මෝලිය ඇඹුල් වෙමින් කපුගේ හඬ යළි ජීවමාන වෙයි

සැප්තැම්බර් 16, 2021

 

මෝලිය ඇඔුල් වී ගීතයේ සම්පූර්ණ පද මාලාව

 

මෝලිය ඇඹුල් වී පදමට මලයණ්ඩි
මෝලිය කිරන්නට නැගිටින් මලයන්ඩී
කාලය ඉගිළුණා නොදැනුණි අයියණ්ඩි
මෝලිය කිරමු අපි හනිකට අයියණ්ඩී

 

රැ තුන්යමේ නින්දක් නොලැබුණු හින්දා
දෙනුවන් නිදි කිරා වැටුණාවද මන්දා
මුදලාලී ආවොතින් නේවිද නින්දා
නිදිගැට පිස ගනින් දිවිගැට ඇති හින්දා

 

ලිපට දර නොවේ කරදර ගොඩ වෙන්නේ
පෝරනු කුස නොවේ පපුවයි ඇවිලෙන්නේ
එන පෝයදාවත් ගම රට ගොස් එන්නේ
අම්මගෙ හිතට කවදද නිවනක් දෙන්නේ

 

 

ගායකයෙකු කයින් අප අතරින් සමු ගත්තත් ඔහුගේ හඬ කෙදිනකවත් මිය යන්නේ නැත. ඔහු ගැයූ ගීත වසර සිය ගණනක් අපට රස විඳීන්නට හැකිය. ඒ ඔහු අපට ඉතිරි කොට ගිය දායාදයයි. කලා ලොවේ කොයි කාගේත් සිත්ගත් එක්තරා ගායකයෙකු විය. ඔහුගේ ගීත අතිශය මනරම්ය. ඔහුගේ මනුෂ්‍යත්වය ඊට දෙවැනි නැත. ඔහු ගැයූ ගීත නිතර දෙවේලේ රසවිඳීන ගමන් ඔහු ගැන දන්න සහෘදයන් ඊළඟට කතා කරන්නේ ඒ චරිතය සතු මානුෂීය ගුණාංගයන් හේතුවෙන් ඔහු කළ කී දෑ පිළිබඳවය. ඒ සඳහා ඕනෑ තරම් උදාහරණද ඇත. ඒ අපූරු ගායකයා සංගීතවේදී විශාරද ගුණදාස කපුගේයි. ඔහු ගායකයෙක්ම පමණක් නොව සංගීතඥයකු ලෙසද තවත් පරපුරකට මග එළි පෙහෙළි කොට දුන්නේය. අවාසනාවකට අප අතරින් සදහටම සමු ගත්තත් කපුගේ සූරීන්ගේ ගීත නොඇසෙන දිනක් නැති තරම්ය. ඒ රසාලිප්ත ගීත ප්‍රචාරය නොවන සිංහල ගුවන් විදුලි නාළිකාවක් මෙරට නම් සොයා ගන්නට බැරිය. එතරම්ම කපුගේව අපට අවැසිය. මේ සොඳුරු මිනිසා ගැයූ අවසන් ගීතය පිළිබඳ ඔබ දැනුම්වත්ද? එසේ නොවන බවට අප විශ්වාසයෙන් පවසන්නේ මෝලිය ඇඹුල් වී යනුවෙන් නම් කළ එය නිසි ආකාරව රූප රචනයක් සහිතව මාධ්‍යයට නිකුත් වුණේ පසුගිය දිනක වන නිසාය. එය විශාරද ගුණදාස කපුගේ සූරීන් ගැයුවේ තනිව නොවේ. චන්දු ඉඹුලාන ඊට ගායන සහයෙන් එක් විය. එදා ගැයූ ඒ ගීතය අභාග්‍යයකට මාධ්‍යයකින් ප්‍රචාරය වුණේ නැත. එහෙයින් ඒ පිළිබඳ කිසිවකු දැන ගත්තේද නැත. එය එසේ සිදු වුණේ කෙසේද?... ඒ පිළිබඳ පසු කතාවක් ඇත. එය මෙතැන සඳහන් කළ යුතුමය. මේ සටහන ලියැවෙන්නේ මෝලිය ඇඹුල් වී ගීතය පිළිබඳ ඔබව වඩාත් දැනුම්වත් කිරීම සඳහායි.

කාලය හරියටම සඳහන් කළොත් දෙදහස්දෙක වර්ෂයේ දෙසැම්බර් මාසයයි. නුගේගොඩ නෙකෝ ශබ්දාගාරය සුපුරුදු පරිදි කාර්යබහුලය. නවක ගායකයෙකු වූ චන්දු ඉඹුලාන එදින එතැනට ගොඩ වැදුණේ සිහිනයක් සැබෑ කර ගැනීමේ අටියෙනි. එදා විශාරද ගුණදාස කපුගේ සූරීන්ද එතැන විය. ඉදිරි කතාව දිග හරින්නට චන්දු ඉඹුලානට අපි ඇරැයුම් කරමු. චන්දු ඉඹුලාන යන නම සරසවිය පාඨක ඔබට ආගන්තුක එකක් නොවන බවට නොඅනුමානය. ඒ ඔහු ඉතා දිගු කලක් සරසවිය කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළ බැවිනි. මෙතැන් පටන් ඒ චන්දු ඔබට කතා කරනු ඇත.

"මෝලිය ඇඹුල් වී ගීතය ලිව්වේ රත්නසිරි නල්ලපෙරුම කියන මගේ මිත්‍රයා. ඔහු ඔය ගීතය ලියලා තියෙන්නෙ අනූතුන වර්ෂයේ විතර. ඒ කාලයේදීම ඔහුට හිතිලා තියෙනවා මේක ගුණදාස කපුගේ සූරීන්ට කියලා මියුසික් කෙරුවොත් හොඳයි කියලා. ඒ නිසා පද මාලාව බොහෝ කාලයක් ඔහු ගාව තියාගෙන ඉඳලා තියෙනවා. පසුකාලීනව මේ පිළිබඳ මට කිව්වට පස්සේ ගුණදාස කපුගේ මහත්මයාව සොයාගෙන යන්න අපි තීරණය කළා. එතකොට දෙදහස් දෙක වර්ෂයේ විතර. එහෙත් අපි ඔහුව හඳුනන්නේ නැහැනේ. ඒ නිසා වැඩිදුර විස්තර හොයාගෙන යද්දි ප්‍රේමදාස කපුගේ කියන ඔහුගේ සහෝදරයා මේ ළඟ නිවෙසක සිටින බවට දැනගන්නට ලැබුණා. ඔහුව මුණගැහිලා අපි විස්තරේ කිව්වා. එතකොට ඔහු ගුණදාස කපුගේ සූරීන්ට දෙන්න කියලා ලියුමක් දුන්නා. ඒ ලියුම අරගෙන අපි කපුගේ මහත්තයාගේ ගෙදර ගියා. අනේ කිසිම ආගන්තුක බවක් ඔහු දැක්වුවේ නෑ. 'මල්ලිලා ඔය තියෙන තැනකින් වාඩිවෙයන්කෝ. අපි පොඩ්ඩක් ඔය ගීතය ගැන කතා කරමු කියලා කිව්වා.' සිංදුවේ අර්ථය ගැන ඒක නිර්මාණය වෙන්න ඕනේ කොහොමද කියන එක ගැන අපි රෑ වෙනකම්ම කතා කළා. දන්නැද්ද ඉතින්... පොඩි මධුවිත තොලගෑමකුත් එදා සිදුවුණා. කොහොම වුණත් එදා පටන් දිගටම කපුගේ අයියගේ සමීපතමයෙකු විදිහට මට කටයුතු කරන්න ලැබුණා. ඔහුගේ මනුෂ්‍යත්වය ගැන කියන්න ඇත්තටම වචන නැහැ. කවදාවත් සල්ලි කීයක් දෙනවද, සල්ලි අද දෙනවාද හෙට දෙනවද කියලා අහලම නෑ. කපුගේ අයියත් එක්ක මම රාජකාරී ගමන් රැසක් ගිහිල්ලා තියනවා. ඒවා ඉවරවෙලා ගෙදරට යන්න මට ත්‍රීවිල් එකට සල්ලි දෙන්නෙත් කපුගේ අයියා. ඔහොම කතා කරන්න ගියොත් තව ආර්ටිකල් එකක් කරන්න වෙනවා කපුගේ අයියාගේ මනුස්සකම ගැන. කොහොම හරි මෝලිය ඇඹුල් වී ගීතය අපි නුගේගොඩ ශබ්දාගාරයේ පටිගත කළා. ඔහු එදා අපිට ලොකු සහායක් දැක්වූවා. සින්දුව නිර්මාණය කරලා ඉවර වුණායින් පස්සේ මාධ්‍ය ආයතන රැසකට ගිහිල්ලා මම මේක ප්‍රචාරය කරන්නට කියලා උදවු ඉල්ලුවා. එකකින් ඇරෙන්න කිසිම ගුවන්විදුලි නාළිකාවකින් මේ ගීතය ප්‍රචාරය වුණේ නැහැ. ඇත්තටම මට ලොකු කලකිරීමක් ඇති වුණා. මොකද මට වැඩිය අඩුම තරමේ කපුගේ මහත්මයාට වත් ගරු කිරීමක් වුණේ නෑ කියලා මට හිතුණා. ඉතින් මම එදා තීරණය කළා කවදහරි මම මුදල් හොයාගෙන මේ සිංදුව විෂුවල් කරලා එළිදක්වනවාමයි කියලා. අන්න ඒ කර්තව්‍යය තමයි පසුගියදා සිද්ධ වුණේ. මෝලිය ඇඔුල් වී ගීතයෙන් කියැවෙන්නෙ බේකරියක වැඩ කරන අයියා මලෝ දෙන්නෙක් ගැන කතාවක්. ඒ අයියා හදිසියේම මියැදෙනවා. ඊට පසුව මල්ලි ඒ බේකරියේ රස්සාව දිගටම කරගෙන යනවා. මල්ලි හුඟක් වයසට ගිහිල්ලා. එතකොටම ඔහුට අයියව මතක් වෙනවා. ඔය වගේ සිද්ධි ටිකක් තමයි මේකට ඇතුළත් වුණේ. මෙහි රඟපෑවා දිලිප් මනෝහාර කියන අපේ රංගන ශිල්පියා. ඔහු තමයි කපුගේ අයියා විදිහට මේ චරිතය නිරූපණය කළේ. මම මල්ලිගේ චරිතය රඟපෑවා. ඉතින් මම හිතනවා මගේ බලාපොරොත්තුවක් ඉටු වුණා කියලා. මේ වෙලාවේ මට මතක් කරන්න තිබෙනවා බොහෝ දෙනෙකුව. විශේෂයෙන්ම ගුණදාස කපුගේ සූරීන්ගේ දයාබර බිරිය ප්‍රේමා කපුගේ මහත්මිය. ඇය මේ ගීතය රස විඳලා ආශිර්වාද කළා. ඒ වගේම සුගත් පෙරේරා කියන මගේ මිත්‍රයා නැත්නම් මේ විෂුවල් එක කවදාවත් කරගන්න ලැබෙන්නෙ නැහැ. මෝලිය ඇඹුල් වී ගීතය සැඟවෙච්ච ගීතයක් බවට පත්වෙලා තිබෙන්න ඉඩ තිබුණා ඔහුව මුණ ගැහුණේ නැත්නම්. ඔහු තමයි නිෂ්පාදන බරපැන දැරුවේ.

ශාන් ගුණවර්ධන කියන මගේ මිත්‍රයා තිර කතාව නිර්මාණය කළා. තිලකරත්න ලියනගේ තමයි විෂුවල් එක අධ්‍යක්ෂණය කරලා දුන්නෙ. කපුගේ මහත්මයත් එක්ක මම මේ ගීතය ගයනවා. සංගීතය නිර්මාණය කළෙත් කපුගේ මහත්මයායි. ඇත්තටම අපි ලොකු කැප කිරීමක් කළා වීඩියෝ එක සඳහා. විෂුවල් එකේ තියනවා මම පාපැදියක් පදින නිදර්ශන කිහිපයක්. ඇත්තටම ඒ පාපැදිය සොයාගත්තේ රූපගත කිරීම් කළ ගම්පහ අවට ප්‍රදේශයකින්. ඒ පාපැදිය කවදාවත් මේන්ටේන් කරපු එකක් නෙමෙයි. හරිම අමාරුවෙන් තමයි ඒ පාපැදිය මම පැද්දේ. පදිද්දි මම ඇඳපු පරණ සරම කිහිප සැරයක් ඉරුණා. ඒත් ඒ සියලු අපහසුතාවයන් විඳ දරාගෙන රූපගත කිරීම් කළා. ඔය පාපැදියේ තමයි මට අමතක නොවන අත්දැකීම. අපි ගීතයේ රූප රචනාව සඳහා යොදා ගත්තේ ඇත්තම දර පෝරණු සහිත බේකරියක්. ඒවා හොයා ගන්නත් හරිම අමාරුයි. මලල්ගොඩ ප්‍රදේශයේ එහෙම බේකරියක් තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා ප්‍රියන්ත සමරතුංග කියන මිත්‍රයා තමයි ඒ ලොකේෂන් එක හොයලා දුන්නේ. මේ බේකරියේ හිමිකරු අශෝක රාජපක්ෂ අපිට මේ විස්තරය කියපු ගමන් ඒ රූපගත කිරීම සඳහා බේකරිය දුන්නා. ඒ වගේම එහි ක්‍රිෂාන් කුමුදු කියන කෙනත් මතක් කරන්න ඕනේ. ඔහු සියලු වැඩ නවත්වලා බේකරි රූගත කිරීමට උපරිම සහයෝගය ලබා දුන්නා. මං මේ වෙලාවේ ආරාධනා කරනවා චන්දු ඉඹුලාන කියන මගේ යූටියුබ් නාළිකාව හරහා මේ ගීතය රස විඳීන්න කියලා. මම හිතනවා මේ ගීතය නිසා කපුගේ මහත්මයාගේ හඬ නැවත ඉපදුණා කියලා. ඒ වෙනුවෙන් මහන්සි වුණු සියලු දෙනාටම බොහොම ස්තුතියි.