බොලිවුඩයේ කුඩු කෑ විත්ති

ඔක්තෝබර් 22, 2020

මේ දිනවල බොලිවුඩයේ මත්ද්‍රව්‍ය පිළිබඳ කතාබහට වැඩි ඉඩක් වෙන් වී තිබේ. සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණයත් සමඟ හෙළි වූ බොලිවුඩයේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ඉන්දීය වෙබ් අඩවියක සඳහන් වූයේ මෙවැන්නකි. "යමෙකුට බොලිවුඩයේ සාර්ථක වීමට අවශ්‍ය නම් ඔවුන් සාදවලට සහභාගී විය යුතුය. කර්මාන්තයේ ඉළින් සිටින්නන් සමඟ සම්බන්ධ වීමට හොඳම ක්‍රමය එයයි. එවැනි සාදවලදී මත්ද්‍රව්‍ය විවෘතව භාවිත කරන බව කර්මාන්තයේ ආරංචි මාර්ග පවසයි. මත්ද්‍රව්‍ය ලබා ගැනීම දුෂ්කර දෙයකි. නමුත් කර්මාන්ත අභ්‍යන්තරිකයන්ට අනුව බොලිවුඩ් සාදයක ​​ස්ථානගත වන ඔබට එය අපහසු දෙයක් නොවනු ඇත" යනුවෙනි.

 

ඉන්දියානු සිනමා කර්මාන්තයේ වඩාත්ම සාර්ථක නළුවකු වන ෂාරුක් ඛාන්ගේ බිරිඳ වන ගෞරි ඛාන්, මත්ද්‍රව්‍යවලට සම්බන්ධ යැයි කිසිවෙකු නොසිතනු ඇත. කෙසේ වෙතත්, ඇය සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ඉතා කුඩා ප්‍රමාණයක් සොයා ගැනීමෙන් පසුව‍ බර්ලින් ගුවන්තොටුපලේ රඳවා සිටි බවට චෝදනා එල්ල වේ.

 

සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණයත් සමඟින් ආරම්භ වූ මත්ද්‍රව්‍ය විමර්ශනයට අනුව පසුගිය මාසයේ මුම්බායිහිදී දීපිකා පදුකෝන් සහභාගි වූ සාදයක සීසීටීවී දර්ශන නිරීක්ෂණයට ලක් කෙරුණේ දීපිකා සහ ඇයගේ කළමනාකාරිණිය කරිෂ්මා ප්‍රකාශ්ගෙන් ප්‍රශ්න කිරීම් අතරතුරදීය. ඊට අමතරව දීපිකා පදුකෝන් සහ විකී කෞෂාල් වැනි නළු නිළියන් සහභාගී වූ චිත්‍රපට නිෂ්පාදක කරන් ජොහාර් විසින් 2019 දී පවත්වන ලද සාදයක් ද, විමර්ශනයට ගෙන තිබෙන්නේ එම සාදයේදී මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතා කළ බවට චෝදනා සමඟිනි. කරන් ජොහාර් සමාජ මාධ්‍යවල බෙදාගත් වීඩියෝවක් එයට හේතු විය. බොලිවුඩ් සිනමා කර්මාන්තයට මත්ද්‍රව්‍ය ප්‍රශ්නයක් ඇති බව ප්‍රතික්ෂේප කිරීමක් නැත. සංජේ දත්ගේ සිට රන්බීර් කපූර් දක්වා බොහෝ නළු නිළියන් තම ජීවිතයේ යම් අවස්ථාවක දී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගැටලු ඇති බව පාපොච්චාරණය කර තිබේ. මේ අතර ඉහළ ජනප්‍රියත්වයක් දිනූ තරු කිහිප දෙනෙකුම වෙති.

රන්බීර් කපූර් ඉන්දියා ටුඩේ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා තිබෙන්නේ, තමා රංගන පාසලේ සිටියදී නිතිපතා මත්ද්‍රව්‍ය භාවිත කළ බවයි. ඔහු රොක්ස්ටාර් චිත්‍රපටයේ ඇතැම් දර්ශන සඳහා ද මත්ද්‍රව්‍ය භාවිත කළ බව පිළිගත්තේය. රන්වීර් එම චිත්‍රපටයේදී පුරුද්දක් ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කළ ගායකයෙකුගේ චරිතයක් නිරූපණය කළේය.

ප්‍රවීණ රංගන ශිල්පී ෆෙරෝස් ඛාන්ගේ පුත් ෆර්ඩීන් ද බොලිවුඩයට එක් වූයේ තරු දරුවන්ට හිමි තැන ගනිමිනි. නමුත් ඔහුගේ බොලිවුඩ් දිවිය කෙටි කාලීන විය. 2001 මැයි 5 වැනිදා මුම්බායි පොලිසිය විසින් මත්ද්‍රව්‍ය සමඟ ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුට එම පුරුද්දෙන් මිදීම සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට ඇතුළත් වීමටද සිදුවිය. ඔහුට එරෙහි මත්ද්‍රව්‍ය නඩුවට චෝදනා ගොනු කිරීමට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට වසර දහයක් ගත වූ අතර පසුව ඔහුට මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ඇප ලැබුණි.

ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් දත්ගේ පුත් සංජේ දත් 1982 දී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අතර ඔහුට මාස පහක සිර දඬුවමක් විඳීමට සිදුවිය. 1993 දී මුම්බායි හි සිදුවූ පිපිරීම ඇතුළු ඉහළ පෙළේ සිද්ධීන් කිහිපයකට සංජජේ දත්ගේ නම සම්බන්ධ විය. ඉන්දියා ටුඩේ සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු තම ඇබ්බැහි වීමේ ගැටළු පිළිබඳව

විස්තරාත්මකව කතා කර තිබේ. එහිදී ඔහු මත්ද්‍රව්‍ය භාවිත කළ අවධිය ඔහුගේ ජීවිතයේ නරකම කාල වකවානුව ලෙස හැඳීන්වීය. මත්ද්‍රව්‍ය ගැටලුවෙන් මිදීම සඳහා දත් එක්සත් ජනපදයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ද කාලය ගත කළේය. සංජේ දත්ගේ චරිතාපදානය වන සංජු චිත්‍රපටයේ රන්බීර් කපූර් විසින් සංජේ දත්ගේ චරිතයට පණ පෙවූ අතර එය මත්ද්‍රව්‍ය භාවිතය උත්කර්ෂයට නැංවීම සම්බන්ධයෙන් විවේචනයට ලක්විය.

පර්වීන් බාබී හැත්තෑව සහ අසූව දශකයේ මුල් භාගයේ බොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් දැරූ නිළියකි. දීවාර්, අමර් අක්බර් ඇන්තනි, සුහාග් චිත්‍රපට වෙනුවෙන් ද ඇගේ රංගන දායකත්වය ලද අතර අමිතාබ් බච්චන්, රාජේෂ් ඛන්නා, රිෂි කපූර් වැනි නළුවන් සමඟින් රංගනයට වරම් ලැබීය. සුන්දරත්වය සහ රංගන කුසලතාවන්ගෙන් හෙබි ඇය ද මත්ද්‍රව්‍ය සහ මත්පැන් වලට ඇබ්බැහි වූවාය. එය මානසික සෞඛ්‍ය ගැටලුවට හේතු වූ අතර අවසන් කාලය ඉතාම අමිහිරිව ගත කළේ කිසිවෙකුගේ හව්හරණක් නොමැතිවය. ඇයගේ අකල් වියෝව සිදු වූයේ 2005 වසරේ දී වයස අවුරුදු 55ක්ව සිටියදීයි. නිවෙස ඉදිරිපිට තෙදිනක් වන තුරු කිරි බෝතල සහ පුවත්පත් එකතුවීමෙන් සැක පහළ වී කළ පරීක්ෂාවකදී පර්වීන්ගේ සිරුර නිවෙසේ ඇඳ මත තිබී හමු වී ඇති අතර ඒ අසල වූ රෝද පුටුවෙන් ඇය එක්තැන් වූ ජීවිතයක් ගත කර ඇති බව හෙළි විය.

රාජ් කිරන් අසූව දශකයේ ජනප්‍රිය වූ බොලිවුඩ් රංගන ශිල්පියෙක්. හින්දි චිත්‍රපට සියයකට පමණ ඔහු රංගනයෙන් දායක වී ඇති අතර කර්ස්, බසෙරා, මාන් අභිමාන්, අර්ත් ඒ අතරින් කිහිපයක්. එක්වරම ඔහු බොලිවුඩයෙන් අතුරුදන් වූ අතර 2011 වසරේදී රිෂී කපූර් හට අමෙරිකාවේදි ඔහු හමුවන විටදී මානසික ආබාධයකින් පෙළෙමින් සිට ඇත. රාජ් කිරන්ගේ ජීවිතය බිඳ වැටීමට හේතු වූයේ මත් රකුසා බව බොලිවුඩයට රහසක් නොවන්නකි.

අනූව දශකයේ ජනප්‍රිය නිළියක වූ මම්තා කුල්කර්ණි ද මේ වන විට ආර්ථික අතින් පහළ වැටී නීතියද මඟ හරිමින් සිටින බව රහසක් නොවේ. එදා ආශික් ආවාරා, කරන් අර්ජුන්, සබ්සේ බඩා කිලාඩි, බාසි, චයිනා ගේට් වැනි සාර්ථක සිනමා නිර්මාණ වෙත තම රංගන දායකත්වය ලබා දුන් මම්තාගේ ජීවිතය අසාර්ථක වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා සමඟිනි. මම්තා 2000 දශකයේ බොලිවුඩයෙන් ඉවත්ව ගිය අතර ඇය ප්‍රකට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි පැවසෙන විකී ගෝස්වාමි සමඟ විවාහ වූ බව වාර්තා වේ. මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත ගෝස්වාමි වසර දහයක් ඩුබායි බන්ධනාගාරයේ ගත කළ අතර පසුව ඔහු කෙන්යාවේදී දේපළ වෙළඳාම් ව්‍යාපාරයක් ආරම්භ කළේය. කෙන්යාවේදී ද මම්තාහට මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නඩු පවරා ඇත.

ඉන්දීය සිනමාවේද බිහිවූ විශිෂ්ටතම නිළියක සේ සැලකෙන මීනා කුමාරි ද අධික ලෙස මතට ඇබ්බැහිවීමෙන් අකාලයේ නැසී ගිය තරුවකි. "භාරත සිනමාවේ කඳුළු බින්දුව" ලෙස හැඳීන්වූ ඇය සිනමා ජීවිතයෙහි ආරම්භයේ සිට විවාහ දිවිය දක්‌වා සතුටින් ජීවත් වූ අතර විවාහය දෙදරා යැමත් සමඟම මානසිකව ඇදවැටීමෙන් සැනසීම පතා යොමු වූයේ මත්පැන් පානයටයි. කෙටි කලකින් අධික ලෙස මතට ඇබ්බැහි වූ ඇය අක්‌මාව තුළ හටගත් "සිරෝසිස්‌" රෝගය හේතුවෙන් 1972 වසරේදී අවසන් හුස්‌ම හෙළුවේ සිය දිවියේ හතළිස් වැනි දශකය ආරම්භවීමට ආසන්නයේදීයි.

ඉන්දියානු සිනමා කර්මාන්තයේ වඩාත්ම සාර්ථක නළුවකු වන ෂාරුක් ඛාන්ගේ බිරිඳ වන ගෞරි ඛාන්, මත්ද්‍රව්‍යවලට සම්බන්ධ යැයි කිසිවෙකු නොසිතනු ඇත. කෙසේ වෙතත්, ඇය සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ඉතා කුඩා ප්‍රමාණයක් සොයා ගැනීමෙන් පසුව‍ බර්ලින් ගුවන්තොටුපලේ රඳවා සිටි බවට චෝදනා එල්ල වේ. ස්වයං භාවිතය සඳහා පමණක් ප්‍රමාණවත් වූ බැවින් සහනයක් ලද ඇගේ නම බර්ලිනයේ හෝ ඉන්දියාවේ ගුවන් තොටුපල බලධාරීන් විසින් ප්‍රසිද්ධියේ නිකුත් නොකළේය. ප්‍රසිද්ධ වූ එකම ප්‍රවෘත්තිය නම් 'ජනප්‍රිය නළුවෙකුගේ බිරිඳ බර්ලින් ගුවන්තොටුපොලේදී නැවැත්වීම' යන්න පමණි.

ගබ්බාර් ඊස් බැක්, සිංහම් රිටන්ස්, කික්, කොක්ටේල් වැනි චිත්‍රපට වෙනුවෙන් පසුබිම් ගී ගැයූ හනී සිං කෙටි කලකින් බොලිවුඩයේ ජනප්‍රිය පසුබිම් ගායකයකු බවට පත් විය. රැප් ගායකයකුද වන ඔහුට මත්පැන් භාවිතය පිළිබඳ ඉතිහාසයක් ඇත. 2016 දී සම්මුඛ සාකච්ඡාවකදී, හනී සිං මාස 18 ක් කර්මාන්තයෙන් ඉවත්වීමට හේතු වූ ඔහුගේ ඇබ්බැහි වීමේ ගැටලුව හෙළි කළේය. කිසිදු තොරතුරක් නොමැතිව ඔහු අතුරුදහන් වූ විට මත්ද්‍රව්‍ය ගැටලුව සම්බන්ධයෙන් ඔහු පුනරුත්ථාපන මධ්‍යස්ථානයක රඳවා ඇති බවට කටකතා පැතිර ගියේය. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළ නමුත් මත්පැන් අනිසි භාවිතය සඳහා ප්‍රතිකාර ලබන බව පැවසීය. තමා මත්පැන් පානය කරන්නෙකු බවත් එම පුරුද්දෙන් ඔහුගේ මානසික හා ශාරීරික සෞඛ්‍යයට හානි වූ බව ඔහු පිළිගත්තේය.

කන්ගනා රනාවුත් යනු මතභේද සමඟ සම්බන්ධ විය යුතු අලුත් නමක් නොවේ. මීට දින කිහිපයකට පෙර ඇය කියා සිටියේ බොලිවුඩයෙන් සියයට 90 ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවයි. කෙසේ වෙතත්, ඇයටද අතීතයේ දී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට චෝදනා එල්ල විය. මාර්තු මාසයේදී ඇය වීඩියෝවක් අන්තර්ජාලයට එක් කරමින් ඇය ජීවිතයේ එක් අවස්ථාවකදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බව පිළිගත්තාය.

බොලිවුඩයේ රංගන කුසලතාවන් සපිරි ජනප්‍රිය නිළියක වූ මනීෂා කොයිරාළ පිළිකා රෝගයකින් පීඩා විඳ පසුගිය කාලයේ සුවය ලැබුවාය. ඇය සිය වෘත්තීය ජීවිතයේ උපරිම කාලය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට වාර්තා තිබේ. ඇයගේ ඇබ්බැහි වීම පිළිකාවට ද හේතු වූ බවට පැවසෙන අතර කිසි විටෙකත් ඇගේ ඇබ්බැහි වීමේ ගැටලුව ගැන කතා නොකළාය. එය ඇගේ වෘත්තිය විනාශ කළා පමණක් නොව පෞද්ගලික ජීවිතයටද බලපෑවේය. මේ වන විට ඇය සංජේ දත් සමඟ මත්ද්‍රව්‍ය විරෝධී නියෝජිතවරියක් බවට පත්ව සිටින්නීය.

1999 වසරේදී බෝපාල් එක්ස්ප්‍රස් චිත්‍රපටයෙන් බොලිවුඩයට පිවිසි විජේ රාස් 2005 දී අබුඩාබි පොලිසිය විසින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබීය. නිදහස් වීමට පෙර රාස් සතියක් සිරගතව සිටියේය.

ගීතාංජලි නාග්පාල් අනූව දශකයේදී බොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් දිනා සිටි අංක එකේ නිරූපිකාවකි. ඉහළ ධනවත් දිවිපෙවතක් ගත කළ ගීතාංජලි ද අධික ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහිවීම හේතුවෙන් ඇයගේ වෘත්තීය ජීවිතය විනාශයට පත් විය. එය කෙතරම් දුරට බලපෑම් කළා දැයි කිව හොත් ඇයට නිවෙස්වල මෙහෙකාර සේවය කරන්නට සිදු වූ අතර අධික ලෙස මතට ඇබිබැහි වීම නිසා මතක ශක්තිය පවා දුර්වල වීමෙන් මහමඟ සිඟමන් යදින තත්ත්වයට ද පත් වූවාය.කෙසේ වෙතත් බොලිවුඩය පුරාම බොහෝ විට වැජඹෙන්නේ ව්‍යාපාරිකයන්ගේ කළු සල්ලි බව ප්‍රසිද්ධ රහසකි. එහෙත් ඉන්දිය දළ දේශිය ආදායම ඉහළ තැනක් ගන්නා බොලිවුඩයේ ආදායම අහිමි කර ගන්නට එරට රජය එතරම් ඉක්මන් නොවනු ඇතැයි බොහෝ දෙනා විස්වාස කළා.