කලාභූමියේ අලුත්ම නවාතැන

අගෝස්තු 27, 2020

මෙරට සෞන්දර්ය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පුරා දශක තුනකටත් එහා ගිය ඉතිහාසයක් ඇති කීර්තිමත් නාමයක් නුගේගොඩ ‘කලාභූමි’ ආයතනයට තිබෙනවා. ලාංකේය කලා ක්ෂේත්‍රයේ බැබළෙන නම් රැසක් කලා භූමියේ පහස ලබමින් ක්ෂේත්‍රයට පැමිණි අයුරුත් නොයෙක් වර අප අසා තිබෙනවා. සෞන්දර්යකාමී දක්ෂ දූ දරුවන් රැසක් මෙරට කලා ක්ෂේත්‍රයටත්, සෞන්දර්ය අධ්‍යාපන ක්ෂේත්‍රයටත් දායාදා කළ කලා භූමියට තිස් පස් වසරක් සපිරෙනවා. ඒ නිමිත්තෙන් කලා භූමි ආයතනය එළඹෙන අගෝස්තු 29 වැනිදා උදේ 10.30 ට එළඹෙන සුබ මොහොතින් අලුත් තැනක විවෘත වෙනවා.

දශක තුනකට එහා ගිය කලා භූමියේ ඉතිහාස කතාවත් අහන්න ලස්සනයි. කලා භූමිය ආරම්භ වෙන්නේ මිතුරන් තුන් දෙනෙකුගේ ආදරණීය මිතු දමක විශ්වාසය පෙරටු කොට ගෙන. මේ මිතුරෝ තුන් දෙනා තමයි ආචාර්ය රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර සහ විශාරද ආනන්ද වීරසිරි. තුන් දෙනාම රජයේ සංගීත විද්‍යාලයෙන් උපාධිය දිනා ගත්තෝ. කලා භූමිය ආරම්භ වෙන්නේ 1985 වර්ෂයේදී. නම යෝජනා කරන්නෙත් මේ තුන් දෙනාගේම ප්‍රාණ සම මිත්‍රයෙක් වන ප්‍රවීණ ගීත රචක කුලරත්න ආරියවංශ.

වසර තිස් පහකට පස්සෙත් අලුත් තැනක ආරම්භ වෙන ‘කලා භූමිය’ වගේම එහි ආරම්භක සාමාජිකයින්ගේ සහෝදර බැම්ම මහ පවුරක් වගේම ශක්තිමත්ව පවතිනවා. තුන් දෙනාම වෙනුවෙන් අපේ කතාබහට එකවුණු රෝහණ වීරසිංහයන් ‘කලා භූමියේ’ ඉතිහාස කතාව සැමරුවේ බොහොම ආදරයකින්.

‘අපි කලා භූමිය ආරම්භ කරත්දි එහි අනුශාසකවරු විදියට පත් කර ගත්තේ පුවත්පත් කලාවේ නොමැකෙන නාමයක් රැන්දූ ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ ශූරීන් සහ මහාචාර්ය ආරියරත්න කළුආරච්චි. මට තාමත් මතකයි ‘කලා භූමිය’ ආරම්භ කිරීමේ උත්සවයට පැමිණි පිරිස්. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, පණීභාරත, ඩන්ස්ටන් ද සිල්වා, විජය කුමාරතුංගයන් ඇතුළු ක්ෂේත්‍රයේ නමක් රැන්දූ ජ්‍යෙෂ්ඨයන් රැසක් අපිට ආශිර්වාද කරන්න පැමිණියා. ඇත්තටම ඒ ආශිර්වාදය දශක තුනකටත් එහා ගිය ශක්තිමත් දීර්ඝ ගමනකට අපිට සැබෑ ආශිර්වාදයක් වුණා.

ගෙවුණු වසර ගණනාව පුරා කලා භූමියෙන් සිප් පහස නිවා ගත් සිසු දරු දැරියන්ගේ ගණන අපමණය. ඉන් බොහෝ පිරිසක් මෙරට සෞන්දර්ය අධ්‍යාපනයේ පෙර ගමන්කරුවන් ලෙස ගුරු වෘත්තියෙහි නියැළෙමින් සුවහසක් දූ දරුවන්ට ශිල්ප ඥානය ලබා දෙමින් සිටිනවා. මෙහි අධ්‍යාපනය ලබන සිසු දරුවන්ගේ කලා කුසලතාවයන් එළිදැක්වීම වෙනුවෙන් නොයෙක් අවස්ථාවන්හි විවිධ ප්‍රසංග ආදිය ද සංවිධානය වුණා. කලා භූමිය ආරම්භ වී වසර 10 ක් වැනි කාලයක් ගතවත්දී සුවිශේෂ වරමක් ඔවුනට හිමි වුණා. ඒ ඉන්දියාවේ භාත්ඛණ්ඩේ විද්‍යා පීඨයේ ශ්‍රී ලංකා ශාඛාවක් ලෙස කටයුතු කරන්නට අවස්ථාව සැලසීම. මේ වෙනුවෙන් විශේෂයෙන් කැප වුණේ මෙහි ආචාර්ය මණ්ඩලයේ සේවය කරන විශාරද මංජුලා සෙනවිරත්න.

ආරම්භයේ පටන්ම කලා භූමියේ මූලික පරමාර්ථය වුණේ ශාස්ත්‍රීය පදනමකින් යුත් අධ්‍යාපනයක් ලබා දීම. සංගීත අධ්‍යාපනය මෙන්ම නර්තන අධ්‍යාපනයටත් එහි ඉඩක් තිබුණා. සනත් අබේසේකර, බ්‍රියටිස් වීරසිංහ නැටුම් අංශය වෙනුවෙන් බොහෝ කැප කිරීම් කළා. කලා භූමියේ තිබුණේ ශාස්ත්‍රිය අධ්‍යාපනයක් පමණයි. කවදාවත් විච්චූර්ණ කලාවන්ට නැඹුරුවක් හෝ ඉඩක් තිබුණේ නෑ. එහෙත් පසුගිය කාල පරිච්ඡේදය පුරා දවසින් දවස වර්ධනය වුණු රියැලිටි වැඩසටහන් නිසා මව්පියන් තම දූ දරුවන්ටත් ඒවා ඉලක්ක කර ගත් අධ්‍යාපනයකුත් බලාපොරොත්තු වුණා. මේ තත්ත්වය තුළ කලා භූමි යම් යම් අවස්ථාවන්වලදී පසුගාමී වුණු තැන්ද නොතිබුණා නොවෙයි.

රියැලිටිය තුළ කලා භූමිය වැජඹුණේ නැති වුණාට වත්මනෙහි ජාතික තලයේ සිටින ප්‍රදීපා ධර්මදාස, දමිතා අබේරත්න ඇතුළු පිරිස පිළිබඳ අදටත් කලා භූමිය ආඩම්බර වෙනවා. තම ඇකයේ නැළවුණු දූ දරුවන් මෙරට කලා කෙත පෝෂණය කරත්දි මෙරට අනාගත පරපුරට අධ්‍යාපනය ලබා දෙත්දි ආයතනයක් වශයෙන් එය කොයිතරම් ආඩම්බරයක්ද. එයින්ම ඉගෙන ගෙන එහිම උගන්වන ආචාර්ය මණ්ඩලයකින් ද සමන්විත කලා භූමිය වසර 35 ට පසු නව රිද්මයකට නව විෂය නිර්දේශයන්ට අනුව නව ස්ථානයක ස්ථාපිත වීම සුවිශේෂී කාරණාවක්. ඒ අනුව මෙවර බටහිර සංගීතයටත් විශාල ඉඩක් මෙහි වෙන් වෙනවා. ඉන්දියානු විභාග සඳහා පමණක් නොව පියානෝ, වයලීන් වැනි වාදන පංති ආරම්භ වෙනවා. ලන්ඩන් විභාග ඉලක්ක කරගෙන නර්තන විෂයන් නැවත වතාවක් ඇරඹෙන්නේ නූතන නර්තන කලාව තුළ නිර්මාණශීලී නර්තනයද, නාට්‍ය හා රංග කලාවද එකතු කොට විෂය ධාරාව පුළුල් කරමින්.

මෙහි අනෙක් සුවිශේෂිතම කාර්ය වෙන්නේ පසුගිය කාලය පුරාම අධික කාර්ය බහුලත්වය නිසාවෙන් ආචාර්ය රෝහණ වීරසිංහයන් ඉගැන්වීමෙන් දුරස්ථ වී සිටීමට නැවතීමේ තිත තබමින් යළි කලා භූමියේ ඉගැන්වීම සඳහා එක්වීමයි.

ලංකාවේ කලායතනයක සිටින ශක්තිමත්ම ආදි ශිෂ්‍ය කණ්ඩායම කලා භූමියට සිටිනවා. කලා භූමි ආදි සිසු හවුල විවිධ ප්‍රසංග පවත්වලා මේ ආයතනය නඟා සිටුවීමට විවිධ උපකාර කරනවා. ඒ අනුව තමයි මේ පිරිස නව ස්ථානයක එනම් 130 ඒ, පාසල් මාවත, විජේරාම, ගංගොඩවිල, නුගේගොඩ කියන ලිපිනයට කලා භූමිය රැගෙන යන්නේ.

ගෙවුණු වසර 35 සේම ඉදිරි අනාගතය පුරාම මේ රටේ සෞන්දර්යකාමීන් වෙනුවෙන් සොඳුරු නවාතැනක් වන්නට කලා භූමියට හැකි වේවි.

 

 

 

 

 

 
 
නිශ්ශංක විජේරත්න