අරුණ දිගටම මුහුද මැද

අප්‍රේල් 8, 2021

 

සාමාන්‍යයෙන් චිත්‍රපට රූප ගත කරන්නේ ගොඩබිම වුවත් මුල්වරට සිංහල චිත්‍රපටයක් සහමුලින්ම මහමුහුද මැද රූප ගත කිරීමක් මේ දිනවල සිදුකෙරේ. ඒ අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරන මාරියා චිත්‍රපටය සමඟය.මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, අශාන් ඩයස්, දසුන් පතිරණ, දර්ශන් ධර්මරාජ්, ප්‍රියන්ත සිරිකුමාර හා සුරන් දිසානායක රඟන මාරියා චිත්‍රපටයේ කිසිදු නිළියක් රංගනයෙන් දායක නොවීම කැපී පෙනණ සිදුවීමකි. කිසිදු නිළියක රංගනයෙන් දායක නොවන තුන්වැනි සිංහල චිත්‍රපටය ද මෙයයි.

මෙයට පෙර හාර ලක්ෂෙ හා සඳලුතලෙන් එහා යන චිත්‍රපට සඳහා ද නිළියෝ දායක නොවූහ. චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණයෙන් ද දමින්ද මඩවල සහාය අධ්‍යක්ෂණයෙන් ද ප්‍රියංකර රත්නායක අංග රචනයෙන් ද සුනිල් ප්‍රේමරත්න කලා අධ්‍යක්ෂණයෙන් ද චින්තක ජයකොඩි සංගීත අධ්‍යක්ෂණයෙන් ද චිත්‍රපටයට දායක වෙති.

මාරියා සමඟ අලුත් නිෂ්පාදකවරයෙක් සිනමාවට දායක වෙයි. ඔහු ඉන්ද්‍රජිත් සිල්වාය.