“සුනාමි” නැවතත් අන්තර්ජාතික ජයක

ඔක්තෝබර් 29, 2020

පසුගියදා (ඔක් 18-25) එංගලන්තයේ ලන්ඩන් නුවර පැවති රේන්බෝ සිනමා උලෙළේදී (Rainbow Film Festival)  ජූරියේ විශේෂ සඳහනකින්  (Special Jury Mention) පිදුම් ලැබීමට සෝමරත්න දිසානායකගේ අධ්‍යක්ෂණයක් වන සුනාමි චිත්‍රපටය සමත් වී ඇත.

ඉන්දියාව, ඉතාලිය, ඕස්ට්‍රේලියාව ආදි රටවල් 12 කට අයත් සිනමාපට 20ක් මෙවර උලෙළේ තිරගතවුණු අතර, ඒ වෙනුවෙන් "හොඳම චිත්‍රපටය", "හොඳම අධ්‍යක්ෂණය", "හොඳම තිර කතාව" ඇතුළුව සම්මාන 08 ක් පිරිනැමුණි. එහිදී උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස"Trijiya" නම් වූ ඉන්දියානු සිනමාපටය සම්මානයට පාත්‍ර වෙද්දී, හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය  "Gondi"  නම් වූ බංගලාදේශ චිත්‍රපටයට පිරිනැමුණි.

ශ්‍රී ලාංකේය සිනමාපට 05 ක් මීට පෙර රේන්බෝ සිනමා උළෙල නියෝජනය කොට තිබුණද, ශ්‍රී ලාංකේය චිත්‍රපටයකට ජයග්‍රහණයක් හිමිවූ පළමු අවස්ථාව මෙය විය. මීට පෙර 2007 දී ඉර මැදියම (ප්‍රසන්න විතානගේ) හා උඩුගංයාමය (සුදත් දේවප්‍රිය) යන නිර්මාණ තරගකාරීත්වයෙන් බැහැරවද, 2008 දී සංකාරා (ප්‍රසන්න ජයකොඩි), 2010 දී බින්දු (සෝමරත්න දිසානායක) හා 2014 දී සිරි පැරකුම් (සෝමරත්න දිසානායක) යන නිර්මාණ තරගකාරීත්වය යටතේද උළෙලේ තිරගත විය. සුනාමි චිත්‍රපටය ලද 06 වෙනි අන්තර්ජාතික ජයග්‍රහණය මෙය වේ.