‘හදෙහි ගැස්ම’ තැනුවේ සමාජ පණිවිඩයක් දීමටයි

- ශාස්ත්‍රපති මොරකැටිආරේ සුමනනන්ද හිමි
ජූලි 15, 2021

චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නට හිමිනමක් එකතු වුණේ බොහොම කාලෙකට පස්සේ. ගල්කිස්ස ශ්‍රී සුගත ධර්මායතනයේ වැඩ වාසය කරන ශාස්ත්‍රපති මොරකැටිආරේ සුමන නන්ද හිමියන් මෙරටபචිත්‍රපටයක් නිෂ්පාදනය කරන තුන්වැනි භික්ෂුන් වහන්සෙයි. ඒ හදෙහි ගැස්ම චිත්‍රපටයේ නිෂ්පාදකයා හැටියටයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ක්‍රිෂාන්ත විරමන්. අප මේ සංවාදයට එකතු කරගන්නේ එම චිත්‍රපටයේ නිෂ්පාදන අර්ථපතිත්වය දැරූ සුමනනන්ද හිමියන්වයි.

 

අවසරයි අපේ හාමුදුරුවනේ.

මේ චිත්‍රපටය කරන්නට ඔබ වහන්සේ කාලෙක සිට බලාපොරොත්තුවෙන් සිටියා නේද?

ඔව්. දීර්ඝකාලීනව සිතුවිල්ලක් විදිහට මගේ හිතේ තිබුණා මොකක් හරි කලා කෘතියකින් මේ පරිසර විනාශය, වන විනාශය පිළිබඳ දැනුම්වත් කරන්න. ඒක ඉතා ඉක්මනින් සාක්ෂාත් කර ගන්න මට ලැබුණේ නැහැ. ඉතින් ඔය අතරතුරදී මට හමු වෙනවා මේ ක්‍රිශාන්ත වීරමන් කියන අධ්‍යක්ෂවරයා. මට හිතුනා ඔහු තමයි මේ නිර්මාණය කරන්නටයි ඉතාම සුදුසු කියලා. මම ඒ කතා තේමාව මේ විදියට සැකසෙන ඕනේ කියලා ඒ වස්තු බීජය ක්‍රිශාන්ත වීරමන් මහත්මයාට කිව්වා. ඒ අනුව තිලිණි ජයවීර තමයි ඒ තිරපිටපත රචනා කළේ

 

මෙයට මොනවගේ කතාවක්ද ඇතුළත් වන්නේ කියලා සාරාංශගත පැවසුවොත්?

ඇත්තටම ගමයි- පන්සලයි- වැවයි -දාගැබයි කියලා පුරාණේ නිතර නිතර කියූ කියමනක් තිබුණා. ඇත්තටම ඒක එහෙම්මම තමයි. ඒත් වර්තමානය වෙද්දී ඒ සංකල්පය මඳක් ගිලිහිලා. ගමේ අනිවාර්යනේම පන්සලක් තිබුණා. පන්සලත් එක්ක ගැමියෝ බැඳී සිටියා. ඒ වගේම ගම්මානය කෙරවල වන රොදක් තිබුණා. ඒ වන රොදට මිනිස්සු ආදරේ කළා. ඉතින් කාලයාගේ ඇවෑමෙන් මේ වනාන්තර විනාශ කරන්නට පිට මිනිස්සු ගමට පැමිණෙනවා. ඉතින් මේ කාර්යය කරන්නට බොහෝ අවස්ථාවන්වලදී පෙලඹෙන්නේ බලපුළුවන්කාරකාරයෝ. සාමාන්‍ය ජනතාව තමන්ගේ පණ මෙන් ආදරේ කරපු ඒ වනාන්තරය රැකගන්න උත්සාහ කළත් බලපුළුවන්කාරයෝ ඒක කපමින් තමන්ගේ මඩිය තර කරගන්වා. ඔවුන් අතර ඇතිවන ගැටුමක් මූලික කරගනිමින් තමයි මේ හදෙහි ගැස්ම චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ.

බොහෝ අවස්ථාවන්වලදී අපේ ක්‍රම බැඳීලා තිබුණේ පරිසරයත් එක්ක. මේවා කාලයාගේ ඇවෑමෙන් විනාශ වුණා නේද?

ඒක ඇත්ත. බලන්න ඉස්සර ගමේ වෙල් ඉපනැල්ලේ තිබුණු ශාක. විශේෂයෙන්ම මීගහ ඒ වගේම කුඹුක් ගහ. මී ගහ කියන්නේ කුඹුරකට තියෙන නිධානයක් බඳු ගහක්. ඒත් ඒක සුද්දෝ විනාශ කරන්නට පටන් ගත්තා. ඒ වගේම තේක්ක ගස් කොච්චර වැව්වත් ඒකෙන් වෙන හානිය මෙතෙකැයි කියා නිම කරන්න බැහැ. ඒ වගේම ඉපිල් ගස්, කටු පොල්, බලන්න ඒවායින් වෙන පරිසර විනාශය. ඒත් ඒ පිළිබඳ කවුරුත් කතා කරන්නේ නැහැ. ඉස්සර අහල තියෙනවද අලියෝ ගමට ආපු කතන්දරයක්. එහෙම අහලා නෑ. මොකද ඉස්සර මිනිස්සු ගෙවල් හැදුවේ අලිමංකඩවල නෙමෙයි. අලින්ට යන්නටත් ඉඩ තියලා තමන්ට සුදුසු පරිසරයක මිනිස්සු ගෙවල් හැදුවා. ඒත් වර්තමානය වෙද්දී අලිමංකඩ තියා මොන මංකඩවත් දන්නෙ නෑ. මිනිස්සු ඒවා ඔක්කොම හිරකරගෙන ගෙවල් හදලා. ඉතින් අලියෝ යන සුපුරුදු මාර්ගයේ මොනව හරි දෙයක් තිබුණොත් ඒවා කඩලා බිඳලා දානවා. පසුකාලීනව මිනිස්සු කියන්න ගත්තා අලි ගම් වැදුණා කියලා. අලි ගම් වැදිලා නෑ මිනිස්සු අලි ඉන්න තැන්වලට ගිහිල්ලා තියෙන්නෙ.

ඔබවහන්සේ විශ්වාස කරනවාද, නිර්මාණයකින් යම්කිසි පණිවිඩයක් සමාජයට දුන්නොත් සමාජයේ මිනිසුන් ඒක පිළිගන්නවා කියලා?

ඇත්තටම ඒකේ කතා දෙකක් නැහැ. සමහර නිර්මාණ ගැන නෙමෙයි මම කියන්නෙ, යථාර්ථවාදීව කෙරෙන නිර්මාණ ඕනෑ තරම් තියනවා. හදෙහි ගැස්ම කියලා කියන්නෙත් ඒ වගේ නිර්මාණයක්. ඒක හරිම යථාර්ථවාදීයි. මෙමඟින් ලොකු කුඩා කාටත් හොඳ පණිවුඩයක් සමාජගත කරනවා. මේක නරඹපු ඕන කෙනෙක්ට තේරෙනවා පරිසර විනාශයෙන් වන හානිය. ඒත් මම විශ්වාස කරනවා අපි හොඳ දෙයක් මිනිස්සු අතරට දුන්නොත් ඔවුන් එය ඉතා ඉහළින් පිළිගන්නවා කියලා.

 

මේ කාලය චිත්‍රපටවලට එතරම් සුබ කාලයක් නෙමේ. කොරෝනා වසංගතයේ හේතුවෙන් ශාලා එහෙමත් වහලා තිබුණා.?

අපි ඒකට කරන්නේ චිත්‍රපටය පුළුවන් විදියට ගම් මට්ටමෙන් ප්‍රදර්ශනය කරන එක. හෝල් පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැහැ. ප්‍රොජෙක්ටර් දාලා හරි ගම් මට්ටමින් මේ චිත්‍රපටිය පෙන්වනවා.

 

ඔබ වහන්සේ ග්‍රන්ථයක් රචනා කළා නේද?

ඒකෙ නම අසිරිමත් සොබා දහම. එය පරිසරය පිළිබඳ කියවෙන්නක්. මගේ උපන් දිනය දා ඒ කියන්නේ මේ මාසේ 18 වැනිදා මම වැඩ වාසය කරන පන්සලේ දී එය එළිදක්වන්නට සූදානමින් ඉන්නේ.

 

හදෙහි ගැස්ම චිත්‍රපටයේ නළු නිළියන් හා නිෂ්පාදන අංශයෙන් දායක වූ පිරිස මතක් කළොත්?

රජිත හිරාන් චාමිකර අපේ පිං පොං, නලීන් ප්‍රදීප් උඩවෙල, රාජසිංහ ලෝලුවාගොඩ, ධනංජි තාරුකා, සුගත් ජානක, වගේ නළු නිළියන් තමයි මෙහි රඟපාන්නේ. කැමරා අධ්‍යක්ෂණය සුජිත් නිශාන්ත, පූජා සොනාලි කලා අධ්‍යක්ෂණයෙන් එකතු වුණා, අරවින්ද කමල් අංග රචනා ශිල්පියා, ශාන් අල්විස් තමයි සංස්කරණය කරලා දුන්නෙ.