හොලිවුඩයට කොරෝනා වෛරසයේ බලපෑම

නෙට්ෆ්ලික්ස් නිෂ්පාදන නවතී යුනිවර්සල් වසා දමයි ටොම් හෑන්ක්ස්ටත් කොරෝනා
මාර්තු 19, 2020

කොරෝනා වෛරසය (COVID19) චීනයෙන් ආරම්භ වී මේ වන විට සීඝ්‍රයෙන් ලොව පුරා පැතිර යමින් පවති. සෑම රටක්ම පාහේ ඒ වෙනුවෙන් උපරිම ආරක්ෂක විධි විධාන යොදමින් සිටින අතර පුද්ගලයන් නිරෝධායනය කිරීම මෙන්ම සොයා ගත් ආසාධිත රෝගීන්හට ප්‍රතිකාර කිරීමේ විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් සිටී. මෙම වෛරසය  මහජන සෞඛ්‍ය, ව්‍යාපාර සහ සංචාරක යන අංශවලට විශාල බලපෑමක් ඇති කර තිබෙන අතර මිනිස් ජීවිතයට එල්ල කරන පැහැදිලි තර්ජනයට සාපේක්ෂව කලා ක්‍ෂේත්‍රයට ද එල්ල කරන්නා වූ බලපෑම සුළුපටු නොවේ. අප රටට ද කොරෝනා වෛරසයේ බලපෑම අවම කර ගැනීමේ අපේක්ෂාවෙන් මහජනතාව එක්රැස් වීම වළක්වාලමින් රජය විසින් නියෝග නිකුත් කෙරුණු අතර ඒ අනුව යමින් ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ පවතින සිනමා ශාලා වසා දමන බවට පසුගියදා එම සංස්ථාව නිවේදනය කළේය. 

කොරෝනා වෛරසය පැතිර යාම සමඟින් චීනය  ඇතැම් නගර වසා දැමීමට පියවර ගත් අතර ඒ අනුව රට පුරා සිනමාහල් මෙන්ම ජනතාව රැස්වන විනෝදාස්වාදය ගෙන දෙන ස්ථානවලට ද දොරගුළු වැටුණි. ජනවාරි 23 වැනිදා චීන රජය විසින් යළි දැනුම් දෙන තෙක් රට පුරා සිනමාහල් තාවකාලිකව වසා දැමීමට තීරණය කළේය. චිත්‍රපට නිෂ්පාදන කටයුතු වහාම නතර කෙරිණි. විශ්ලේෂකයින් පවසන පරිදි ජනවාරි අග භාගයේ අලුත් අවුරුදු නිවාඩුව සමඟින් සිනමාහල්වල සාමාන්‍ය ප්‍රවේශපත් අලෙවිය ඉහළ යාමක් දක්නට ලැබෙන අතර එය ඩොලර් බිලියනයක තරම් ඉහල අගයක් ගනී. චීනයේ මෙම තත්ත්වය හොලිවුඩයට ද ඉතා ඉක්මනින් දැනෙන්නට පටන් ගත් අතර කාලයත් සමඟ එම බලපෑම ගෝලීයව චිත්‍රපට හා විනෝදාස්වාද කර්මාන්තය දක්වා වර්ධනය විය. 

මාර්තු 13 වැනිදා සිට උතුරු අමෙරිකානු සිනමා ශාලා ද ප්‍රේක්ෂකයන් දුරස් කිරීමේ පියවර ආරම්භ කරන ලදී. මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය ද ඇතුළුව නිව් යෝර්ක් නගරයේ ප්‍රධාන සංස්කෘතික ස්ථාන වසා දැමීමට පියවර ගෙන තිබුණේ මාර්තු 12 වැනිදාය.  මාර්තු 14 වැනිදා හොලිවුඩයේ යුනිවර්සල් චිත්‍රාගාරය යළි දැනුම් දෙන තෙක් වසා දැමුණි. එහි පාලනාධිකාරිය සඳහන් කර සිටියේ තම සේවක කණ්ඩායමේ මෙන්ම අමුත්තන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාවට සැමවිටම ප්‍රමුඛතාවය හිමි වන බවයි. මේ අතර කොරෝනා වෛරසය හොලිවුඩ් තරු පවා වැළඳගෙන ඇති බව වාර්තා විය. ජනප්‍රිය හොලිවුඩ් නළු ටොම් හැන්ක්ස් සහ ඔහුගේ බිරිය රීටා විල්සන් විසින් නිවේදනය කර සිටියේ ඔවුන්හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. ඔස්ට්‍රේලියාවේදී චිත්‍රපට නිර්මාණ කටයුත්තක් වෙනුවෙන් දායක වෙමින් සිටියදී ඔවුන් මෙම ආසාදනයට ලක් වී ඇත. 

මේ වන විට ප්‍රේක්ෂකයන් මඟ බලා සිටි දැවැන්ත සිනමා නිර්මාන කිහිපයකම තිරගත කිරීමේ ආරම්භක දිනයන් අවලංගු කිරීමට එම චිත්‍රපට බෙදාහැරීමේ ආයතන තීරණය කර ඇත. Sonic the Hedgehog, Peter Rabbit 2, A Quiet Place Part II, Fast and Furious 9  චිත්‍රපට මෙන්ම නවතම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය No Time to Die තිරගත කිරීමේ දිනයන් කල් දමා ඇත.  ඩිස්නි ආයතනය විසින් Mulan  (මාර්තු 27), The New Mutants (අප්‍රේල් 03), Antlers  (අප්‍රේල් 27) තිරගත කිරීමට තිබූ දින අවලංගු කර ඇති අතර යළි තිරගත කෙරෙන දිනයන් තවමත් ප්‍රකාශයට පත්කර නොමැත. කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ලොවපුරා ඩිස්නි උද්‍යාන වසා දැමීමට ද එම ආයතනය තීරණය කර ඇත. ෆ්ලොරිඩා සහ පැරිස්හි පිහිටි ඩිස්නි උද්‍යාන සේවකයන් කිහිප දෙනෙකුහට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. පසුගිය සිකුරාදා වන විට රජයේ සීමාවන්ට යටත් වෙමින් අමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ සති දෙකක කාලයක් සඳහා තිර රචනය කරන ලද රූපවාහිනී සහ චිත්‍රපට නිෂ්පාදන නවතා දැමීමට නෙට්ෆ්ලික්ස් ද පියවර ගෙන අවසන්ය.

චිත්‍රපට ප්‍රදර්ශනය සහ රූගත කිරීම් පමණක් නොව විශාල ජනතාවක් රැස් වන බැවින් කොරෝනා වෛරසය සිනමා උලෙළවලටද දැවැන්ත බාධාවක් වී ඇති බව පෙනේ. ලෝකයේ කීර්තිමත් සිනමා උළෙලක් වන කාන් සිනමා උලෙළ නිවේදනය කළ දිනයට පවත්වනවාද නැත ද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක් වී ඇත. මැයි 12 සිට 23 දක්වා එය පැවැත්වීමට සැලසුම් කර තිබුණද ප්‍රංශ රජය විසින් මහජනතාව රැස් කිරීම තහනම් කිරීම සමඟින් එය ඉදිරි දිනයක් වෙත ගෙන යනු ඇති බව කාන් හි නගරාධිපතිවරයා විසින්  කළ නිවේදනයක සඳහන් වේ. ලෝ ප්‍රකට වරයිටි සඟරාව සඳහන් කර සිටින්නේ කාන් සංවිධායකයන් උලෙළ අවලංගු කර රක්ෂණ වන්දියක් වෙත යාමේ අවධානයද යොමු වී ඇති බවයි. තවද බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ චිත්‍රපට බෙදාහැරීමේ ආතනයක් වන ට්ජ්ර් මේ වසරේ කාන් සිනමා උලෙළට සහභාගි නොවන බවට නිවේදනයක් නිකුත් කළ පළමු ආයතනය බවට පත් විය. මාර්තු 22 වැනිදා ලොස් ඇන්ජලීස්හිදී  පැවැත්වීමට නියමිතව තිබු ම්ඪඤඵ' ඛ්ඩධඪජඥ සම්මාන උලෙළ ද කල් දමා තිබේ. 

එපමණක් නොව මේ වන විට සංගීත    ක්‍ෂේත්‍රයට ද  කොරෝනා වෛරස් වසංගතයේ අහිතකර බලපෑම් දැඩි ලෙස එල්ල වී තිබේ. මේ වන විට අමෙරිකා එක්සත් ජනපදය ඇතුළුව යුරෝපයේ සංවිධානය කර තිබූ ප්‍රධාන පෙළේ සංගීත ප්‍රසංග රැසක් අවලංගු කිරීමට සංවිධායකයන් පියවර ගෙන තිබේ. මෙලෙස ඇති වූ කොරෝනා වෛරසයේ බලපෑම සිනමාව, සංගීත ක්ෂේත්‍රය මෙන්ම තවත් බොහෝ පිරිසකට මාස හෝ අවුරුදු ගණනක් වන තෙක් මූල්‍යමය වශයෙන් දැනෙනු ඇත.

Add new comment