කඳුළු පිසලා සිනා මල්ලක් ගෙදර ගෙනා කථාව

රාජ් රණසිංහ විස්තර කරයි
අප්‍රේල් 30, 2020

මේ කතාව කියන්නේ රාජ් රණසිංහ.රාජ්ව මෙහෙම හඳුන්වා දෙන්න පුළුවන්.ඔහු තමයි ජීවිතයෙන් ජීවිතයක්,නොම්මර එකයි පෙරළිකාරයෝ,චාන්දනී වැනි චිත්‍රපට නිෂ්පාදනය කළේ.ඒකාලේ ඉඳලම රාජ්ට සිංහල සිනමාව ගැන කැක්කුමක් තිබුණා.ඒක දැනටත් එහෙම්මම තමා.කෙසේ වෙතත් රාජ් කියන්න හදන මේ කතාවට අදාළ සිදුවීම් පෙළෙ පටන්ගන්නේ හිත උණුවිල්ලකින්.වෙන කාගෙවත් නෙවේ රාජ්ටමයි එහෙම වුණේ.එහෙම සංවේදී වෙලා දෙයක් පටන් ගත්ත රාජ්ලට හිත කලකිරුණු අවස්තා නැතුවාම නෙවෙයි.ගමන පටන් ගන්න පොල් මල ගහපු තැනේ ඉඳලා වල ගොඩැලි,කඳු හෙල්,තැනිතලා පසු කරමින් රාජ්ලා සහෘදයින්ට උදව් කරන්න ගිය හැටි ඔහුගේම වචන වලින් කිව්වොත් මෙන්න මෙහෙමයි.

රටට ඇඳිරි නීතිය දාලා දවස් දෙකයි.මට call එකක් අවා අපේ ළඟම මිත්‍රයෙකුගෙන්."අනේ මහත්තයෝ අපිට කන්න නෑ" කියලා වේදනාවෙන් කිව්වා.මම හිටපු තැනින් නැගිට්ටා."ඔහොම්මම ඉන්න මම මොනවා හරි කරන්නම්"කියලා මම phone එක පැත්තකින් තියලා ටිකක් කල්පනා කළා.ඒත් එක්කම දන්න කියන කිහිපදෙනෙක් පිළිබඳ මා සොයලා බැලුවා.ඒ කාටවත් කන්න නැහැ.සමහරුන්ට සල්ලි තියනවා,ඒත් බඩු ගන්න කඩේකට යා ගන්න විදිහක් නැහැ.මම එවලෙම ගත්තා call එකක් රොහාන් වැලිවිටට.ඔහු තමයි අපේ දේශීය සිනමා ශිල්පීන්ගේ  සංධානයේ සභාපති.ඒ වගේම ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ.දන්නවනේ රොහාන් හරි quick මිනිහා.

"මොකද රාජ් වෙන්න ඕනේ කියලා"තමයි වැඩේට බැස්සේ.රොහාන් අග්‍රාමත්‍ය කාර්යාලයත් එක්ක කතා කරලා අවශ්‍ය පහසුකම් ගත්තා.වහාන එහෙමත් ලැබුණා.කොළඹින් ගමන ආරම්භ කළා.මහරගම,මහර,වත්තල,ජා-ඇල යන ප්‍රදේශ cover කරන්න තමයි අපි හිතාගෙන හිටියේ.හරිම සංවේදී ජනක සිද්ධි කිහිපයක්ම අපි දැක්කා.කිව්වට විශ්වාස කරන්න එක්තරා කලාකරුවෙක් දවස් ගණනාවක්ම කාලා තියෙන්නේ ලූණුයි බතුයි.දවල්ට එහෙම කාලා රෑට ලූණුයි පානුයි.සමහරු රොටි කාලා ජීවත් වෙලා තියෙන්නේ.මේ අපේ ලොකු කලාකරුවෝ.ඇත්තටම අපි එනවා දැකලා ඔවුන්ගේ ඇස්වල කඳුලු පිරුණා.එදා බඩුමල්ල දුන්නු දවසේ රෑ call කරලා"අද තමයි අපි කටට රහට කෑවේ"කියලා කිව්වා.අපිටත් පුදුම විදිහට සතුටුයි.ඒ අතරේ මෙහෙම දේවලුත් වුණා.අපි ප්‍රමුඛත්වය දුන්නේ අපේ සිනමා සංධානයේ අයට.ඊට පස්සේ අනික් නළු නිළියෝ tea boyලා light අල්ලන මල්ලිලාටත් උදවු කළා.අග්‍රාමත්‍ය කාර්යාලයේ .වාහනවල එන නිසා සමහරු හිතුවේ මේ දේශපාලන වැඩක් කියලා.අනේ දෙයියනේ එහෙම දෙයක් නෙවේ,අපිට මේ පුද්ගලිකව ලැබුණු ආධාර මේ බෙදුවේ.ඒ බව නොදැන ජනප්‍රිය ප්‍රවීණ ගායකයෙක් දැඩි ලෙසට අපිව විවේචනය කළා.තවත් අය අපි දෙන බඩුමල්ල හිනාවෙලා අතට අරන් අපි ගියාට පස්සේ call කරලා බනිනවා"මේවද මේ බෙදන්නේ "කියලා.තව ජනප්‍රිය සටන් නළුවෙක් අපි ආධාර දෙනවා දැකලා එයාටත් එකක් ඉල්ලුවා.ඊට පස්සේ මට sms එකක් දාලා කියනවා "රුපියල් පන්දහට වැඩි මල්ලක්නම් විතරක් එවන්න,නැත්නම් එපා කියලා.පුදුම මිනිස්සු.නිකම් දෙන අස්සයගේ දත් බලන්න අපේ අය හරිම දක්ෂයි.මේ වගේ දේවල් නිසා හිත රිදෙනවා ඒත් මෙවැනි සද්කාර්යයන් නවත්වන්නේ නැහැ.මේ වෙලාවේ මතක් කරන්න කැමතියි අපේ සුරේශ් කුමාරසිංහ සහෝදරයව.ඔහු තමයි වැඩිපුරම බඩුමලු බෙදුවේ.රොහාන් වැලිවිට,සනෝජා බිබිලේ,එරංග සේනාරත්න,ශාන්ත ගුණවර්ධන,ඩිලානි රණසිංහ,සශිකා,තක්ෂිලා සෙව්වන්දි,හිමේශා අබේරත්න,ඇතුළු පිරිසව ආදරයෙන් මතක් කළ යුතුමයි.මොනදේ කළත්,කොච්චර ආධර දුන්නත් අපි photo ගත්තේ නෑ ඒ ඒ කලාකරුවන්ගේ.ඒක අපි මුල ඉඳලම තියාගත්තු ප්‍රතිපත්තියක්.