අපේ වචන ඔබට අකුරු කළ ගාමිණි

ජනවාරි 28, 2021

සරසවිය පාඨක ඔබේ ඇස ගැටෙන ප්‍රවෘත්ති හා විශේෂාංග නිතර කියවද්දී එහි ලේඛකයන් ද ඔබේ සහෘදයන් බවට පත්වනුයේ නිතැනිනි. එහෙත් එසේ ඇස නොගැසී සරසවිය ගෙන එන්නට වෙහෙස වන මිනිසුන් බොහොමයකි. පත්තරේට ලිපි ලියූ විවිධ ලේඛකයන්ගේ විවිධ හැඩැති ලිපි එක විධියකට අකුරු බවට පත් කළ සුන්දර මිනිසකු පසුගියදා විශ්‍රාම ගියේය. මිනිසකු විශ්‍රාම යෑම සාමාන්‍ය කරුණක් වුවත් ඔහුගේ විශ්‍රාම යෑම අසාමාන්‍ය කරුණක් සේ සලකා සටහනක් ලිවිය යුතුව ඇත. ඒ සේවාකාලය අවුරුදු පනස් දෙකක් වැනි දීර්ඝ කාලයක් වීම හේතුවෙන්ය. අබ්සේකර ආරච්චිගේ ගාමිණී පෙරේරාය. නැතහොත් ගාමිණී පෙරේරාය. සරසවිය පවුලේ සාමාජිකයන්ට ගාමිණි අය්යාය. කොටින්ම ලියන වචන කාගේ වුවත් අකුරු යතුරු පුවරුවේ ලියන්නේ ඔහුය. ඉපැදුණේ නාරාහේන්පිටය. ඒ 1950 වසරේ ජූලි මස 8 වැනි දිනදීය. තාත්තා ලේක් හවුස් ආයතනයේම සේවකයකුව සිටි ඇල්බට් පෙරේරාය. පවුලේ සාමාජිකයන් ගණන තුනකි. ගාමිණි වැඩිමහල්ලාය. බාල නැගණියක් හා මල්ලි ය. වැල්ලවත්ත ඇරතියුසා විදුහලෙන් අධ්‍යාපනය හැදෑරු ඔහු 1968 වසරේ සැප්තැම්බර් මස තුන්වැනි දින ලේක් හවුස් ආයතනයේ සේවයට එන්නේ අකුරු ඇමණුම් අංශයේ ආධුනිකයකු හැටියටය. මූලික වැටුප රුපියල් එකසිය අටකි. ඒ මුදලින් රුපියල් තුනකට ඉහළම ගණයේ හෙන්ට්ලි කමිසයක් ගත හැකිය. ඉතිරි මුදල් අම්මා අතට දීම ඔහුගේ සිරිත විය. සේවයට පැමිණීමට බස් ගාස්තුව ශත පහකට වැඩි වූයේ නැත. එකල ගාමිණි අය්යලා ජීවත්වූ නිවෙස තිබුණේ අද නාරාහේන්පිට කිරුළ පාරේ ආසිරි රෝහලට අල්ලපු ඉඩමේය. ගාමිණි ලේක් හවුස් ආයතනයේ සිංහල අකුරු අමුණන විට සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල භාෂාවටත්, සාහිත්‍යටත් බුද්ධාගමටත් ඉහළම සම්මාන දිනා ගෙන තිබිණ.

ඒ අවධියේ අද මෙන් පරිගණක නොතිබිණ. අකුරු ඇමුණුම සෙල්ලමක් නොවිණ. පොල් ගෙඩි සයිස් එකෙන් හෙඩිමක් දැමීමේ සිට සාමාන්‍ය ලිපියක් දක්වා විවිධ අකුරු හැඩතල වලින් පිටු සෑදීම සෙල්ලමක් නොවිණ. ආධුනිකයකු ලෙස සේවයට එන ගාමිණිට පැවරුණ මුල්ම රාජකාරිය රත් වුණු ඊයම් බරුවලින් අකුරු සහිත පුවරු ඔසවාගෙන ඒමය. මේ අංශ බාරව සිටියේ ෆෝමන්ලාය. ඔවුන් ඇමතුවේ බාස් උන්නැහේ යනුවෙනි. බාස් උන්නැහේලා සැර වැර ඇති පිරිසකි. මේ දුෂ්කර ක්‍රියාවේදී එය සාමාන්‍ය දෙයකි. සරසවිය ඉතිහාසයේ ඇති වැදගත්ම ඡායාරූපයක සඳහන් වනුයේ ආරම්භක කර්තෘ මීමන ප්‍රේමතිලක මහතා පුවත්තේ මුල්ම අත් පිටපත බාරදෙන්නේ කර්තේලිස් බාස් උන්නැහේටය. ගාමිණි පෙරේරාට මුල්ම රැකියාව ලැබෙනුයේ ද කර්තේලිස් බාස් උන්නැහේ යටතේය. ගාමිණි අය්යාගේ සිරිත නම් කිසිවිටෙකත් බැහැයි නොකිීමය. රස්සාව දුෂ්කර වුවත් එයට ලැදි වන්නට ඔහු තීරණය කළේය. ඔහුගේ දින චර්යාවේ පැවැති වැදගත්ම කාරණය නම් ආයතනයටත් කරන කාර්යයටත් ළැදිව සේවය කිරිමය. ඔහු රාජකාරිය සැලකුවේ ගෙවන වැටුපට සරිලන්න නොව ආත්ම තෘප්තිය ලැබෙන්නක් හැටියටය. බාස් උන්නැහේලාගේ බැනුම් මෙන් නොව ඊයම් පුවරුවක් ලෙස්සා ගියොත් එහි උණු ඊයම් මුහුණට වැටීම සෙල්ලමක් නොවිණ. එමෙන්ම කිසිවකු හෝ කිසිවක් කිසිවිටෙකත් පහසුවෙන් කියාදෙන්නේ ද නැත. එහෙත් ගාමිණි වේලාව නොවරදවා බැති පෙම් උපදවා ශිල්පය ඉගෙන ගත්තේය. කාලය නිම වන විට ඔහු හොඳීන් පදම්ව සිටියේය. රාජකාරිය විනෝදයක් වූ කල එහි දුෂ්කරතාවය අමතක වෙයි. කතුවරුන් හා බාස්වරුන් අතර අරගල තිබුණ ද ඒ සියල්ල සුහදව පිළියම් යෙදෙයි. අද මෙන් නොව සයිස් එකට ගැළපුණු හෙඩිමක් ලිපියක් මාරු කිරීම ලියන්නාට කොයි හැටි වෙතත් ලයින් ඔපරේටර් නම් වෘත්තිකයන්ට පහසු වැඩක් නොවිණ. වත්මන් ලේඛකයෝ තම ලිපිය තමා විසින්ම පරිගණක ගත කර ගනිති. එසේ නැත්නම් හඬ අනුව ස්වයං ටයිප් කිරිමට තරම් තාක්ෂණය දියුණුය. එහෙත් එකල පුවත්පත් කලාවේදින්ට අකුරු ඇමුණුම යනු වෙනත් අංශයක් විය. එබැවින් පුවත්පත් කාලවේ සිටි දැවැන්තයන් සමග වැඩ කරන්නට ද අවස්ථාව ගාමිණි අයියලාට ලැබිණ. ලයින් ඔපරේටර් තත්ත්වයට පත්වන්නට වසර පහක්වත් ආධුනික කාලය සැපිරිය යුතුය. ඔපරේටර් කෙනෙකුට වැටුපට අමතරව තමා ඇමුණූ අකුරුවල දිග අනුව ද මුදල්ක් ලැබෙයි. එය මැන්නේ අඟල් ගනිණිනි. එයට අමතරව අතිකාල දීමනා ද එමටය. ඔපරේටර්වරු විවේකයක් ලබන හැමවිටම වැඩේට අත ගසන්නට ගාමිණි අය්යා වග බලාගත්තේය. පළපුරුදු අකුරු අමුණන්නෝ එය ප්‍රතික්ෂප නොකළහ. හේතුව ආධුනිකයා අතින් වුව තම අඟල් ගණන වැඩිවන විට වැඩිපුර මුදලක් ලබා ගත හැකි හින්දාය. එය ගාමිණිට මහත් පාඩමක් විය.

අවුරුදු පහක සේවයෙන් පසු ගාමිණී ආයතනයේ ස්ථිර සේවකයකු වන විට සිය කාර්යය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා සිටියේය. කොහොමටත් මේ අවදියේ සේවය ස්ථිර වනුයේ ද කාර්ය ශූර මිනිසකුට පමණකි. එවකට ලේක් හවුස් ආයතනය සභාපති ධුරය දැරුවේ රංජිත් විජයවර්ධන මහතාය.

‘ඒ මහත්තයාගේ වෙඩින් එකට ලේක් හවුස් එකේ සියළු සේවකයන්ට ආරාධනා කළා කොටින්ම වැසිකිලි හෝදපු මනුස්සයාට පවා. හැබැයි කිසිම තෑග්ගක් ගෙන ඒම තහනම්. දවස් තුනකට වගේ මඟුල් ගෙදර තිබුණා.‘වතාවක් අතීතාවර්ජනයකදී ගාමිණී අයියා කියා සිටියේය. 

ලේක් හවුස් ආයතනය තාක්ෂණය අතින් නවිකරණය වන්නට පටන් ගත්තේ 1979 වසරේ පමණය. මේ වන විට ආයතන පාලනාධිකාරය රජය සතු කොට ගෙන තිබිණ. ඒ 1973 වසරේ ය. අලුත් තාක්ෂණයත් සමඟ හැඩ ගැසෙන්නට ගාමිණී සමත් විය. යුගයට ගැළපෙන පරිදි මුහණ දීමට අසමත් වුවහොත් ඕනෑම ඩයිනෝසෝරයෙක් වඳ වී යන බව ගාමිණි අයියලා දැන සිටියේය. ගාමිණිලා ගේ දක්ෂකම වූයේ කාලානූරූපව හැඩ ගැසෙන්නට තිබුණු සමත්කම සහ ඕනෑකමය. කාලය සමඟ තාක්ෂණය වෙනස්වන බවත් ඒ අනුව හැඩ ගැසෙන්නට බැරි නම් කවර ජගතෙක්ට වුව ඉඩක් නොලැබෙන බවත් ඔහු දැන සිටියේය. එමෙන්ම අතීතයේ දුෂ්කරතාවය සතුටින් සිහිපත් කරන්නට ඉඩ දී වෘත්තියේ පහසු සරල ක්‍රමවලට අනුවර්තනය වීම අත්‍යවශ්‍ය බැව් ඔහු දැන සිටියේය. ගාමිණී අය්යා නිවාඩුවක් ගත්තේ ඉඳහිටය. පාන්දරින් රැකියාවට එන ගාමිණී අයියා දන්නා කියන කාලයේ සිට පිළිපදින සිරිත් කිහිපයක් විය. සේවා ස්ථානයට ඇතුළුවන ඔහු ආයතනයේ නිර්මාතෘ ඩී.ආර්.විජයවර්ධන මහතාගේ රූපයට වැඳ නමස්කාර කිරිම මුල්ම සිරිතයි. දෙවැනුව වැඩ ආරම්භ කරන්නට පෙර බුදුන් වැඳ තම යන්ත්‍රයට ආචාර කිරීමය . සවස කීයට හෝ වැඩ ඇරී යන විට ද තම ආයතනය දෙස බලා නමස්කාර කිරීම ඔහුගේ සිරිතය. අනතුරුව එළියට යන ඔහු නිවෙසට යන්නට පෙර හීන් අඩියක් දමා ගන්නට ද අමතක නොකරයි. ඒ නියමිත ප්‍රමාණයකිනි. අඩුද වැඩි ද නැති සම්මත ප්‍රමාණයකි. නිර්මාංශිකයකු බැවින් එහි රසමසවුළු සඳහා භාවිතයට ගැනෙන්නේ එයට ගැළපෙන දෙයකි.

කලක් වෙනම අංශයක්ව තිබුණු ලේක් හවුස් පරිගණක අක්ෂර අංශය පසුව වෙන් කොට එහි සාමාජිකයෝ ආයතනයේ පුවත්පත් සඳහා අනුයුක්ත කෙරිණ. සරසවියට ගාමිණි අය්යා අනුයුක්තවූයේ දොළොස් අවුරුද්දකට පෙරාතුවය. අම්මාත් සමග නුගේගොඩ ක්වින්ලන් සිනමාහලේ අංගුලිමාල නරඹා සිනමා ලෝලියකු වූ ගාමිණි අය්යාට සරසවිය තරම් සිත් ගත් තවත් තැනක් නොවිණ. සිනමා ලෝලියකු වූ බැවින් ඔහු ගේ රස මතක කථා බොහොමයක් ද විය. ඔහු සරසවියට එක් වන විට එහි කිසිදු කර්තෘ මාණ්ඩලිකයකු පරිගණක අක්ෂර සංයෝජනය දැන සිටියේ නැත. ලිපි කවර ප්‍රමාණයක් ලැබුණ ද කිසිවිටෙකත් ගාමිණි අය්යා බැහැයි කිව්වේ නැත. අමාරුම කාර්යය වූයේ සරසවිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාරගේ හා උප කර්තෘ චන්දන දයා සිරිවර්ධනගේ අකුරු කියවීමය. ඒ අකුරු නොවරදා ටයිප් කරන්නට නම් ඔහු දෙවන පෑතිස් රජ දවස ශිලා ලිපි කියවන්නෙකු විය යුතුය . පුදුමය නම් ගාමිණි අය්යාට ඒ හැකියාව තිබීමය. ඔහුගේ රාජකාරිය පැය අටකට සීමා නොවිණ. කතුවරයාගේ ඉතා වැදගත් රහස් ලිපියක් වගකීමෙන් යුතුව සකස් වන්නේ ද ඔහු අතින්ය. ඔහු ඒ සදහා තෝරා ගන්නේ කිසිවකුත් නැති රාත්‍රියයි. අදාල ලිපිය නිසි ලෙස සකසා කර්තෘවරයාගේ අතට පත්වෙයි. ලිපියෙහි අන්තර්ගතය දන්නේ ලිපිය ලබන අදාළ පාර්ශවයත් ලිපිය ලියූ කතුවරයාත් ගාමිණී අය්යාත් පමණකි.

එහෙත් පුවත්පතක ලිපි පරිගණක ගතකිරිම සම්බන්ධව ගාමිණිගේ සේවයට සරසවිය පමණක් යැයි පංගු පේරුවක් නොවිණ. වෙනත් පුවත්පතක හෝ හදිසි ලිපියක් නම් බැහැයි කියන්නට ඔහු කිසිවිටෙකත් සැරසී නැත.

‘ඒ මිනිස්සුත් ආයේ එලියට ගිහින් ටයිප් කරන්නයැ‘ ඔහු එවිට පවසයි. රාජකාරිය දේවකාරිය ලෙස කළ ද එයට කොහේ හෝ තැනක ඉඳ අකුල් හෙලන අපතයන් කොතැනවත් නැතුවා නොවේ. ගාමිණි අය්යා ද එබන්දකට මුහුණ දුන්නේය. ඒ ඔහු සරසවියට එක් වන්නට පෙර යුගයේය. කිසිම දිනෙක නිවාඩු නොගන්නා ගාමිණි අය්යාට එක වසරක දී එම ප්‍රතිපත්තිය බිඳීන්නට සිදුවිණ. හේතුව මහලු වියේ සිටි තම පියාත් මවත් දෙදෙනාම එක්තැන්වීම සමඟය. ඔවුන් දෙදෙනා වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නට අවිවාහක ගාමිණී අය්යා ස්වෙච්ඡාවෙන් බාර ගත්තේය. ප්‍රතිඵලය වැඩිපුර නිවාඩු ගැනීමය. එතුවක් කළ සේවය අමතක කළ අංශ ප්‍රධානියා ගාමිණීට ගෙදර යන්නට සැලැස්වූයේය. එහෙත් ගතවූයේ ටික දිනකි. එවකට සිටි සභාපති කේසර ලාල් ගුණසේකර මහතාට තම අභියාචනය යැවීමට ගාමිණිට හැකිවිය. වහාම විධිමත් පරික්ෂණයක් පැවැත්විණ. විසි පස් වසරකටත් වඩා රාජකාරි කළ ඔහු කිසිකලෙකත් සේවය පැහැර හැරිය පුද්ගලයකු නොවන බවත් එම කාලය ඇතුළත වැඩි පුර කිසිදු නිවාඩුවක් නොගත්තේකු බවත් සභාපතිවරයාට වැටහිණ. මේ නිවාඩු වැඩිපුර ගෙන ඇත්තේ අතිශය මානුෂීය හේතුවකටය. වහාම චෝදනා අවලංගුවිය. රාජකාරියේදී අමනුස්කම පිළිබඳ අංශ ප්‍රධනියාට එල්ල වූ දැඩි දෝෂාරෝපණයත් සමග ගාමිණි යළි සේවයේ පිහිටුවනු ලැබිණ

සරසවියේ වාර්ෂික සවාරිය හෝ කර්තෘ මිතුරන් එක් වන තැන ගාමිණි අය්යා ද එක්වන්නේය. මේ සොඳුරු වැඩිහිටියා තැනට ගැලපෙන රසවත් ම චරිතයකි. මදක් දිගට වැවුණු කොණ්ඩය නිසා ඔහු ට කපුගේ අය්යා යන අන්වර්ථ නාමයක් ද පළඳා තිබිණ. ඇතැම් තැනක දී මේ පෙනුම නිසා ඔහු නොදන්නා හිතවතෙකුට ගාමිණී අය්යා විශාරද ගුණදාස කපුගේ ගේ ඥාතියෙකු ලෙස හඳුන්වාදී අහිංසක විනෝදයක් ගන්නට අපේ එවුන් අමතක කළේ ද නැත. සාමාන්‍යෙයන් වැඩිපුර කථා නොකරන ගාමිණී අය්යා හිනාවකින් මේ විහිළුවට සම්මාදම් වෙයි.

කාලයාගේ ඇවෑමෙන් පනස් දෙවසරකට පසු ඔහු ඉසිඹු ලබන්නට තීරණය කළේය. ඒ හා සමාන කැපවීමෙන් යුතුව රාජකාරිය කරන මිනිසුනගේ අඩුව දැනෙන යුගයකි. එහෙත් ඒ ඉරණමට මුහුණ දිය යුතුය.

ගාමිණී අය්යා ගෙදර ගිහින් මොකද කරන්න හදන්නේ? රස්සාවට ඇබ්බැහි ව සිටි ඔහුගෙන් මම විතාළෙමි.

‘මම හොද රේඩියෝ එකකුයි. හොද ෆෝන් එකකුයි ගන්නවා.‘

‘ඒ මොකටද?‘

‘රේඩියෝ එක බණ අහන්න. ෆෝන් එකක් ගත්තාම දැන් හොද පිච්චර් ගෙදරට වෙලා බලතෑකි .‘

විශ්‍රාම ගියත් ගාමිණි අය්යා යාවත්කාලින වන ඉලන්දාරියෙකි .

ඔහුගේ විශ්‍රාම දිවිය ඉතා නීරෝගි අරුත්බර එකක් වේවායැයි සරසවිය පවුලේ සියලු සාමාජිකයන්ගේ ප්‍රාර්ථනයයි.

අර්ජුන් 
ශාන් රූපස්සර