සිනමාශාලා වැහුවේ නෑ

අනුරාධ බී. රැකව
ඔක්තෝබර් 15, 2020

පවතින කෝවිඩ් 19 තත්ත්වය යටතේ චිත්‍රපට ශාලා වසා නොමැති බව චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමයේ සභාපති අනුරාධ බී. රැකව සරසවියට පවසා සිටියි. ඔහු වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ සිනමා ශාලා වසා තැබීම ශාලා හිමියන්ට කෙරෙනා බලවත් අසාධාරණයක් බවයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූූ අනුරාධ බී රැකව මහතා “පළමුව කියන්න ඕනෑ චිත්‍රපට ශාලා වහලා නැහැ. ඒක සාවද්‍ය පුවතක්.

රජයේ නිවේදනයක් වැරැදි අන්දමින් හෝ තේරුම් ගෙන එක්තරා නාළිකාවක් ප්‍රචාරය කළා චිත්‍රපට ශාලා වහලා කියලා. අපට එහෙම දැනුම්දීමක් කළේ නැහැ. සංගමයක් විදිහට අපි වහා රජයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය හා සාකච්ඡාවක් පැවැත්වූවා. ඒකට ජාතික චිත්‍රපට සංස්ථාවත්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවත් සම්බන්ධ වුණා. අපේ ප්‍රධානම ඉල්ලීම වුණේ චිත්‍රපට ශාලා වහන්න එපා කියන එක. ඉතා දිගු කාලයක් චිත්‍රපට ශාලා වහලා තිබුණා. ඉකුත් ජූනි 27 තමයි යළි විවෘත කෙරුණේ. එහෙම විවෘත කරලා යන්තම් සෙනඟ එන්න පටන් ගත්තා විතරයි පසුගිය සතිය වන විට රූකඩ පැංචි සහ මිස් ජෙනිස් චිත්‍රපට ප්‍රදර්ශනයත් එක්ක ඉහළ ප්‍රේක්ෂකයෝ සංඛ්‍යාවක් ශාලාවලට ආවා. හොඳ කලෙක්ෂන් එකකුත් තිබුණා. ඒ තත්ත්වය හරියටම සතියයි තිබුණේ. කෙසේ වෙතත් ශාලා වහන්න එපා පවත්වාගෙන යන්න කියලා අපිට අවශ්‍ය බලධාරින් දැනුම් දුන්නා. නමුත් ආසාදිතයන් හමු වන ප්‍රදේශවල චිත්‍රපට ශාලා වහන්න කියලා ප්‍රාදේශිය මට්ටමෙන් දැනුම් දීලා තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි චිත්‍රපට පමණක් පෙන් වූ ශාලා කිහිපයක් ද වසා දමා තියෙනවා. ඒ ඔවුන්ට පෙන්වන්න චිත්‍රපට නැතුව.

කොහොම වුණත් ශාලාවලට සෙනඟ එන එක නැවැත්තුවත් චිත්‍රපට ශාලාවල තියෙන ප්‍රක්ෂේපණ යන්ත්‍ර දවස් දෙකකට සැරයක් ක්‍රියාත්මක කරන්න ඕන. නැත්නම් ඒවා විනාශ වෙනවා. සෙනඟ ආවත් නාවත් විඳින්න වන පාඩුව එලෙසමයි. ත්‍රිකුණාමලයේ නෙල්සන් චිත්‍රපට ශාලාවේ යන්ත්‍රය එහෙම විනාශ වෙලා හදන්න ලක්ෂ 16 ත් ගියා. 35 මිලිමීටර් යන්ත්‍ර වගේ නෙවෙයිනෙ. ඒවා වැඩ කරන්නේ නැතුව ගියාම මිටියකින් තට්ටුවක් දැම්මත් වැඩ කරනවා. මේවා එහෙම නෙවෙයි. ගිනි පෙට්ටියක තරම් කෑල්ලක් දාන්නත් ලක්ෂ ගාණක් යනවා.

ඒත් සමඟම කියන්න ඕන දමිළ චිත්‍රපට ශාලාවලට මෙම වසරේ පෙබරවාරියේ සිට දමිළ චිත්‍රපට නැහැ. ඉන්දියාවේ ටැමිල් ෆිල්ම්ස් රිලීස් වුණේ නැහැනෙ. අපි ඔවුන් සියලු දෙනාව සංස්ථාවට කැඳෙව්වා. අපේ ඉල්ලීම වුණේ ඔවුන්ට ලක්ෂ තුනේ සහනය සහ විදුලි බිල් පත් සඳහා සහනයක් ලබා දෙන්නයි. ඒ වගේම ප්‍රාදේශීය සභාවලින් අය කරනවානෙ විනෝද බද්ද. එක එක ප්‍රාදේශීය සභාවලින් එක එක ගණන්ලු අය කර ගන්නේ. එයටත් විසඳුමක් අවශ්‍යයි. මං හිතනවා අපේ සිනමා ක්ෂේත්‍රය පිළිබඳ වගකිව යුත්තන් මීට වඩා අවධානය යොමු කරයි කියලා.