අපේ කාවන්ට රැකවරණය දුන් රතු ඉන්දියානු පොප් දෙවඟන

දෙසැම්බර් 17, 2020

"ලොව වඩාත්ම තනිකමෙන් දිවි ගෙවූ අලියාට පවුලක් හිමි විය". පසුගිය සතිය පුරා මෙම සිරස්තලය යටතේ දෙස් විදෙස් අවධානය දිනා ගත්තේ කාවන් නම් අලියෙකි. පකිස්තානයේ ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයේ ඉතා දුක්ඛිත දිවියක් ගෙවූ කාවන් නිදහස් කරන ලෙස දේශීය හා ජාත්‍යන්තර සත්ව අයිතිවාසිකම් කණ්ඩායම් පෙත්සම් ඉදිරිපත් කිරීමට පටන් ගත්තේ 2016 වසරේදීය. ඔහුගේ සහකාරිය සහෙලි 2012 දී මියයාමෙන් පසු ඔහු තනි වී සිටියේය.

 

කාවන් යනු 1985 වසරේදී ශ්‍රී ලංකාවේ උපත ලද හස්තියෙකි. දෙරට අතර සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස 1985 දී කාවන් ශ්‍රී ලංකා රජය විසින් පකිස්තානයට තෑගි කරන ලදී. කාවන්, 1990 දී සහෙලි නම් සහකාරිය බංග්ලාදේශයෙන් ගෙන එන තෙක් පකිස්තානයේ ජීවත් වන එකම ආසියානු අලියා ලෙස ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයේ රැඳී සිටියේය.

නමුත් පසුගිය සතියේදී පකිස්තානු සත්වෝද්‍යානයෙන් නිදහස ලබා ගුවන් මඟින් රැගෙන ගිය කාවන් සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ කාම්බෝජයේ අභයභූමියක් වෙත මුදා හරින ලදී. කාවන්ගේ නිදහස වෙනුවෙන් අධිකරණ තීන්දුව ලබා ගැනීමේ සිට කාම්බෝජය කරා රැගෙන යන තෙක් සත්ත්ව අවිහිංසා සංගම් සමඟ මුලිකව කටයුතු කළ සුවිශේෂි පුද්ගලයෙකු විය. ඇය 'පොප් දෙවඟන' ලෙසින් විරුදාවලි ලද අමෙරිකානු ගායිකාවක, නිළියක වන චෙර් ය. චෙර් මුලින්ම කාවන්ගේ දුක්ඛිත තත්වය පිළිබඳ අසා තිබුණේ 2016 වසරේදී ය. වනජීවී ආරක්ෂණ පුණ්‍යායතනයක් සමඟ සහයෝගයෙන් කාවන් නිදහස් කර ගැනීම වෙනුවෙන් කටයුතු කළ ඇය, වරෙක කාවන් දැකබලා ගැනීමට පකිස්තානයේ සංචාරයක ද යෙදුණාය. කාවන් නිදහස් කිරීමේ අධිකරණ නියෝගය පසුගිය මැයි මාසයේදී ප්‍රකාශයට පත් කළ විට, එය ඇගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨතම අවස්ථාව ලෙස නම් කළාය. එතැන් සිට නිරන්තරයෙන් ඇයගේ ට්විටර් ගිණුමේ කාවන්ගේ ප්‍රගතිය ද සටහන් විය.

චෙර් හෙවත් චෙරිලින් සර්කිසියන් සුවිශේෂි කටහඬ, විවිධාකාර විලාසිතාවන් ගෙන් ප්‍රසිද්ධිය ලද අතර ඇයගේ වෘත්තීය ජීවිතය දශක හයකට ආසන්නය. මේ වන විට 74 වැනි වියේ පසුවන ඇය තවමත් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරි චරිතයකි. 1965 දී චෙර් ජනප්‍රිය වූයේ සැමියා වූ සොනි බෝනෝ සමඟ ගැයූ "I Got You Babe"ගීතය එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ අංක එකට පත්වීම සමඟිනි. 1967 අවසානය වන විට ඔවුන් ලොව පුරා ගීත පිටපත් මිලියන 40 ක විකුණුම් වාර්තා කළ අතර ටයිම් සඟරාවට අනුව රොක් යුවළ බවට පත්විය.

1970 දශකයේ දී ඇය ජනප්‍රිය රූපවාහිනී තරුවක් බවට පත් වූ අතර ඇයගේ The Sonny & Cher Comedy Hour  වැඩසටහන එහි තෙවසරක කාලය තුළ සතිපතා මිලියන 30 කට අධික ප්‍රේක්ෂක පිරිසක් නරඹා ඇත. රූපවාහිනී වැඩසටහන්වලදී ඇයගේ විචිත්‍රවත් ඇඳුම් විලාසිතා කැපී පෙනුණි. ඇයගේ "Gypsys, Tramps & Thieves", "Half-Breed", and "Dark Lady" යන ගීත එක්සත් ජනපද බිල්බෝඩ් හොට් 100 ගීත දර්ශකයට ඇතුළත් වූයේ, ගායිකාවකගේ වැඩිම ගීත සංඛ්‍යාව ලෙස අමෙරිකානු ඉතිහාසයේ සටහන් කරමිනි. 1975 දී සෝනි බොනෝ වෙතින් දික්කසාද වීමෙන් පසුව, ඇය ඩිස්කෝ ඇල්බමයක් ලෙස Take Me Home (1979) ඉදිරිපත් කළාය. රොක්, පොප් රොක්, ඩිස්කෝ, හිප් හොප් ඇතුළු විවිධ සංගීත ශෛලීන් ඇය සිය නිර්මාණ වෙනුවෙන් භාවිතා කර තිබීමද විශේෂය.

1982 දී චෙර් වේදිකා රංගනයට පිවිසියේ Come Back to the 5 & Dime, Jimmy Dean, Jimmy Dean නාට්‍යයෙනි. Silkwood(1983), Mask (1985), The Witches of Eastwick (1987) චිත්‍රපටවල ඇයගේ රංගනයන් පැසසුමට ලක් විය. Moonstruck (1987) චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය ඔස්කාර් හොඳම නිළියට හිමි සම්මානය ද දිනා ගත්තාය. If These Walls Could Talk (1996) ටෙලි චිත්‍රපටයට ඇය සම අධ්‍යක්ෂණයෙන් දායක වූ අතර ගබ්සාව තේමාකර ගත් එය විචාරක පැසසුමට ලක් විය.

චෙර් ඇයගේ පළමු ඇල්බමය වන All I Really Want to Do නිකුත් කළේ 1965 දීය. 1991 දී ඇයගේ විසිවන ස්ටුඩියෝ ඇල්බමය Love Hurts එක්සත් රාජධානියේ අංක එක බවට පත් වූ අතර යුරෝපීය රටවල් කිහිපයක ගීත ඇල්බම ලැයිස්තුවල ඉහළින්ම සිටී ගීත එකතුවක් බවට පත් විය. 1998 වසරේදී නිකුත් කළ Believe ගීත ඇල්බමය බිල්බෝඩ් සංගීත සම්මානය දිනා ගත් අතර එහි අඩංගු Believe ගීතය එක්සත් රාජධානියේ ගායිකාවක විසින් වැඩිම අලෙවියක් ලැබූ ගීතය බවටද පත් විය. 2018 වසරේදී Mamma Mia! Here We Go Again චිත්‍රපටයට දායක වූ අතර ඒ සමඟ නිකුත් කළ Dancing Queen ඇල්බමය බිල්බෝඩ් 200 හි තුන්වන ස්ථානයට පත්විය. එය ඇයගේ 26 වැනි ගීත ඇල්බමයයි. මිලියන 100 කට අධික පිටපත් විකුණුම් වාර්තා කළ චෙර් තවමත් ඉහළ මිලක් ලද තරුවකි. ඇයගේ ජයග්‍රහණ අතර ග්‍රැමී සම්මානය, එමී සම්මානය, ඇකඩමි සම්මානය, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ත්‍රිත්වය, කාන් සිනමා සම්මානය, බිල්බෝඩ් අයිකන් සම්මානය සහ කෙනඩි සෙන්ටර් ගෞරව සහ අමෙරිකාවේ විලාසිතා නිර්මාණකරුවන්ගේ කවුන්සිලයේ සම්මාන ඇතුළත් වේ. 1960 සිට 2010 දක්වා අඛණ්ඩව දශක හයක් තුළ බිල්බෝඩ් ප්‍රස්ථාරයේ අංක එකේ ගීතය ලබාගත් එකම කලාකරුවා වන්නේද ඇයයි.

ඇයගේ වෘත්තීය දිවියේ සංගීතයට හා රංගනයට අමතරව දේශපාලන ක්‍රියාකාරීත්වය, සත්ව හිමිකම් ක්‍රියාකාරිනියක, සමකාමී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සහ එච්අයිවී - ඒඩ්ස් වැළැක්වීම ඇතුළු සමාජ ක්‍රියාකාරිත්වය නිසා ද ඇය කැපී පෙනේ. පකිස්තානයෙන් ලොව වඩාත්ම තනිකමෙන් දිවි ගෙවූ අලියා බේරාගෙන දින කිහිපයකට පසු චෙර්, ඇය විසින් පිහිටුවන ලද ෆ්‍රී ද වයිල්ඩ් නම් පුණ්‍යායතනය හරහා තායිලන්තයේ වෙළෙඳ මධ්‍යස්ථානයක ඉහළ මහලේ පිහිටි සත්වෝද්‍යානයක දශක තුනක් පුරා දිවි ගෙවන බුව නෝයි නම් ගෝරිල්ලෙකුහට නිදහස දිනා දීමේ උත්සාහයක නිරත වී සිටින්නීය.