අපට මොකද වෙන්නෙ?

ප්‍රසංග වේදිකාවට ගොඩවී විමසමු
නොවැම්බර් 19, 2020

අප්‍රේල් සහ දෙසැම්බර් මාස යනු ප්‍රසංග වේදිකාව හා සබැඳී පිරිස බොහොමත්ම කාර්යබහුල වන කාල පරිච්ඡේදයි. මේ වසරේ දී එය එසේ නොවීය. තමන්ගේ අතමිට සරු වන මාස කිහිපයේදී සංගීත ශිල්පීන්ට සිදු වුණේ නිවසට වී කාලය ගත කරන්නටය. ඒ කොවිඩ් වසංගතය රට පුරා පැතිර යාම හේතුවෙනි. කණ්ඩායම් සංගීත ශිල්පීන්, ගායක ගායිකාවන්, නිවේදක නිවේදිකාවන්ගේ සිට ප්‍රසංග වේදිකාවේ සංගීත සන්දර්ශනය නිමවන තෙක් රටකජු විකුණන පුද්ගලයා තෙක් එකී තත්ත්වය බලපාන ලදී. එළිමහන් ප්‍රසංග වේදිකාවේ සංගීත සන්දර්ශන කෙදිනක ආරම්භ වනවා දැයි කියා නිශ්චිත දිනයක් තවමත් නැත. ඔවුන්ගේ ඉදිරිය කෙසේ වේවිද, සහ මේ තත්ත්වය තමන්ට බලපාන අන්දම පිළිබඳ කතා කිරීමට කිහිප දෙනෙක් අප හා මෙසේ සම්බන්ධ වූහ.

********************

අපිට කළ හැකි දේ කරනවා

ජානක වික්‍රමසිංහ - සභාපති - ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය

මම සහ අපේ සංගමයේ ලේකම් රොහාන් ද සිල්වාගේ මැදිහත් වීමෙන් අපි සහනදායි වැඩපිළිවෙළ කිහිපයක්ම පහුගිය කාලේ ක්‍රියාත්මක කළ. ගායක ගායිකාවන්ට රුපියල් දස දහසක් ලබා දීම. ඒ වගේම ණය ලබා දීමේ ක්‍රමවේදයක් ඇතිකිරීම වගේ ඒවා. ඒ වගේම ස්වාධීන රූපවාහිනිය සහ ජාතික රූපවාහිනිය එකතු වෙලා සතිපතා ප්‍රසංග මාලාවක් සංවිධානය කළා. ෆ්ලෑෂ්බෑක්, අපේ රොෂාන් ප්‍රනාන්දුලා තමයි ඒකට ගොඩක් මැදිහත් වුණේ. ඒ එක් ප්‍රසංගයකට ගායක ගායිකාවෝ සහභාගි වෙනවා. ඔවුනට සුළු මුදලක් ලැබෙනවා. මේ වන විට අපේ සියලු අනෙකුත් ප්‍රසංග අකර්මණ්‍ය වෙලා තියෙන්නෙ. කොවිඩ් පළවෙනි රැල්ලෙන් පසු අපේම සුබසාධනය උදෙසා ප්‍රසංග මාලාවක් රට වටා ගෙනියන්න සැලසුම් කරලා තිබුණත් කොවිඩ් දෙවැනි රැල්ලත් එක්ක ඒ සියලු දේවල් කල් ගියා. මා ඉහත සඳහන් කළා වගේ යම් යම් විසඳුම් ලැබුණත් ඒවා පැලැස්තර දැමීමක් පමණයි කියලා තමයි මට හිතෙන්නෙ. මොකද මේකට ස්ථිරසාර විසඳුමක් අපිට හම්බුනේ නැහැ. බුදුන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය ධර්මය තුළ එන ව්‍යාධි කියන දේ තමයි අපි මේ අත් විඳීමින් සිටින්නේ. මම මේ වෙලාවේ කියන්නේ ඔය වගේ කාල වකවානුවල දී කොහොමහරි අල්ලගෙන අපි ජීවත් වෙමු කියලයි. කවද හරි මේවා නිමා වෙන දවසකුත් එයිනේ. මේ වෙලාවේ රජයට බැන බැන ඉඳලාවත්, ඊට වගකිය යුතු අයට දොස් පවරමින් ඉඳලවත් වැඩක් නැහැ. මොනදේ වුණත් අපේ ගායක ගායිකාවන් වෙනුවෙන් තියෙන එකම සංගමයයේ සභාපති වශයෙන් මම කියන්නේ, අපි පුළුවන් හැම දෙයක්ම උපරිමයෙන් ගායක ගායිකාවන් වෙනුවෙන් කරනවා කියලා.

************************

අසරණ කලාකරුවන්ට පිහිටක් ඕනෑ

නිහාල් නෙල්සන් - ප්‍රවීණ ගායන ශිල්පී

ප්‍රසංග වේදිකාව කියන කලාව මිනිස්සුන්ට අවශ්‍යයි. මිනිස්සු කවදාවත් ප්‍රසංග වේදිකාව අතහැර යන්නෙත් නැහැ. අපි දැකලා තියනවා විවිධ කාලවලදී සංගීත ප්‍රසංග නවත්වනවා. එහෙම ප්‍රසංග වේදිකාව වැටුණු කාලවකවානු තියෙනවා. හැබැයි ප්‍රසංග වේදිකාව කියන කලාව කවදාවත් නැති වෙන එකක් නෙවෙයි. තාවකාලිකව මේ දවස්වල නැවතිලා තිබුණත් කවදහරි නැවතත් සංගීත සන්දර්ශන පටන් ගන්නවා. එතෙක් අපිට ඉවසගෙන බලාගෙන ඉන්න වෙනවා. මේ වගේ දුර්භික්ෂ කාල එනවා කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට අපිට වැඩ තියන කාලේ අපි කලාවෙන් හම්බ කරගත්තු මුදලින් කොටසක් තියාගන්න ඕනේ ඒ වගේ වෙලාවල්වල දී ප්‍රයෝජනයට ගන්න. තවත් විදිහකින් කිව්වොත් හැමදාම නත්තල් නැහැ, හැබැයි නත්තල නැති වෙන්නෙත් නැහැනේ. අවුරුද්දට සැරයක් නත්තලක් එනවාමයි. නත්තල් කාලේ හොඳට කාලා බීලා විතරක් නෙමෙයි නත්තල් නැති කාලෙට ජීවත්වෙන්නෙ කොහොමද කියලා අපි ඉගන ගන්න ඕනේ. අපිට තියනවා සංස්කෘතික අමාත්‍යාංශය කියල එකක්. එමගින් කලාකරුවන් පිළිබඳ හොයා බැලිය යුතුයි. මොකද කලාකරුවෝ හිටියොත් තමයි ඒ වගේ අමාත්‍යාංශයක් වුණත් රැකෙන්නේ. හැබැයි හැම කලාකරුවෙක් දිහාම නෙමෙයි, හොඳට ඉන්න පුළුවන් කලාකරුවෝ ඉන්නවා. නමුත් අහිංසක කලාකරුවෝ ඉන්නවා මේ වෙලාවේ බොහොම අසරණ වෙච්ච. අන්න ඒ අය ගැන තමයි වගකිවයුත්තන් බලන්න ඕනේ.

******************

ස්ථිර විසඳුමක් ඕනෙමයි

රොෂාන් ප්‍රනාන්දු - නායක - ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම

මොන ව්‍යසනය ආවත් මුලින්ම පහර වදින්නේ කලාකරුවන්ට. කොවිඩ් වසංගතයේදීත් ඒකම වුණා. කාලයත් සමඟ වෙනත් වෘත්තීන් හිමි හිමිහිට වැඩ කටයුතු ආරම්භ කළත් ප්‍රසංග වේදිකාව වැනි කලාවේ අංශ තවමත් ආරම්භ කරන නිශ්චිත දිනයක් නැහැ. අපිට එහෙම ප්‍රසංග ආරම්භ කරන්න කියලා ඉල්ලීම් කිරීමත් මානුෂීය නෑනේ. හැබැයි මොනවා හරි වැඩ පිළිවෙළක් තියෙන්න ඕන නේද. අපි කෙරුවෙ කලාව විතරයි. අපි හම්බ කළේ කලාවෙන්. මේ වන කොට වදින්න ඕන පහර අපිට වැදිලා ඉවරයි. පිට පිට වසර ගණනාවක් අපිට අප්‍රේල් සීසන් එක අහිමි වුණා. එක සැරයක් අර කුණු කන්ද ප්‍රශ්නයක් ආවා. ෂෝස් ගණනාවක් කැන්සල් වුණා. ඊට පස්සේ සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය. යන්තම් ඒකත් අහවර වෙලා හිස ඔසවා ගෙන ආවා විතරයි. මේ වැටුණු වැටිල්ල අවුරුදු ගණනාවක් යනකම් අපිට බලපාවි. අප ෆ්ලෑෂ්බෑක් කණ්ඩායමේ සාමාජිකයින්ට පුළුවන් විදියට අපි සලකනවා. නමුත් අපිට කරන්න පුළුවන් සීමාවකුත් තියෙනවානේ. මම කියන්නේ මේ කලාකරුවෝ සහ රජය එකතුවෙලා යම් සාකච්ඡාවක් කරලා මේ තත්ත්වයට නිශ්චිත විසඳුමක් ගෙන එන්න ඕන කියලයි.

*******************

නිශ්චිත ප්‍රතිපත්තියක් අවශ්‍යයි

රෝහණ හෙට්ටිආරච්චි - ප්‍රසංග වේදිකා සම්බන්ධීකරණ ශිල්පී

ගියපාර කොවිඩ්වල දී කලාකරුවන්ට ලක්ෂ 5 ක ණය මුදලක් ලැබුණා. මාස තුනකින් පස්සෙ තමයි එහි වාරික ගෙවන්න තියෙන්නෙ. දැන් වෙනකොට ඒ කාලෙ හරි. නමුත් අපිට වැඩ කෝ... සියල්ල ම දැන් නැවතිලා තියෙන්නේ. අපිට මුදල් එන්නේ සංගීත සන්දර්ශන පැවතුනොත්නේ. මේ ප්‍රශ්නයට ගොඩක්දෙනෙකු මුහුණ දීලා සිටිනවා. ලංකාවේ කලාකරුවෝ තමන් වෙනුවෙන් මේ වෙනකම් හරි ප්‍රතිපත්තියක් හදන්න උත්සාහ කළේ නෑ. තම තමන් වෙනුවෙන් තම තමන් වැඩ කර ගන්නවා මිසක්, කලාව කියෙන වෘත්තීය පමණක් කරන කලාකරුවන්ට මේ වගේ වකවානුවක් ආවොත් මුහුණ දෙන්නෙ කොහොමද කියල කවුරුවත් කොතැනකවත් කතා කරලා නෑ. රජය කියලත් කලාකරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම බලන්න බැහැනේ. අපි ඒක තේරුම් ගන්න අවශ්‍යයි. මේ වගේ අවස්ථාවන්වලදී කලාකරුවෝ විදිහට රජයට බැන බැන ඉඳලා හරි යන්නේ නැහැ. ප්‍රසංග වේදිකාවට මිනිස්සු හරිම ආදරෙයි. ඒකනෙ සංගීත සන්දර්ශනය පැවැත්වෙනවා කියපුවාම දුර ඈත ඉඳන් වුණත් මිනිස්සු එන්නේ. සමහරු ඒක ඉවර වෙනකම් ඉඳලා මහ රෑ ජාමෙම පයින් එන අවස්ථා ඕන තරම් තියෙනවා. ඇයි ඒ සංගීත සන්දර්ශනවලට, ප්‍රසංග වේදිකාවට ආදරය කරන නිසා. ඒ අපි අපිම එකතු වෙලා තමයි මේකට නිසි ප්‍රතිපත්තියක් හදා ගන්න ඕනේ. මොකද ආයෙත් මේ වගේ ව්‍යසන එන්න පුළුවන්. මම කියන්නේ අඩුම තරමේ කලාකරුවන් වෙනුවෙන් රක්ෂණාවරණයක් හරි හදා ගත්ත නම් ඇති. අන්න ඒක වෙනුවෙන් රජයත් එක්ක මැදිහත් වෙලා මොකක් හරි සාකච්ඡාවක් අපි කරමු. නැත්තම් ගංවතුරක් ආවත්, සුනාමියක් ආවත්, කුණු කන්දක් කඩා වැටුණත්, බෝම්බයක් ගැහුවත්, මුලින්ම අසරණ වෙන්නේ කලාකරුවෝ.මම නැවතත් කියන්නෙ මින් ඉදිරියටවත් එහෙම නොවන්න අපි මොකක් හරි ප්‍රතිපත්තියක් හදා ගමු කියලයි.

*******************

සහනදායි වැඩපිළිවෙළකට පිවිසෙමු

තිලක් කුමාර රත්නායක - ජනප්‍රිය ප්‍රසංග වේදිකා නිවේදක

මම අන්තිමෙට ෂෝ එකක නිවේදන කටයුතු කළේ පසුගිය මාර්තු 6 වෙනිදා. ඊට පසුව ප්‍රසංග ගණනාවක් සඳහා දින වෙන්කරගෙන හිටියත් ඒ සියල්ලම මේ වසංගතයක් එක්ක කැන්සල් වුණා. ඉකුත් වසරේ පාස්කු ප්‍රහාරයෙන් නිසා තියන්න බැරි වෙච්ච සමහර ෂෝස් එහෙමත් මේ අවුරුද්දේ පවත්වන්න සැලසුම් කරලා තිබුණා. ඒ නිසා අප්‍රේල් මාසය පුරාම ප්‍රසංග වේදිකාව සඳහා මට ආරාධනා ලැබිලයි තිබුණේ. ඒ සියල්ලම දින නියමයක් නැතිව කල් ගියා. ගිය සැරේ අපේ සංගම් සහ රජයෙන් ලබා දුන් සහන කලාකරුවන්ටත් ලැබුණත් මෙවර ඒකත් ලැබුණේ නැහැ කියලයි මට පෙනෙන්නට තියෙන්නෙ. කලාකරුවො වුණත් බහුතරයක් අය මධ්‍යම පාන්තික මිනිස්සු. ඇතැම් පළාත් වල ඔවුනට රුපියල් පන්දහක් දෙන්නත් ග්‍රාමසේවක එන්නේ නෑ කියලා දැනගන්න ලැබෙනවා. මේ වෙලාවේ මම විශේෂ ඉල්ලීමක් කරන්න කැමතියි. කලාව වෘත්තිය කර ගනිමින් විශාල පිරිසක් යැපුණා. රජයට බරක් නොවී මාසෙකට වේදිකා නාට්‍යයක් කරලා, ප්‍රසංග වේදිකාවට සහභාගි වෙලා යම් මුදලක් උපයගෙන, ඒවායින් පවුල නඩත්තු කරලා, පොඩි වාහන එහෙම තියාගෙන හොඳට ඒ අය ජීවත් වුණා. මේ වෘත්තිමය කටයුතු නැත්තටම නැති වුණාට පස්සේ විශේෂයෙන්ම ලීසිං වාරික වගේ දේවල් ගෙවන්න හරි අමාරුයි. මම දන්න සමහර ඒවගේ කලාකරුවෝ ගෙවල් හදන්න කියලා පුංචි පුංචි ලෝන් එහෙමත් අරගෙන තියෙනවා. ඒ ඇරියස් වෙච්ච ලීසිං සහ ණය වාරික ගෙවීම වෙනුවෙන් ඒ අයට රජය මගින් යම් සහන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වුණානම් හොඳයි. එතකොට කාටවත් අත පාන්නේ නැතුව ජීවත් වුණු ඒ කලාකරුවන්ට එය ලොකු සහනයක් වේවි.