පාංශු හා සුපර්ණා අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලබයි

ඔක්තෝබර් 15, 2020

ඉන්දියාවේ ඉන්දු නිම්න අන්තර්ජාතික සිනමා උලෙළේ (Indus Valley International Film Festival) දෙවන අදියරේදී (2020 ඔක් 2-10) සම්මාන ත්‍රිත්වයක් ශ්‍රී ලංකාවට දිනා දීමට, එම උළෙල නියෝජනය කළ ශ්‍රී ලාංකික සිනමාකරුවන් දෙදෙනකු වන විසාකේස චන්ද්‍රසේකරම්ගේ “පාංශු” සහ සුජීව ප්‍රියාල්ගේ “සුපර්ණා” යන සිනමාපට පසුගියදා සමත්විය. මෙය නවදිල්ලියේදී ඔන්ලයින් ක්‍රමයට පැවැත්වුණු සිනමා උලෙළක් වේ.

මෙම සිනමා උලෙළේදී හොඳම නිළිය උදෙසා වූ ජූරීයේ විශේෂ සඳහනකට  (Special Jury Mention for Best Actress-Actor) හිමිකම් කීමට “පාංශු” චිත්‍රපටයේ රගපෑ නීටා ප්‍රනාන්දු සමත්වූවාය. එමෙන්ම “සුපර්ණා” චිත්‍රපටයේ කැමරාව මෙහෙය වූ ධනුෂ්ක ගුණතිලක හොඳම සිනමා කැමරාකරණයට (Best Cinematography) හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.

2020 වසරේ අගෝස්තු මාසයේදී සමාරම්භය සනිටුහන් කළ මෙම උළෙලේ තරගකාරී අංශය දකුණු ආසියානු කලාපීය රටවල් අටේ සිනමාපටවලට පමණක් සීමා වූ අතර, ඒ අනුව ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, පකිස්ථානය හා ශ්‍රී ලංකාව යන රටවල් පහ නියෝජනය කරමින් සිනමාපට 16ක් උළෙලේ අන්තර්ජාතික දීර්ඝ වෘත්තාන්ත සිනමාපට තරග අංශය (International Feature Film Competition)  යටතේ තරග වැදුණි. ඒ අතුරින් සිනමාපට 13ක් වෙනුවෙන් එක් සම්මානය බැගින් හෝ පිරිනැමීමට ජූරිය කටයුතු කර ඇත.

2019 වර්ෂයේදී ප්‍රංශයේ පැවති නීස් අන්තර්ජාතික සිනමා උළෙලේදී පළමු වරට අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලද “පාංශු” චිත්‍රපටය, මෙම ජයග්‍රහණයත් සමග ලබා ඇති සමස්ත අන්තර් ජාතික ඇගයීම් සංඛ්‍යාව 07ක් බවට පත්වන අතර, “සුපර්ණා” ලද පළමු අන්තර්ජාතික සම්මානය මෙය වේ.