වෙනස් චරිතයක

දෙසැම්බර් 24, 2020

බොලිවුඩයට ළෙංගතු වූවන් අර්ෂාඩ් වර්සි හඳුනා ගන්නේ හාස්‍ය රංගන ශිල්පියෙක් ලෙසින්. සැමදා ප්‍රේක්ෂකයා සිනහ ගැන්වූ ඔහු දැන් තරමක් වෙනස් චරිතයකට ආරූඪ වෙලා. ඒ වෙනස සිදු කළේ දුර්ගමාති විසින්. ජී. අශෝක් විසින් අධ්‍යක්ෂණය කළ දුර්ගමාති ත්‍රාසජනක හින්දි චිත්‍රපටයක්. චිත්‍රපටය ආරම්භ වන්නේ මාස හයක කාලයක් තුළ සොරකම් කරන ලද පිළිම සොයා ගැනීමට රජය අපොහොසත් වුවහොත් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පොරොන්දු වූ දේශපාලනඥයකු වන ඊශ්වර් ප්‍රසාද් සමඟිනි. අර්ෂාඩ් නිරූපණය කරන්නේ එම චරිතයයි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වෙනස් දෙයක් කිරීමට හා තමා තුළ සිටින නළුවා ජීවතුන් අතර තබා ගැනීමට විකට අවකාශයෙන් ඉවත් වීම සතුටක් බවයි. දුර්ගමාති පසුගිය 11 වැනිදා සිට ප්‍රයිම් වීඩියෝ ඔස්සේ නිකුත් කෙරුණු අතර එයට ප්‍රේක්ෂක හා විචාරක මිශ්‍ර ප්‍රතිචාර ලැබී ඇත. දුර්ගමාති චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතයට පණ පොවන්නේ භූමි පද්නෙකර් විසිනි.