උදයකාන්තගේ ගිනි මල් පොකුරු දෙවැනි අදියර රූ ගැන්වීම් අගෝස්තු 15 වැනි දා

සිනමාහල් විවෘත වූ සැණින් තිරයට එයි
ජූලි 8, 2021

 

රට තුළ සෞඛ්‍ය සීමා නිසා රූපගත කිරිම් කල් දමන ලද උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කරන ලද 'ගිනි මල් පොකුරු' චිත්‍රපටයේ ඉතිරි රූපගත කිරිම් ලබන අගෝස්තු මස 15 වැනි දින සිට ආරම්භ වන බව එහි නිෂ්පාදකවරයෙක් වූ සුරංග ද අල්විස් සරසවියට පැවසුවේය. මේ වන විට එහි රූපගත කරන ලද සියලු දර්ශන සංස්කරණ ශිල්පි ප්‍රවීන් ජයරත්න විසින් සංස්කරණය කොට අවසන් බව ද ඔහු හෙළි කළේය.

ඉසුරු ලොකුහෙට්ට් ආරච්චි, චුලක්ෂි රණතුංග සමඟ චරිත් අබේසිංහ ප්‍රධාන චරිත රඟපාන ගිනි මල් පොකුරු යළි සිනමා ශාලා විවෘත කළ සැණින් තිරගත කරවීමට එහි නිෂ්පාදකයෝ බලාපොරොත්තු වෙති. අයේෂ්මන්ත හෙට්ටිආරච්චි කැමරා අධ්‍යක්ෂණයෙන් ද, ඇහැලියගොඩ සෝමතිලක කලා අධ්‍යක්ෂණයෙන් ද, ඉන්දික උදාර වේශ නිරූපණයෙන් ද, අශෝක ආරියරත්න නිෂ්පාදන කළමනාකාරිත්වයෙන් ද, ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂණයෙන් ද ගිනිමල් පොකුරු සඳහා දායක වෙති. ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සරත් ද අල්විස් මුල්වරට උදයකාන්තගේ චිත්‍රපටයකට සංගීතය මෙහෙයවනු ලබනුයේ ගිනි මල් පොකුරු වෙනුවෙනි. සුරංග සමඟ බන්දුල ගුණවර්ධන, ප්‍රසාද් රොඩ්රිගෝ, රජිකා ජීවන්ති රාණි, නිශාන්ත ජයවර්ධන හා උදයකාන්ත වර්ණසූරිය ගිනි මල් පොකුරු නිෂ්පාදන පිරිවැය දරා තිබේ.