මෙවර දෙරණ ඩ්‍රීම්ස්‍ටාර් කිරුළ කාටද?

අවසන් තරගය 19 වැනිදා
සැප්තැම්බර් 17, 2020

නවක ගායකයෙකුට හෝ ගායිකාවකට, දෙනෝදාහක් රසික රසිකාවන් මැද ගීතයක් දෙකක් ගායනා කිරීම තරම් සතුටක් තවත් නැත. සමහරු ප්‍රසංග වේදිකා සොයා ගොස් කෙසේ හෝ ගායන අවස්ථා උදා කරගනිති. තව පිරිසක් තමන්ගේ ගායන සිහිනය සාක්ෂාත් කරගැනීමට කිසිදු මාවතක් සකසාගත නොහැකිව ලතැවෙයි. එවන් වූ දක්ෂයින් වෙනුවෙන් දෙරණ නාළිකාව ආරම්භ කළ ඩ්‍රීම්ස්‍ටාර් වැඩසටහන අදියර අටක් දිග හැරුණේ ගායන ලොවට නවමු පරපුරක් එක්කාසු කරමිනි. එළඹෙන දහ නව වැනිදා එහි නව වැනි අදියරේ අවසන් තරගය පැවැත්වීමට සියලු කටයුතු සූදානමිනි. එදා මෙදා තුර දහස් ගණනක් ඩ්‍රීම්ස්‍ටාර් වේදිකාව මත සිය දස්කම් දැක්වූහ. ඉන් බොහෝ පිරිසක් මේ වනවිට අතිශය ජනප්‍රිය තරු බවට පත්ව සිටිති. ඒ අතරින් තවත් පිරිසක් රංගනයටද පිවිස අවසන්‍ ය. ඩ්‍රීම්ස්‍ටාර් නව වැනි අදියර විනිශ්චය කිරීම සඳහා ප්‍රවීණ සංගීතඥ කීර්ති පැස්කුවල්, ප්‍රවීණ සංගීතඥ නදීක ගුරුගේ, සහ ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුව එක්ව සිටිති. ගිහාන් බණ්ඩාර, නුවන්දිකා සේනාරත්න සමඟ ෆැලන් ඇන්ඩ්‍රියා අවසන් තරගකරුවෝය. මේ කතාබහ ඔවුන් සමඟය.

නිර්මාණ අධ්‍යක්ෂණය - ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා

ජ්‍යෙෂ්ඨ විධායක නිෂ්පාදනය - කැළුම් දර්ශන, ක්‍රිශාන්ති රාජිකා.

අධීක්ෂණ නිෂ්පාදනය - නාලක ලියනගේ.

ජ්‍යෙෂ්ඨ නිෂ්පාදනය - තාරුකා ජයවර්ධන.

නිෂ්පාදනය - සුධීර ආර්. පීරිස්.

කැමරා සහ ආලෝකකරණය - සරත් සෙනෙවිරත්න.

සංස්කරණය - මංජුල ජයසූරිය, සංජය මාලින්ද.

පසු නිෂ්පාදන අධීක්ෂණය - තරංග කුමාරසිංහ.

ගීත තොරතුරු - ප්‍රසන්න ජයම්පති.

පසුතල නිර්මාණය - දර්ශන මෙන්ඩිස්.

පිටපත - අමිල සංජීව.

ත්‍රිමාණ සජීවීකරණය - තරිඳු පතිරණ.

දෘශ්‍ය සංකලනය - දිලූප ශ්‍රියන්ත.

ශ්‍රව්‍ය සංකලනය - බණ්ඩාර දිසානායක, ශ්‍යාමන් විජේසිංහ.

කැමරා අධ්‍යක්ෂණය - නිලන්ත කුමාර, සුමිත් ජයලාල්, සිරිමල් මීතිරිගල, සුජිත් ශ්‍රියන්ත, ලක්ෂ්මන් ජයවර්ධන, සුරේෂ් රත්නකීර්ති, ජේ.රුවන්, උපුල් රාජපක්ෂ, මංජුල කරුණානායක, ලක්මාල් තෙන්නකොන්, රුවන් ප්‍රසාද්, ලක්ෂ්මන් බෙන්තොටගේ,

ජගත් එස්. පීරිස්, ගාමිණී සුසන්ත, සමන් කුමාර.

නිෂ්පාදන කළමනාකාරණය - සෞම්‍ය ගුණරත්න, රංජන් පුෂ්පකුමාර

 

විවිධ ශෛලීන්වල ගීත ගයන්න ආසයි

ගිහාන් බණ්ඩාර

ඇයි ඔබ දෙරණ ඩ්‍රීම්ස්‍ටාර් සඳහා එක්වන්නේ?

දෙරණ කියන්නේ මම ඉතාම ප්‍රිය කරන නාළිකාවක්. ඔවුන්ගේ වැඩසටහන් ගුණාත්මකයි. විශේෂයෙන් ඩ්‍රීම්ස්‍ටාර් ගැන කිව්වොත්, අන්තර්ජාතික මට්ටමෙන් ඔවුන් ඒක කරනවා. ඒ වගේම ඩ්‍රීම්ස්‍ටාර් එක්ක ආව අයට දෙරණ විසින්ම අවස්ථා හදලා දෙනවා. කෙටියෙන්ම කිව්වොත් දෙරණ ඩ්‍රීම්ස්‍ටාර් නිමවුණායින් පසුව එයට එක් වූ අය අතහැරියේ නැහැ. මෙන්න මේ සිස්ටම් එකට මම ආස කළා. මෙවන් වටිනා අගනා වැඩසටහනකට සහභාගී වෙන්න මම තීරණය කළේ ඒකයි.

ඔබ ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක උපාධිධරයෙක්?

ඉන්දියාවේ රබීන්ද්‍ර භාරතී සරසවියේ වෝකල් ඇන්ඩ් මියුසික් හැදෑරුවා. එහිදිත් මම රියැලිටි තරග දැක්කා. දෙරණේ තමයි ඒ අන්තර්ජාතික ප්‍රමිතිකරණය තියෙන්නේ.

 

ඔබ ඩ්‍රීම්ස්‍ටාර් රසිකයෙක්ද?

ඔව්. මම හැකි සෑම අවස්ථාවකදී ඩ්‍රීම්ස්‍ටාර් නැරඹුවා. එම්. ජී. ධනුෂ්ක හිටපු අදියර තමයි දිගටම බැලුවේ.

 

බ වඩාත් ප්‍රිය කාගේ සින්දු කියන්නද?

එහෙම විශේෂ කෙනෙක් නැහැ. විවිධ ශෛලීන් වල ගීත ගයන්න මම ආසයි. පොදුවේ සෑම ගීතයක්ම රසවිඳීනවා.

 

ඔබට වඩාත් ප්‍රතිචාර ලැබුණේ?

හංසරාජිණී ගීතය කියපු දවසේ. නදීක ගුරුගේ මහත්මයා කිව්වා මගේ හොඳම පර්ෆෝමින් දැක්කේ එදා කියලා.

 

රියැලිටි තරගවලින් එන අයට ලොකු චෝදනාවක් තියෙනවා දිගින් දිගටම අනුන්ගේ සින්දු කියනවා කියලා?

එහෙම චෝදනාවක් තියෙනවා තමයි. මම කියන්නේ රියැලිටි තරග බිමෙන් ඉවත් වුණාට පසු තමන්ගේම කියා බ්‍රෑන්ඩ් එකක් හදාගන්න ඕනේ. නැත්නම් වෙන්නේ අනුන්ට ගැති වෙන්න.

 

ඩ්‍රීම්ස්‍ටාර් කිරුළ ගිලිහුණොත්?

ජයග්‍රහණය ගැන බලාපොරොත්තුවක් තියෙනවා. අහිමි වුණත් කිසිම දුකක් නැහැ. මම අන්තිම තුන්දෙනා අතරට ආවනේ.

 

ගිහාන්ගේ ගම?

වාරියපොල මිනුවන්ගැටේ.

 

ඉගෙන ගත්තු පාසලත් මතක් කරමු?

මම පාසල් දෙකකට ගියා. ගජනැග්ගම මහ විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල

ගමෙන් ඉහළ ප්‍රතිචාර ලැබනවා

නුවන්දිකා සේනාරත්න

මේ ඔබේ පළමු රියැලිටි අත්දැකීමද?

ඔව්. මීට ප්‍රථම මම කිසිම රියැලිටි තරගයකට සහභාගී වෙලා නැහැ.

 

තරගයට සහභාගී වූ මුල් දවස මතකද?

එදා නම් කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. අති විශාල තරගකරුවන් සංඛ්‍යාවක් ඇවිල්ලා හිටියා. මම එදා ගැයුවේ සුජාතා අත්තනායක මහත්මියගේ මම දෙවිඳුනි දෙවොලට ආමි කියන ගීතය.

 

සුජාතා අත්තනායක මහත්මියගේ ගීතවලට ඔබ වඩාත් ප්‍රියයි වගේ?

ඔව්. නමුත් මම ඩ්‍රීම්ස්‍ටාර් වේදිකාවේ සෑම ශෛලියකම ගීත ගැයුවා.

 

මේ කිරුළ ගිලිහුණොත්?

අනේ ප්‍රශ්නයක් නැහැ. මම මගේම අනන්‍යතාවයක් ගොඩනඟාගෙන මගේ සංගීත ගමන යනවා.

 

ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්?

දැන් නම් උපාධිය හදාරලා ඉවරයි. කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය තමයි මගේ කැම්පස් එක. සෞන්දර්ය කලාවේදී විශේෂ උපාධිය තමයි මම හැදෑරුවේ.

 

ඔබේ ගම කොහෙද?

නාරම්මල.

 

ගමෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඉතාමත් ඉහළයි. හිතුවෙවත් නැහැ මෙවන් ජනප්‍රියත්වයක් ලැබේවි කියලා.

 

ඔබේ පාසල?

නාරම්මල මයුරපාද විදුහල.

 

 

නිහඬතාවය බිඳීන්නයි ඩ්‍රීම්ස්‍ටාර් සමඟ එක් වුණේ..

ෆැලන් ඇන්ඩ්‍රියා

ඩ්‍රීම්ස්‍ටාර් නිසා ඔබ ලොකු ජනප්‍රියත්වයක් ලැබුවා. මොකද ඒ ගැන කියන්න තියෙන්නේ?

ඇත්ත. මට කියන්න තියෙන්නේ මා මේ ලැබූ ජනප්‍රියත්වය ආශිර්වාදයක් කියලයි.

 

ඩ්‍රීම්ස්‍ටාර් සඳහා තරග වදින්න හිතුවේ ඇයි?

මම කාලයක් සංගීත ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක්. බෑන්ඩ් එකක් එක්ක පවා සින්දු කිව්වා. නමුත් මම සංගීත කටයුතුවලින් තරමක් ඈත් වුණා. ඕනම කෙනෙකුගේ එහෙම නිහඬතාවයක් තිබෙනවා. ඒක නිමා කරන්න තමයි මම ඩ්‍රීම්ස්‍ටාර් එන්නේ.

 

ඩ්‍රීම්ස්ටාර් කිරුළ ගිලිහුණොත්?

ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ. මගේ අනෙක් සහෝදරයට හෝ සහෝදරියටනේ කිරුළ ලැබෙන්නේ.

 

මුල් වටයට සහභාගි වෙද්දි හිතුවද මේ තාක් දුර එන්න පුළුවන් වේවි කියලා?

අනේ නැහැ. මෙච්චර ජනප්‍රිය වේවි කියලත් හිතුවේ නැහැ.

 

ෆැලන්ගේ ගම කොහෙද?

මම කළුතර.

 

ඉගෙනගත් පාසල?

හෝලි ෆැමලි කොන්වන්ට් බම්බලපිටිය.

 

ෆැලන් වැඩිපුරම කැමති කාගේ සින්දු කියන්නද?

එහෙම විශේෂයෙන් කියලා බෙදාගෙන නැහැ. මට භාශා කිහිපයකම ගීත කියන්න පුළුවන්.

 

 

හසිත නිලුපුල්
සුරේන් බෝපිටිය