ විශාඛා විද්‍යාලයේ සංගීත ආචාර්යවරිය වශයෙන් කටයුතු කරනවා. මෙරට ගීත කලාවට ඇය අමුත්තියක්  නෙවේ. සරල ගී ගායිකාවක් වශයෙන් මෙරට ස්ථාපිත වුණේ මීට බොහෝ කාලයකට ඉහතදී. දරුවන්ගේ  දෙනෙත් පාදන්නට කැප වූ නිසා ඇගේ ගමන මඳක් ප්‍රමාද වුණා.

 “මගේ ගම මාතර. මම මූලික අධ්‍යාපනය ලැබුවේ මාතර  සුජාතා බාලිකා විද්‍යාලයෙන්. ඒ කාලේ තමයි මට මගේ මුල්ම සංගීත ගුරුවරයා මුණ ගැසුණේ. ආතර් බෝවලගේ සර්. සර්ගෙන් මම  වයලීන් වාදනය ඉගෙන ගත්තා. ඊට පස්සේ 1970 දී අපේ මව්පියන් අපිට උගන්වන්න අපිත් අරන් කොළඹ ආවා. ඒ පාර මම 7 වසර පංතියට නුගේගොඩ අනුලා විද්‍යාලයට ඇතුළත් වුණා. මම උසස් පෙළ සමත් වෙනකම්ම ඉගෙන ගත්තෙ මේ පාසලේ. ඒ කාලේ මම මහාචාර්ය දයා රත්නසේකරයන් යටතේ සංගීතය හැදෑරුවා. ඔය අතරම නන්දා මාලිනියගේ පංති පැවැත්වුණු තැනින්  සෝමසිරි ඉලේසිංහ මහතා සහ පුෂ්පමාලා සුබසිංහ මහත්මිය යටතේ සංගීතය ඉගෙන ගත්තා. 

සරෝජා සංගීතයට දස්කම් පානුයේ කුඩා කල සිටයි. කොළඹට පැමිණි පසු ඒ හැකියාවන් ඔප මට්ටම් කර ගැනීමටත් ඒ සඳහා උදාවුණු අවස්ථාවන් වැඩි දියුණු කර ගැනීමටත් ඇයට හැකි වුණා. ඒ අනුව 1981 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ළමා සංගීත මණ්ඩපයට ළමා ගායිකාවක් විදියට සම්බන්ධ වෙනවා. මෙතනදි තමයි ඇය ප්‍රවීණ ගායන ශිල්පිණී විශාරද සුජාතා අත්තනායක මහත්මියගේ පුහුණුව යටතට වැටෙන්නේ. ඒ අනුව ළමා ගීත රැසක් ඈ ළමා මණ්ඩපය වෙනුවෙන් ගායනා කරනවා. සරෝජා උසස් පෙළ කලා අංශයෙන් සමත් වෙලා සංගීතය හදාරන්න සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙනවා. එතනදි ඇයට තම හැකියාවන් තවදුරටත් වඩා වර්ධනය කර ගත හැකි හොඳ ගුරුවරු සමුදායක්  හමු වෙනවා.

මට විශ්ව විද්‍යාලයේදී මහාචාර්ය සනත්  නන්දසිරි සර්ගෙන් ඉගෙන ගන්න ලැබෙනවා. ඊට පස්සේ මම එතුමාගේ පෞද්ගලික ශිෂ්‍යාවක් බවටත් පත් වෙනවා. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපාධිය දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් සහිතව සමත් වෙනවා වගේම සනත් නන්දසිරි ගුරු පියාණන් යටතේ භාත්ඛණ්ඩේ සංගීත විශාරද විභාගයටත් ඉගෙනගෙන ඉන් සමත් වෙනවා.

සරෝජාගේ  ගුරු ජීවිතය ඇරඹෙන්නේ  සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙන්මයි. ඇය විශ්ව විද්‍යාලයේම බාහිර  කථිකාචාර්යවරියක් ලෙස කලක්  සේවය කරනවා. පසුව ඇය ගුරු වෘත්තියට එක්ව බොරැල්ල සීවලී මහා විද්‍යාලයේ සංගීත ආචාර්යවරිය බවට පත් වෙනවා. වසර දෙකක ගුරු සේවයෙන් පසු 1999 දී ඇය කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ සංගීත ආචාර්යවරිය ලෙස පත්ව එනවා. ගුරු ජීවිතය තුළ ඇය අතිශයින්ම කාර්යශූර ගුරුවරියක් බවට පත්වෙනවා. දරුවන්ගේ විෂයානුබද්ධ සංගීත ආචාර්යවරිය වූවා සේම විෂය  බාහිර ක්‍රියාකාරකම් තුළදී ද, පාසලේ විවිධ සමාජ සංස්කෘතික ක්‍රියාකාරකම්වලදී ද ඇගේ සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් වෙනවා. මේ නිසාම ඈට ඇයව අමතක කර ඒ වෙනුවෙන් කැප වෙන්න සිද්ධ වෙනවා.

 “මම විශ්ව විද්‍යාලයෙන් පිටවුණ අලුතම ගුවන් විදුලි සරල ගී පරීක්ෂණයට පෙනී හිටියා. ඒ අනුව මම ඒ ශ්‍රේණියේ සරල ගී ගායන ශිල්පිණියක් බවට ශ්‍රේණිගත වුණා. විවිධ වැඩසටහන් සඳහා ගුවන් විදුලියේ ගී ගායනා කරන්නත් මට අවස්ථාව ලැබුණා. 1995 දී මම ගුවන් විදුලි සරල ගී වැඩ සටහනකට ගීත 04 ක් ගායනා කළා. ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර, ප්‍රියානන්ද විජේසුන්දර සහ ආචාර්ය අජන්තා රණසිංහ ඒ ගීත රචනා කළා. සංගීත නිර්මාණය කළේ මහාචාර්ය සනත් නන්දසිරි, නිමල් ජයකොඩි සහ ස්ටැන්ලි පීරිස් විසින්. එහෙම දිගින් දිගටම මට ගායන ලොවේ ඉදිරියට යන්න නොහැකි වුණේ මගේ ගුරු ජීවිතය තුළ මම අතිශයින්ම කාර්යබහුල වීම නිසයි. ඔහොම ඉන්න කොට තමයි යමුනා මාලිනි පෙරේරා මට ලියලා දුන්න මේ දිනවල ඇහෙන මේ ගීත දෙක මම කළේ. ඇත්තටම යමුනා අක්කා තමයි ආයෙත් සැරයක් මාව මේ පැත්තට ගේන්න උනන්දු කළේ. ඇත්තටම කීවොත් මේක මගේ ජීවිතේ නැවත ඉපදීමක් වගේ. ඉදිරියටත් අලුත් ගීත කීපයක්ම කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ සංගීත ජීවිතයට මට විශාල ධෛර්යක් දෙන, සහයෝගයන්  ලබා දෙන මගේ දයාබර  සැමියා පිළිබඳ මේ මොහොතේ සඳහන් කරන්න ඕන. ඒ වගේම මාත් සමඟ යුග ගී ගායනයට එක්වුණ කරුණාරත්න දිවුල්ගනේ මහතා සහ  ලක්ෂ්මන් විජේසේකර මහතාත්, මගේ  සංගීත දිවියට සැමදා ආශිිර්වාද එක් කළ මහාචාර්ය සනත් නන්දසිරි ගුරු පියාණන්, මල්කාන්ති නන්දසිරි මහත්මිය ඇතුළු සියළු දෙනාම මේ මොහොතේ ආදරයෙන් මතක් කරනවා.

සරෝජා ප්‍රවීණ ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකරයන් සමඟ ගැයූ  මේ ගීතයත් ආදරණීය ගීත රසවිඳින ඔබේ සිත් සනසාවි.

පි - සිතින් මා තැවෙන මොහොතේ

ඇවිත් ළඟට හිනැහෙන්නට

මතක් කළේ කවුරු

ගැ - දැවෙන තැවෙන හිත සනසා

යළිත්  නුඹට හිනැහෙන්නට

මං ගත්තේ කඳුළු

(තනුව / සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ)