හෙළයේ රන් ස්වරයට චිරං ජයතු !

නොවැම්බර් 5, 2020

සිංහල සිනමා ඉතිහාසයේ 17 වැනි චිත්‍රපටය ලෙසින් නම් ලද ශාන්ති කුමාර් අධ්‍යක්ෂණය කළ ‘එදා රෑ’ චිත්‍රපටයෙන් ලතා ජී. ප්‍රනාන්දු චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස දොරට වැඩියේය. ලතාට ගායනා කිරීමට තිබුණේ හර්බි සෙනෙවිරත්න සමඟ යුග ගීයකි. සංගීතය සැපයුවේ මොහොමඩ් ගවුස් මාස්ටර්ය. ගී පද මාලා ඩී. ටී. ප්‍රනාන්දුගේය. ඈ මුලින්ම සිය පසුබිම් හඬ දුන්නේ වංශවතී දවුලුගල නම් නිළියටය.

ගෙවුණු ඉතිහාසය පුරාම ඈ සංගීතයටම කැපවුණු ගී රාජිණිය වූවාය. පසුබිම් ගීත ක්ෂේත්‍රය තුළ පමණක් නොව සරල ගීත, කැසට් ගීත සේම ඒක පුද්ගල ප්‍රසංග කලාව තුළ ද ඈට සම කරන්නට තවත් ගී රැජිණියක් අපට නැත.

ඈ ඉපදුණේ 1934 නොවැම්බර් මස 11 වැනි දාය. මේ එළැඹෙන නොවැම්බර් 11 වැනිදාට ඈ වයස අවුරුදු 87 ක් ලබන්නීය. මේ පසුකර පැමිණි දශක අටකටත් එහා ගිය අවුරුදු ගණන මට නම් හිතෙන්නේ ඇය පසුකර පැමිණි ඉලක්කම් ටිකක් පමණක් කියාය. සැබවින්ම වයස ඇයට ඉලක්කමක් පමණි. සොබා දහමට අවනතව වියපත් අඟ පසඟ යථාර්ථයට මුහුණ දුන්න ද ඇගේ හඬ තවමත් පෙර පරිදිමය. ඈ මේ මොහොත වනතුරුත් සිය හඬින් සිනමාව සරසන්නීය. ඈ අපේ ගී රැජිණය. ඇය කලාශූරි ලතා වල්පොල නම් වන්නීය.

දේශීය සිනමා ඉතිහාසය තුළ ඈ අමරණීය නාමයක් රැන්දූ ගායන ශිල්පිණියකි. මෙරට පහළ වූ ගායිකාවන් සේම දකුණු ඉන්දියානු ගායිකාවන් ද ඈට අභියෝගයක් නොවූයේය. උත්පත්තියෙන්ම රැගෙන ආ ඒ රිදී සීනු කටහඬින් ඈ මේ මොහොතේත් රසික ප්‍රජාව නලවන්නීය.

ලතා වල්පොල උත්පත්තිය ලබන්නේ කොළඹ බම්බලපිටිය ‘ධවලගිරි’ නිවස උත්පත්ති ස්ථානය කොට ගෙනය. ඇගේ පියා සිංහල කතෝලික පවුලකින් පැවත ආ ජෝශප් ලීනස් ප්‍රනාන්දුය. ඇගේ මව දකුණින් පැමිණි කාන්තාවක වූ එළිසෙබෙත් මියුරියෙල් කන්‍යාරාමයක ගුරුවරියක් වූයේය. මේ දෙදෙනාට දාව උපන් ලතාගේ උප්පැන්න සහතිකේ නම රීටා ජෙනවි ප්‍රනාන්දු විය.

රීටා බහ තෝරන වියේ සිටම සංගීතය ප්‍රිය කළාය. කතෝලික භක්තික පවුලක් වූ ඔවුන්ට නිවෙස තරමටම පල්ලිය ද සමීප ස්ථානයක් වූයේය. ඉතාම කුඩා කාලයේ සිටම මවගේ අතේ එල්ලී පල්ලියට ගිය ජෙනවි ගීතිකා කණ්ඩායම ලතින් බසින් ගයනා ගීත නිවෙසට විත් මුමුණන්නට පටන් ගත්තාය. මේ ඇසූ ජෙනවිගේ මවට ‘කෙල්ල කවද හරි ගායිකාවක් වේවි ද දන්නේ නෑ යැයි’ සිතුණු වාර ද අනන්ත විය.

අම්මාගේ සිතිවිල්ල නිවැරදි විය. දිනෙන් දින මෝරා වැඩෙන සිය දියණියගේ හැකියාවන්, දක්ෂතාවන්, ගායනය පැත්තටම වර්ධනය විය. මේ හැකියාවන් හඳුනා ගත් ඇගේ අසල්වැසියකු වූ විල්මන් අයියා සින්දු පුරුදු පුහුණු කරන තැනකට ජෙනවි රැගෙන යන්නෙමියි කියමින් සංගීතඥයෙකු, නළුවෙකු මෙන්ම ගුවන් විදුලි ගායකයෙකු ද වූ සී. ඒ. ෆොන්සේකාගේ නිවෙසට රැගෙන ගියේය. සී. ඒ. ෆොන්සේකාට දරුවන් පස් දෙනෙකු විය. සී. ඩී. ෆොන්සේකා සහ අර්වින් ෆොන්සේකා එකල ඔවුන් අතර ජනප්‍රිය වී තිබුණි. සී. ඒ. ෆොන්සේකා තම දරුවන් පස් දෙනා සමඟ එක් වී ගයන ගීත එකල මසකට වරක් ගුවන් විදුලියෙන් ද ප්‍රචාරය විය. ජෙනවි රැගෙන ගියේ ද මේ සී. ඒ. ෆොන්සේකා ළඟටය. ඒ අනුව ජෙනවිට සී. ඒ. ෆොන්සේකාගේ දරුවන් සමඟ මුල් වරට ගුවන් විදුලියෙන් අත්වැල් ගායනයට එක් වන්නට ලැබුණි.

1947 වසරේදී ජෙනවිට තවත් සුවිශේෂී අවස්ථාවක් උදා වූයේය. ඒ එවකට ගල්කිස්සේ පදිංචිව සිටි දක්ෂ වයලීන් වාදකයෙකු සේම ගායකයෙකු ද වූ වින්සන් ද අල්විස් නිසාය. එවකට ප්‍රසිද්ධ ගායකයකු වූ සුසිල් ප්‍රේමරත්නගේ සංගීත වැඩසටහන් සඳහා වයලීනය වාදනය කළේ ද ඔහු විසිනි. ජෙනිවිිගේ පවුලේ හිතවතකු වූ වින්සන් ද අල්විස් ඇගේ දක්ෂතාවයන් දැන හඳුනාගෙන සිටි බැවින් ඇයට ගීතයක් ගායනා කිරීම් අවස්ථාව උදා කර දුන්නේය.

සරත් විමලවීර විසින් රචනා කරන ලද එම ගීතය ‘කඳුළු දෙනෙතේ වෑහෙනා’ නම් විය. වින්සන් ද අල්විස් සමඟ ගුවන් විදුලියට ඇය ගැයූ ප්‍රථම ගීතය වූ මෙය සංගීතවත් කළේ එඩ්වඩ් පෙරේරා විිසිනි. ඒ වන විට ඇගේ වයස අවුරදු 13 කි. ඇගේ කටහඬේ තිබුණු සුගායනීය මිහිරියාව හඳුනා ගත් සී. ඒ. ෆොන්සේකා ද ජෙනවිට සිය පුත් අර්වින් ෆොන්සේකා සමඟ ගයන්නට මරිය මව් බැති ගීයක් සාදා දුන්නේය. එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ බෞද්ධ ගුරුවරයෙකු වූ කාලිදාස කුරුකුලසූරිය විසින් රචිත මේ ගීතය 1947 දී ජෙනවි ගුවන් විදුලියට ගායනා කළාය.

‘නමෝ මරියනි, නමෝ මරියනී

නමෝ මරියනි ප්‍රසාද පූර්ණවන්තිනි

දේව පුත්‍රයා ස්ප්‍රිතුසාන්තු වරමිනා

පිළිසිඳේය දෙවි බෙලෙන් ශ්‍රී ඔබේ කුසේ ...’

වාසනාව පසුපස එන්නාක් මෙන් ජෙනවිට ද ජනප්‍රිය ගායකයෙකු වූ සුසිල් ප්‍රේමරත්නයන් සමඟ ගීත ගයන්නට අවස්ථාව උදා වූවාය. ජෙනිවිගේ කටහඬ පරීක්ෂා කරන්නට සුසිල්ට උවමනා විය. ඇය ඒ වෙනුවෙන් ගායනා කළේ ලතා මංගේෂ්කාර් විසින් ගායන ලද හින්දි ගීතයකි. සුසිල් ප්‍රේමරත්නයන් ඇගේ හඬට වශී වූයේය. එහෙත් ඇගේ ‘රීටා ජෙනවි’ යන නමට ඔහු කැමැති වූයේ නැත. ඔහු පැවසුවේ රීටා ජෙනිවි යන නම කලාවට නොගැළපෙන බවයි. සුසිල් එතැන් සිට රීටා ජෙනවි ‘ලතා ප්‍රනාන්දු’ ලෙස හැඳින් වූයේය. එතැන් පටන් සුසිල් ප්‍රේමරත්නයන් හා ලතා ප්‍රනාන්දු අතර වූ සංගීත සංයෝජනය ලතාට මේ මාර්ගයෙහි බොහෝ දුර යන්නට පිටිවහලක් වූයේය.

ලතාගේ සංගීත දිවිය අධ්‍යයනයේදී ඇය කිසිදු ගුරු කුලයකින් අධ්‍යයනයක යෙදී හෝ පුහුණුවක යෙදී හෝ ගුරුවරයෙකුගෙන් ඉගෙන ගෙන පැමිණියකු හෝ නොවන බව පෙනී යයි. එහෙත් ඇගේ ගායන ශෛලීන් ගායන හැකියාවන්, ස්වර පරාසයන් පිළිබඳ විමර්ශනයේදී එවන් අධ්‍යයනයක නියුතු වු හෝ කිසියම් ගුරු කුලයකින් පැමිණියෙකුටත් වඩා ඇගේ ගායන හැකියාවන්, ශෛලීන්, ස්වර පරාසයන් ශාස්ත්‍රීයය. අධ්‍යයනශීලීය. ලතා සිය ගුරු තනතුරේ ලා සලකන්නේ සුසිල් පේ‍්‍රමරත්නයන්ය. ඈ පිළිබඳ දීප්ති ෆොන්සේකා විසින් රචිත ‘හෙළ ගී රැජිණ’ ග්‍රන්ථයට මෙසේ පවසා ඇත.

‘මම සංගීතය හදාරලා නෑ. මට සංගීත ගුරුවරයෙයක් හිටියා නම් ඒ සුසිල් ප්‍රේමරත්න පමණයි’.

සුසිල් ප්‍රේමරත්නයන්ගේ හඬ පුහුණු කිරීම් ලතාව නොසිතූ ස්ථානයකට රැගෙන යන්නට හේතුවක් වූයේය. තම ගායන දිවියේ සහාය ගායිකාව බවට ලතා තෝරා ගන්නට තරම් ඇගේ හැකියාවන්, දක්ෂතාවයන් ඈ වර්ධනය කරගෙන තිබණි. මේ ජනප්‍රිය ගායන ශිල්පියාගේ අත දීම ලතාව ක්ෂේත්‍රයේ ඉහළට යන්නට ඉණිමං බැන්දේය.

සුසිල් - ලතා සුසංයෝගයෙන් දේශීය ගීත ඉතිහාසයට අපූරු නිර්මාණ රාශියක් තිළිණ වූයේය. ‘සොඳුරු කොමල බඳ සලා, රන්වන් කරලින් පැසිලා, රූ රැසේ අඳිනා ලෙසේ, කළු කැලණි නදී, සෝක නැඟේ මිහිරි සුවඳ විහිදුවා, ප්‍රීති මධුර වූ නාදේ වැනි රමණීය ගී රැසක් මේ නිසා නිර්මාණය විය. ලතා ප්‍රනාන්දු යන නම මේ යුගය වන විට නිතර දෙවේලේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන්නට ද විය. එච්. එම්. වී. තැටිවලට ගී ගැයීමේ වරම ද මේ අතරම ලතාට හිමි විය.

සී. ටී. ප්‍රනාන්දු ද මේ වකවානුවේ ජනප්‍රිය තලයේ ගායකයෙකුව සිටි බැවින් අලුතින් නැඟ එන ලතාගේ හඬ සමඟ සුසංයෝගයකට ඔහු ද කැමැති විය. ඒ අනුව ‘ලෝ අඩ නින්දේ, සැළලිහිණි කොවුල් හඬ, මල්බර හිමිදිරියේ වැනි ගීත ඇය සී. ටී. සමඟ ද ගුවන් විදුලි සරල ගී හා එච්. එම්. වී. තැටි සඳහා ගායනා කළාය.

ලතා ගී රැජිණක ලෙසින් අදටත් කිරුළ පලඳින්නේ ඇය ගායනා කළ සළරූ සිත්තම් නිසාවෙනි. සරල ගී ගායිකාවක වශයෙන් ක්ෂේත්‍රයේ නමක් දිනා සිටි ඇයට චිත්‍රපට පසුබිම් ගී ගායන ක්ෂේත්‍රයට මුල්ම ආරාධනාව ලැබෙන්නේ එසේ මෙසේ පුද්ගලයෙකුගෙන් නොවේ. එවකට චිත්‍රපට බෙදා හැරීමේ මෙන්ම නිෂ්පාදනයේදී සුප්‍රකට ආයතනයක් වූ සිනමාස් සමාගමේ අයිතිකරු කේ. ගුණරත්නම්ගෙන් මේ ඇරියුම ලතාට ලැබිණ. ඒ ‘සුජාතා’ චිත්‍රපටයට සින්දු කියන්නටය. එහෙත් තම දියණිය ගායිකාවක වනු දකින්නට කිසිසේත් නොකැමැති වූ ලතාගේ පියා ඔහුව ප්‍රතික්ෂේප කළේ ලතාගේ ඉකි බිඳුම් මධ්‍යයේය. එහෙත් දෛවය කිසිවකුට හෝ වෙනස් කළ නොහැකිය. වැඩි කලක් නොගොස්ම ඇය සොයා ශාන්ති කුමාර් නම් අධ්‍යක්ෂවරයා ආවේ ‘එදා රෑ’ චිත්‍රපටයට ගීත ගායනා කරන්නට ඇයට ආරාධනා කරන්නටය. එදා ලතාගේ පියා නිවෙසේ නොවූ පිනෙන් ඈ චිත්‍රපට පසුබිම් ගායිකාවක වූවාය.

සිංහල සිනමා ඉතිහාසයේ 17 වැනි චිත්‍රපටය ලෙසින් නම් ලද ශාන්ති කුමාර් අධ්‍යක්ෂණය කළ ‘එදා රෑ’ චිත්‍රපටයෙන් ලතා ජී. ප්‍රනාන්දු චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස දොරට වැඩියේය. ලතාට ගායනා කිරීමට තිබුණේ හර්බි සෙනෙවිරත්න සමඟ යුග ගීයකි. සංගීතය සැපයුවේ මොහොමඩ් ගවුස් මාස්ටර්ය. ගී පද මාලා ඩී. ටී. ප්‍රනාන්දුගේය. ඈ මුලින්ම සිය පසුබිම් හඬ දුන්නේ වංශවතී දවුලුගල නම් නිළියටය.

එහෙත් ලතා චිත්‍රපට පසුබිම් ගී ගායිකාවක වශයෙන් සිය ආධිපත්‍යය පතුරු වන්නේ 1953 මාර්තු 27 වැනිදා තිරගත වූ ‘ප්‍රේම තරඟය’ චිත්‍රපටයෙනි. ප්‍රේම තරඟය අධ්‍යක්ෂණය කළේ ඉන්දීය අධ්‍යක්ෂවරයකු වූ ඒ. බී. රාජ්ය. නිෂ්පාදකවරයා වූයේ එස්. එම්. නායගම්ය. මේ චිත්‍රපටයේ ඇයට ගීත හයක් ගායනා කිරීමට සිදු විය. යුග ගීත දෙකක් ද වූ අතර එය ගායනා කිරීමට නියමිත වූයේ චිත්‍රපට නළු අරුණ ශාන්ති සමඟය. ලතා සහ අරුණ ශාන්ති සාර්ථකව ගීත පුහුණු කිරීම්වල යෙදුණු නමුත් ගීත පටිගත කිරීමේදී අනපේක්ෂිකව අරුණ ශාන්තිගේ කටහඩ අවදි නොවීය. අවසානයේ සංගීත අධ්‍යක්ෂ මුත්තුසාමි මාස්ටර්ගේ අවසරයෙන් ඊට විකල්පයක් රැගෙන එන්නට තාල තරංග වාදන ශිල්පී එම්. ආරියදාසට හැකි විය.

ඔහු රැගෙන ආවේ ධර්මදාස වල්පොලය. ලතාගේ අනාගතය යළි යළිත් පරිවර්තන රැසකට ලක්වන්නේ මෙතැන් සිටය.

චිත්‍රපට පසුබිම් ගී ගායන ක්ෂේත්‍රයට ලතාගේ ප්‍රවිෂ්ටය සුවිශේෂ මෙන්ම අත්‍යාවශ්‍ය වූයේ එතෙක් ලාංකේය චිත්‍රපට පසුබිම් ගීත කලාව තුළ එකම ගායිකාවක ස්ථාපිත වී සිටීමෙනි. ඒ කඩවුණු පොරොන්දුවට ගී ගයමින් සිංහල චිත්‍රපට ගීත ඉතිහාසයේ ප්‍රථම ගායිකාව වූ රුක්මණී දේවිය. ඇය ඒ වන විට කඩවුණු පොරොන්දුව, කපටි ආරක්ෂකයා, වැරදුණු කුරුමානම, පෙරළෙන ඉරණම, හදිසි විනිශ්චය, සැඟවුණු පිළිතුර, උමතු විශ්වාසය, කැළෑහඳ, අයිරාංගනි, මතභේදය, පෙරකදෝරු බෑණා, දොස්තර වැනි චිත්‍රපටවලට ගීත ගයා තිබුණි. එසේම ඇය රඟපෑ සියලු චිත්‍රටවලට පසුබිම් ගී ගැයුවේ ද ඇය විසිනි. එවන් පසුබිමක චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රය තුළ ගායිකාවකගේ අඩුවක් රික්තයක් දැඩි විදියට දැනුණු යුගයක ලතාගේ සිනමා ප්‍රවිශ්ටය සිදු වී ඇත. එය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිය ‘සිංහල චිත්‍රපට ගීතාවලිය’ (1947 - 1956) ග්‍රන්ථයේ සඳහන් කර තිබුණේ මෙපරිද්දෙනි.

‘රුක්මණී දේවිය නිළි ගායිකාවක වීම නිසා ඇය රඟ නොපෑ චිත්‍රපටවලට ගායිකාවක අවශ්‍ය වී තිබුණේය. ඒ රික්තය පුරවන්නට යෙදුණේ ‘ප්‍රේම තරඟය’ චිත්‍රපටයෙන් ප්‍රවිෂ්ට වූ ලතා විසිනි. සිංහල නොදත් දකුණු ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරු සහ සංගීත අධ්‍යක්ෂවරුන් යටතේ ගී ගැයීමට සිදු වුව ද ඇය සිය ගායන කුසලතාව නොමදව විදහා දැක් වූවාය. ඇය සතුව තිබුණේ චිත්‍රපට පසුබිම් ගී ගායනයට යෝග්‍ය හඬකි. (ඉජපඥඥද ඍධඪජඥ) තියුණු හඬකි. ස්වර සප්තකත්‍රයෙහි සැහැල්ලුවෙන් ගමන් කළ හැකි හඬකි. මතු දැක්වෙන ගීවලින් ඊට සාධක සැපයෙන්නේය. ‘හොඳ හොඳම වේය ලොව (ප්‍රේම තරගය) ප්‍රේමයෙ චන්ද්‍රයා, ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ (අහංකාර ස්ත්‍රී) පෙම් ලෝකෙ නයන රසී, මිහිර පෙන්නා දී ආලෙ පෑ මා හදේ (රදළ පිළිරුව) ඉවසනු හදේ, දිනිදා උදය, සඳ කොමලී තරු පිරිවලා, පෙම් මාලා ගොතා ගෙලේ, සුලලිත වූ කලා මිහිරෙන් (මාතලන්) පෙරදිග මුතු ඇටයකි මේ, මාව හංගා වනේ, සැබෑවේ සිහිනය මාගේ, පෙම් රාජ්‍යයේ මංගල යෝගයේ, ලොව සෙට සතර (ඩිංගිරි මැණිකා) පුරහඳ ලෙස මම බබලනවා, ඉඟි බිඟි පාලා කුල්මත් වීලා (දුප්පතාගේ දුක) සීගිරි ළඳකගේ මල් වට්ටියෙලා (රේඛාව)’.

ප්‍රේම තරගයෙන් පසු ලතාගේ ගායන ලතාව මෙරට පසුබිම් ගී ක්ෂේත්‍රය පුරා පැතිර ගියාය. ධර්මදාස වල්පොල සමඟ යුග ගායනයට ප්‍රථමයෙන් එක් වූ ඇය පසුව ලතා - ධර්මදාස යුගයක් නිර්මාණය කරන්නට ආරම්භක පියවර තැබුවාය. ප්‍රේම තරගය චිත්‍රපටයේ ගීත තුඩ තුඩ රැව් දෙන්නට පටන් ගත්තේ මේ නැවුම් ගී හඬ පිළිබඳ සුවිශේෂ අවධානය ද යොමු කරමිනි. එවකට මෙරට ප්‍රවීණ සිනමා විචාරකයෙකු වූ ජයවිලාල් විලේගොඩයන් දිනමිණ පුවත්පතට ලිපියක් ලියමින් කෙදිනක හෝ මේ කටහඬ හිමි ගායිකාව ලංකාවේ ජනප්‍රියතම ගායිකාවක් බවට පත්වන බවට අනාවැකි ද පළ කළේය.

ඒ අනාවැකි සත්‍ය බවට පත් කරමින් දවසින් දවස ලතාට චිත්‍රපට ගලා එන්නට පටන් ගත්තේය.ගීත පටිගත කිරීම් සඳහා ඉන්දියාවට යන්නට පවා සිදු විය. මේ සියලු දේ පසු පස ඇගේ සෙවනැල්ල වූයේ මවුය. පියාගෙන් ඊට කිසිදු බුරුලක් නොවීය. ඉන්දියාවේ ගීත පටිගත කිරීමකට ගොස් පැමිණෙන විට ලතාට හිමි වූයේ සී සී කඩ විසිරුණු පවුලකි. පියාට තරහ ගොස් සියල්ල ගිනි බත් කොට තිබුණ අතර සොයුරාත්, සොයුරියත් ඥාති නිවෙසක විය. ඈ යළි ජීවිතය ගොඩ නඟා ගත්තේ ද සින්දු කියා උපයා ගත් ධනයෙන්මය. ඒ තරම් ශක්තිවන්ත සිතක් සේම, පසු කලෙක තම මවුපිය, සහෝදර සහෝදරියන්ට කෘතවේදීව සලකන්නට තරම් කරුණා බරිත හදවතක් ද ඇ සතු විය.

ලතා - ධර්මදාස සුසංයෝගය සිනමා ගීත ඉතිහාසය තුළ රන් සලකුණක් සනිටුහන් කළේය. චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රය තුළ පමණක් නොව ඉන් පසුව තම පෞද්ගලික ජීවිතයේ ජීවන ගීතය ගයන්නට ද ධර්මදාසවම ලතා තෝරා ගත්තාය. මේ සුසංයෝගය තුළ නිර්මාණය වූ ගී නිර්මාණ සේම ඔවුහු දෙපළ ආදරණීය දූ දරු පිරිසක් ද මෙලොවට තිළිණ කළහ. සුනෙත්, අමිත්, ධම්මිකා, චමින්ද දූ දරුවෝ සියල්ලම මව්පිය අඩි පාරේ යමින් විවිධ දක්ෂතා සංගීත අංශයෙන් ප්‍රකට කර වූහ. ඔවුන් සිවු දෙනා තම පවුලට සම්බන්ධ කරගත් සියලු සාමාජිකයෝ ද ඒ හා සමානවම සංගීතය කෙරෙහි උපන් ළබැඳි බැඳීමකින් කටයුතු කරන්නෝය.

ගෙවුණු ඉතිහාසය පුරාම ඈ සංගීතයටම කැපවුණු ගී රාජිණිය වූවාය. පසුබිම් ගීත ක්ෂේත්‍රය තුළ පමණක් නොව සරල ගීත, කැසට් ගීත සේම ඒක පුද්ගල ප්‍රසංග කලාව තුළ ද ඈට සම කරන්නට තවත් ගී රැජිණියක් අපට නැත. ඉතිහාසය කියවීමේදී ඈ පළමුවෙන්ම පසුබිම් ගීත ගැයූ වංශවතී දවුලගල, අයේෂා වීරකෝන් වැන්නන්ගේ පරපුරේ සිට අද මේ මොහොතේ සිනමාවේ ජනප්‍රිය තරු දක්වාම ඈ පසුබිම් ගායනයේ යෙදුණාය. මේ ලිපිය ලියන මොහොතේත් ඈ මා සමඟ පැවසුවේ අලුත් චිත්‍රපට ගීත දෙකක් හා සිය බැණනුවන් වන මහින්ද බණ්ඩාර සංගීතවත් කළ කෙටි චිත්‍රපටයක් වෙනුවෙන් ද ගීතයක් ගායනා කළ බවයි. පසුගිය කොරෝනා කාලය අතරතුර ඇය සරත් ද අල්විස් සංගීතඥයා සංගීතවත් කළ නවතම ගීතයක් ද ගායනා කළේය.

නොවෙනස් ඇගේ ගී හඬ සැබැවින්ම ඇයට ලැබුණු දේව ආශිර්වාදකි. ඒ දේව ආශිර්වාදයෙන් අපට ලැබුණු ඇය එක්තරා අන්දමකට ජාතික වස්තුවකි. අද ඇය කල් හරිනුයේ සිය ආදරණීය දරු මුණුපුරන්, මී මුණුපුරන්ගේ ආදරය මැද්දේය. දරුවන්ගේ දරුවන් පමණක් නොව මුණුපුරන්ගේ දරුවන් ද බලන්නට වාසනාව ලැබූ ඇය අද මී මිත්තණියකි. ඔවුන්ට ඔවුන්ගේ ආච්චි අම්මා, මී මිත්තණිය ආදරණිය සම්පතකි. ජීවිතයේ බොහෝ වෙහෙසෙකර දිවියක් පුරා දශක අටකට වැඩි කාලයක් සිය රමණීය ස්වරයම කරනකොට ගනිමින් කිත් පැසසුම්, බුහුමන් ලබමින් ගෙවා දැමූ ඇය අද ජීවිතයේ සැඳෑ සමය දරු මුණුපුරු ආදරය මැද සොම්නසින් ගෙවා දමයි.

අසූ හත්වෙනි වියට එළඹෙන රන් ස්වරය හිමි මෙරට ගී රැජිණියනි, ඔබට තව චිරාත් කාලයක් නිරෝගී සුව ලබමින් දීර්ගායුෂ විඳින්නට ආශිර්වාද එක් කරමි.