බන්ධු ගුණසේකර සමුගනී

(1930 - 2020)
දෙසැම්බර් 3, 2020

මොරටුවේ සොයිසා පුර මහල් නිවාසයේ ඕ7/2/3 නිවසේ පඩි පෙළ බසින වයෝවෘධ පුද්ගලයකු කැප් එකක් පැලඳ Walking stick අතැතිව, හෙමින් සීරුවේ ඇවිදිමින්, තමාට හමුවන හිතවතුන්ට සිනාවකින් සංග්‍රහ කොට යන එන සුලබ දර්ශනය පසුගිය 13 වෙනිදාට පසු දකින්නට නොලැබුණි. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නළුවකු බව දැන සිටියේ ටික දෙනෙකි. පනහෙ දශකයේ චිත්‍රපට නැරඹූ ජ්‍යෙෂ්ඨ පුරවැසි සිනමාලෝලීන්ට නම් ඔහු රඟපෑ චිත්‍රපට මතක ඇති.

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘සන්දේශය’ චිත්‍රපටයේ පෘතුගීසින්ට ඔත්තු සැපයූ සිංහල ද්‍රෝහියකු වූ පුංචප්පු ලෙස රඟපෑ ඔහුට පාරේ යන විට එදා ප්‍රේක්ෂකයෝ මූණට කෙළ නොගැසුවා පමණි. ඔහු දුෂ්ට චරිතය කොතරම් හොඳට කළා ද යන්න එයට කදිම සාක්ෂියකි.

ඔහු බන්ධු ගුණසේකරය.

තම ප්‍රථම රැකියාව වූ ලංකා බැංකුවේ රැකියාවෙන් ඉවත්ව රාජකීය ලංකා නාවික හමුදාවට බැඳුුණු ඔහු මිතුරන් සමඟ වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කළේය. ඒ නාට්‍යය නැරඹූ නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් ඔහුට ධෛර්ය දී ‘තමුසේ හොඳ නාවික හමුදාවට නෙවෙයි රඟපෑමට. ඒතරම් තමුන් දක්ෂ නළුවෙක්’ කියා ඇත. ටික කලකින් ඔහු සමුපකාර දෙපාර්තමේන්තුවට බැඳී එහිදී එහි ප්‍රචාරක නාට්‍යයක් ‘අන්ධ ගායකයා’ නමින් ලියා ප්‍රධාන චරිතය රඟපෑ අතර නාට්‍යය නැරඹීමට පැමිණි එවකට දක්ෂ චිත්‍රපට නළු ලැඩී රණසිංහගේ රෙකමදාරුව යටතේ ‘රදළ පිළිරුව‘ චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව උදා කර ගත්තේය.

බන්ධු ගුණසේකර ‘රදළ පිළිරුව‘ (1954) චිත්‍රපටයේ රඟපෑ පණ්ඩිත කමලනාථගේ (කිලිටි පණ්ඩිතයා) චරිතය රඟපැවේ පාලි, සංස්කෘත, ප්‍රාකෘත වැනි භාෂා මිශ්‍ර දෙබස් කියමිනි. ඔහුගේ රඟපෑම් අගය කරමින් එකල ‘ලංකාදීප’ පුවත්පත් සිනමා පිටුව සකස් කළ කරුණාසේන ජයලත් රදළ පිළිරුවේ පණ්ඩිතයාගේ චරිතය පුන පුනා අගය කර ඇත. මේ චිත්‍රපටයේ රඟපෑමට මදුරාසියේ සිටින අතරවාරේ මොහිදින් බෙග් ගැයූ ‘මල් පෙකි රළ රැළි අතරේ’ ‘මවා ප්‍රේම ලෝකේ’ ගීතවල සිංහල උච්චාරණය නිවැරැදිව කියා දී ඇත්තේ ද බන්ධුය.

‘දොස්තර’ (1956) දුප්පතාගේ දුක (1956), ‘සූරයා’ (1957), ‘සූරසේන (1957), වනමෝහිනී (1958), ‘වීර විජය’ (1966), ‘ඔබ දුටුදා’ (1967), ‘හොඳින් ඉන්න’ (1980) ‘සන්දේශය’ (1960) චිත්‍රපටවල රඟපෑ ඔහු සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරුන් 7 ක් යටතේ කාර්මික ඥානය ලබා ගත්තේය.

‘මම මුල්ම චිත්‍රපටයේ රඟපෑ චරිතයට කෑම බීම, නවාතැන්, ගුවන් ගමන් ටිකට් සමඟ මසකටම ලැබුණේ රුපියල් 250 යි. මම දුක් විඳලා චිත්‍රපටයක කාර්මික දැනුම, කැමරා කෝණ ගැන දැනුමක් ලබා ලංකාවට ආවේ කවද හරි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා කියන අධිිෂ්ඨානයෙන්’ ඔහු වරක් මට කීය.

1966 බන්ධු ගුණසේකර චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරයි. එහි සම අධ්‍යක්ෂ ප්‍රේමනාත් මොරායස්ය. එහි නම ‘සීගිරි කාශ්‍යප’ය. මෙහි ගාමිණී ෆොන්සේකා, හෙන්රි ජයසේන, ජෝ අබේවික්‍රම ප්‍රධාන චරිත රඟපෑ අතර එහි එන මේ ගීත එදා ජනප්‍රිය වී ඇත. ‘පිරුණා හද සන්තානේ (ලන්ත්‍රා හා සුජාතා) ‘නරපතියා වෙත යන්නේ’ (ජෝතිපාල).

1930 ජූලි 09 වෙනිදා මාතලේ උපත ලැබූ බන්ධුරත්න ධර්ම විජය ගුණසේකර අධ්‍යාපනය ලැබූ පාසල් කිහිපයක් වෙයි. මාතලේ සාන්ත ඇග්නස් කන්‍යාරාමය, මාතලේ හරස්ගම සිංහල පාසල, ඔලුබොඩුව සිංහල පාසල, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, කෝට්ටේ සහ මාතලේ සාන්ත තෝමස් විද්‍යාල ඒවාය. ඔහුගේ පියා හේමචන්ද්‍ර ධර්මවිජය ගුණසේකර නොතාරිස්වරයෙකි. සුමනාවතී ගුණසේකර ගුරුවරියකි. බන්ධුගේ එකම සහෝදරයා පණ්ඩිත දයා ගුණසේකර එදා තිබූ සෙනෙට් සභාවේ පුස්තකාලයාධිපතිවරයා ලෙස සේවය කර ඇත.

බන්ධු ගුණසේකර ටෙලි නාට්‍ය නළුවෙකු ද විය. යසෝරාවය, රන්ගල් තලාව (සුදු මාමා) මේ ටෙලි නාට්‍යය. කලක් සන් පත්‍රයේ උප කතුවරයකු ලෙසද, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධිකරණ නිලධාරියෙක් ලෙස ද ඔහු කටයුතු කොට ඇත. 1980 වසරේ ‘හොඳින් ඉන්න’ බන්ධු ගුණසේකර අවසන් වරට අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය විය. ඔහු නිර්මාංශිකයකු විය. පිරිත් බලෙන් ලෙඩ සුව කරන බලයක් ඇති බව විශ්වාස කළේය.

‘මම නාරද හාමුදුරුවන්ගේ ඉංග්‍රීසි ධර්ම දේශනා, බුද්ධාගම ගැන ලියූ පොත් කියවලා මගේ ජීවිතය වෙනස් කර ගත්තා. අභිධර්මය ඉගෙන ගත්තා. මිනිස් ජීවිතය විනිවිද දැක්කේ ඊට පස්සේ. දවසක් මම බස් රියක යද්දී මා ළඟ සිටිි කාන්තාවක් තදබල ලෙස හිසේ කැක්කුමකින් සිටිනු දුටුවා.

‘ඔබ කැමති නං පිරිත් කියලා මම හිසේ ඇම්ම සමනය කරන්නම්’ මම කිව්වා.

මම පිරිත් කියලා ප්‍රාර්ථනා කළා මේ තැනැත්තියට සහනයක් ලැබේවා කියලා.

ඇගේ හිසරදය සුව වුණා. මම එදා ලොකු සතුටක් ලැබුවා’ බන්ධු වරක් මට කීවේය.

කෙනෙකුගේ පපුවට අත තබා රෝග නිධානය සොයා පිරිත් කියා ආශිිර්වාද කිරීමෙන් සතුටක් ලබයි. සොයිසා පුර නිවැසි අයට මෙන්ම බැංකු සේවකයින්, ස්වීප් විකුණන අය, වෙනත් වෙළෙදාම්වල යෙ

දෙන කාට වුව ද, තරම තිරම නොබලා පිරිත් කියා ‘සහනයක් ලැබුණාදැයි’ කාරුණිකව අසයි. නොමිලයේ කෙරෙන මේ ආශිර්වාදයෙන් පසු ඔවුන් මඟ හමු වූ විට ‘මහත්තයාගේ පිරිත් බලෙන් මට දැන් හොඳයි’ කියයි. ඔහුගේ මුහුණ පුරා කදිම සිනා රැල්ලක් මතු වෙයි.

තම චිත්‍රපට ජීවිතයේ අමතක නොවන අත්දැකීම් විස්තර කළ හෙතෙම මුල්ම චිත්‍රපටය ප්‍රදර්ශනය වන කාලයේ පණ්ඩිතයා ලෙස රඟපෑම් දැක බස් නැවතුම්පලකදී දෙදෙනෙක් මෙසේ කතා කරමින් සිටිනු දැක්කේය.

අපි අර ඊයේ බලපු පික්චර් එකේ ‘ගඳ පණ්ඩිතයා නේද අර’ කෙනෙක් අනෙකාට කීය.

බන්ධු දෙස බැලූ අනෙකා කීවේ ‘ඔව්, ඔව් ඌ තමයි මිනිහා ගඳයා’ කීය.

මේ සිද්ධිය කියමින් හේ සිනාසුණේය.

කීර්තිමත් පරිපාලන නිලධාරියකු වූ ආචාර්ය ලීල් ගුණසේකර මහතා බන්ධු ගුණසේකරගේ මහප්පාගේ පුතෙකි.

මම ජීවිතයේ නොලැබුණු දේ ගැන තැවෙන්නේ නැහැ. ඒ ගැන හිතන විට මගේ මතකයට එන්නේ නාරද හිමියන්ගෙන් ඉගෙන ගත් ධර්මය. මම කා සමඟවත් තරහ නැහැ. වෛරයක් නැහැ. ලැබුණු දෙයක් මිස නොලැබෙන දේ ගැන මට දැන් ආශාවක් නෑ’.

බන්ධු ගුණසේකර මට හමු වූ අවසන් අවස්ථාවේ කිීවේය.

ඔහුගේ බිරිඳ ලලිතා මිය ගියේ බොහෝ කලකට ඉහත හදිසි අනතුරකින් විදේශයකදීය. ගුණසේකර යුවළට පූර්ණිකා නමින් දියණියක් ද චින්තක නමින් දරුවෝ දෙදෙනෙක් සිටිති. චින්තක නමින් පුතකුද ලෙස ද ඕස්ට්‍රේලියාවේ පදිංචි අතර දියණිය සොයිසා පුර මහල් නිවාසයේ පදිංචිව සිටින්නීය.

බන්ධු ගුණසේකර නම් අව්‍යාජ, අහිංසක මිනිසා පසුගිය 18 වෙනිදා මියගිය අතර අවසන් කටයුතු පසුගියදා ගල්කිස්සේ දී සිදු කෙරිණ.