‘Online සිනමා උලෙළ’ ඒ මොකක්ද?

ප්‍රවීණ සිනමා විචාරක ඈෂ්ලි රත්නවිභූෂණ
ඔක්තෝබර් 29, 2020

මේ කෙරෝනා යුගය එලඹෙන්නටත් පෙර සිටම අපට වරින් වර ඇසුණු කතාවක් වූයේ ඔන්ලයින් සිනමා සම්මාන උලෙළවලදී අපේ රටේ නළු නිළියන් මෙන්ම අධ්‍යක්ෂවරුන්, කැමරා ශිල්පීන් ආදීන් සම්මානයට පාත්‍ර වූ බවයි. සරසවිය වැනි දේශීය වශයෙන් දැවැන්ත සිනමා සම්මාන උලෙළ මෙන්ම ඔස්කා, කෑන්ස් වැනි උත්කර්ෂවත් අන්තර්ජාතික සම්මාන උලෙළවලට හුරුව සිටින අපි මේ ඔන්ලයින් සම්මානවල දකින්නේ බෙහෙවින් ඇල්මැරුණු ස්වභාවයකි. එහෙත් කොවිඩ් -19 නිසා අපට ඉදිරියේදී බොහෝ විට සිදුවනු ඇත්තේ අප එතරම් සැලකිල්ලක් නොදැක්වූ ක්‍රමය සිනමා සම්මාන උලෙළවල නිත්‍ය අංගයක් බවට පත්වීමද? කුමක්ද මේ ඔන්ලයින් සම්මාන උලෙළ? අප දන්නා තරමින් දේශීය මෙන්ම විදේශීය සිනමා විනිශ්චය මණ්ඩල වැඩිම සංඛ්‍යාවක සාමාජිකත්වය දරන ශ්‍රී ලාංකියා මෙන්ම මෑතදී පැවැත් වූ සිල්ක් රෝඩ් අන්තර්ජාතික සිනමා උලෙළේ ද විනිසුරු මඩුල්ලේ සාමාජිකත්වය දැරූ මාධ්‍යවේදී සිනමා විචාරක ඈෂ්ලි රත්නවිභූෂණ මහතා මේ පිළිබඳ විමසීමට හොඳම පුද්ගලයා ලෙස සිතූවෙමු...

 

ඔබ චිත්‍රපට විනිශ්චයට පය තබන්නේ 70 දශකයේ සිටයි?

ඔව්. කාලීන සඟරාවේ කර්තෘ හැටියට 1968 ඉඳන් කටයුතු කළා. පසුව දූතයා කියන ජාතික කතෝලික සංස්කෘතික සඟරාවේ උපකතුවරයකු හැටියටත් 1975 පමණ සිට ඥානාර්ථ ප්‍රදීපයේ සිනමා විචාරකයකු ලෙසත් කටයුතු කළා. ඒ වසරෙදිම ඉන්දියාවේ පූනේ නගරයේ පිහිටි ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ඩියා කියන අධ්‍යාපන ආයතනයෙන් සිනමා ඇගයීම පිළිබඳ පාඨමාලාවක් හැදෑරුවාට පස්සේ 1977 ඇරඹුණු පළමු OCIC නැත්නම් කතෝලික සිනමා පර්ෂදයේ චිත්‍රපට සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩලයේ උලෙළ විස්සක පමණ කටයුතු කළා. සිනෙසිත් සඟරාවේ සංස්කාරක ලෙස කටයුතු කළා. ඉන් පස්සේ ස්වර්ණ සංඛ, විචාරක සම්මාන උලෙළවලත් සරසවිය සිනමා සම්මාන උලෙළේත් ඉන් පසු තරුණ සේවා සභාවේ, හිරු ගෝල්ඩන් අවෝඩ්ස්, දෙරණ ෆිල්ම් අවෝඩ්ස් වැනි දේශීය සිනමා සම්මාන උලෙළ බහුතරයක ජූරි සභාපතීත්වය වගේම සාමාජිකත්වය දැරුවා. මේ සියල්ලටම කලින් වෙනමම ජූරියක් නොවුණත් ලංකා විචාරක හා ලේඛක සංගමය මඟින් පැවැත්වූ විචාරක සම්මාන උලෙළේ සාමාජිකයන් අතර සිටියා.

 

ඒ වගේම සිනමාකරණය පිළිබඳ පොතපත ලීවා?

ටෙක්නිකල් ඇස්පෙක්ට්ස් ඔෆ් සිනමා (1975), චිල්රන්ස් සිනමා (1979) ග්‍රන්ථ වගේම ප්‍රොෆයිලිං ශ්‍රී ලංකන් සිනමා(2000), ශ්‍රී ලංකන් සිනමා ඇන්ඩ් ඉට්ස් ඇසෝසියේෂන් විත් සෞත් ඉන්ඩියන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි (2013) පොත්වල සමසම්පාදක ලෙස කටයුතු කළා. ඉන්දියාවේ සිනෙමායා, ටෙහ්රාන්හි ෆිල්ම් ඉන්ටනැෂනල්, බ්‍රසීලයේ සිනේ ඇන්ඩ් මීඩියා වැනි සඟරාවල ශ්‍රි ලංකාව නියෝජනය කරන වාර්තාකරු හැටියට කටයුතු කරනවා. එවැනි සිනමා කටයුතු රැසක නියැළෙන්න අවස්ථාව මට හිමිවීම සතුටක්.

 

ඔබ අන්තර්ජාතික සිනමා උලෙළක විනිශ්චය මණ්ඩලයට මුලින්ම සහභාගී වන්නේ 80 දශකයේ?

ටෝකියෝ අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ අන්තර්ජාතික විචාරක ජූරියට 1983වසරේ. ඉන් පසු ලොකානෝ, සිංගප්පූරු, මිලාන් නුවර ඇෆ්රිකානෝ, පූසාන්, රොටර්ඩෑම්, බර්ලින්, තායිවාන්, ලන්ඩන්, මුම්බායි,කේරල, ප්‍රංශයේ වෙසෝල්, ඩකා, යුරේසියා, පිලිපීනයේ සිනෙමැලයා ආදි වශයෙන් එදා සිට අද දක්වා අන්තර්ජාතික සිනමා උලෙළ තිහකට ආසන්න සංඛ්‍යාවක කටයුතු කළා. ඒ වගේම නෙට්පැක් ජූරියෙන් අන්තර්ජාතික සිනමා උත්සව තිහකට පමණ ජූරි සභිකයන් තෝරා පත් කිරිමේ වගකීම මට බාරව තිබෙන නිසා ඒ කටයුතුත් කරනවා. ඊට අමතරව අන්තර්ජාතික චිත්‍රපට සමිති සම්මේලනය මඟින් ලෝකයේ ප්‍රධාන සිනමා සම්මාන උලෙළවලට සාමාජිකයන් තෝරා පත්කර ගන්නවා. මම මේ වසර සඳහා මෑතකදීම සහභාගී වූයේ චීනයේ සිල්ක් රෝඩ් අන්තර්ජාතික සිනමා උලෙළටයි.

 

දේශිය හා විදේශීය සිනමා සම්මාන උලෙළ පැවැත්වෙන ආකාරය පිළිබඳ ඔබේ අත්දැකීම්?

එදා අපි සාමාජිකයන් ඔත්තේ සංඛ්‍යාවක් වන සියලුදෙනා සිනමා ශාලාවක චිත්‍රපට නරඹලා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තමයි තීරණ ගත්තේ. ලංකාව සැලකුවාම ඒ තත්ත්වය විශාල වශයෙන් වෙනස් වුණා කියලා මම හිතන්නේ නැහැ. හැබැයි මුලින් අපි සම්මාන දුන්නේ හොඳම අධ්‍යක්ෂ, චිත්‍රපටය, නළුවා, නිළිය, සංගීතය, කැමරාව වගේ අංශ කීපයකට පමණයි. ඕසීඅයිසී කියන්නේ ලංකාවේ හොඳම ජූරි සභිකයන්ගෙන් සමන්විත සම්මාන උලෙළක් හැටියට අපි ඒ කාලේ ප්‍රධාන ආකල්පයක හිටියා සිනමාව අධ්‍යක්ෂවරයාගේ කලා මාධ්‍යයක් බවට. අනෙක් අංශ සලකා බලන්නේ අධ්‍යක්ෂවරයාට කෙතරම් සහායක් දුන්නාද කියන කාරණය අනුවයි. පසු කාලීනව ඒ සම්මාන වර්ගීකරණය තවදුරටත් පුළුල් වුණා. එය හොඳ ලක්ෂණයක්. ඒත් අන්තර්ජාතික සම්මාන උලෙළවල ස්වභාවය එකිනෙකට වෙනස්. විශේෂයෙන් කොවිඩ් -19 නිසා තත්ත්වය බොහෝ සෙයින් වෙනස් වුණා.

 

ඔන්ලයින් ජූරි ක්‍රමය හිස එසවූවා?

ඇත්තෙන්ම. මේ අවුරුද්ද සමස්ත ලෝකයේ සිනමා සංස්කෘතියටම -මම එසේ හඳුන්වන්නේ නිෂ්පාදනය, ප්‍රදර්ශනය, සාහිත්‍යය වගේ පුළුල් විදිහට- විශාල බලපෑමක් එල්ල කළා. සමහර චිත්‍රපට උලෙළ දින නියමයක් නැතිව කල් දැම්මා. සමහර ඒවා අවුරුද්ද අන්තිමට කල් ගියත් තත්ත්වය වෙනස් වුණා. ඒ නිසා අපට ජූරි වර්ග කීප ආකාරයකින් පවත්වන්න සිදු වුණා. ඒවා ඔන්ලයින් ජූරි (Online),වර්චුඅල් ජූරි (Vertual), රිමෝට් නැත්නම් දුරස්ථ ජූරි (Remote) සහ හයිබ්‍රිඩ් නැත්නම් දෙමුහුන් ජූරි (Hybrid) වශයෙන් හඳුන්වනවා. අපි හයිබ්‍රිඩ් ජූරිය සැලකුවොත්, කොරියාවේ පැවැත්වෙන උලෙළක් කියා උපකල්පනය කරමු. කොරියාවෙන් සභිකයන් දෙදෙනකු සහ පිටරටවලින් තිදෙනෙක් වශයෙන් ගන්නවා. කොරියාවේ දෙදෙනාට උලෙළට සහභාගී විය හැකියි. ඒත් අනෙත් අය රිමෝට්, නැත්නම් දුරස්ථයි, ඒ රටට යන්න බැහැ. ඒවගේ අදාළ රටෙන් සහ දුරස්ථ රටවලින් සභිකයන් යොදාගන්නා විනිශ්චය මණ්ඩල හයිබ්‍රිඩ් ජූරි හැටියට හඳුන්වනවා. තනිකර වර්චුඅල් ක්‍රමයේදී අදාළ රටෙන් කෙනෙක් නොසිටින්නත් පුළුවන්. භෞතිකව විනිශ්චය මණ්ඩලය එක තැනක නැහැ. මා ළඟදි සහභාගී වුණ සිල්ක්රෝඩ් අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ ජූරි සභිකයන් හත් දෙනයි. එයින් දෙදෙනෙක් චීන ජාතිකයන්මයි. අනෙක් පස්දෙනා මා ඇතුළු විදේශිකයන්.

 

ඔන්ලයින් ක්‍රමයේදී ජූරි සභිකයන් චිත්‍රපට නරඹන්නේ වෙනමම?

ඔව්. එකවර නරඹන්න බැහැනේ රටරටවල වේලාවන්වල වෙනස අනුව. ඒ නිසා අපට ලින්ක් එක සහ පාස්වර්ඩ් එක එවනවා. එවිට අපට පුළුවන් චිත්‍රපටය කීපවතාවක් වුණත් බලන්න. ඉන්පසු අපට පුළුවන් සියලු දෙනා එකඟවන වෙලාවක සූම් ඇප් එක ඔස්සේ සාකච්ඡා පවත්වන්න. සමහර අවස්ථාවල අපට දැනුම් දෙනවා, තමන්ගේ කැමැත්ත අනුව ප්‍රමුඛතා පිළිවෙළකින් චිත්‍රපට හෝ වාර්තා හෝ කෙටිචිත්‍රපට කීපයක් නම් කරන්න. එවිට සභාපති දන්නවා වැඩි දෙනකු තෝරාගත් කෘතීන් මොනවාද කියලා. ඒ අනුව සූම් ඇප්එක ඔස්සේ ඒවා ගැන පමණක් කතාබහ කර සම්මාන තීරණය කරගන්නවා. හැබැයි අපට වෙනත් අවස්ථාවල වගේ දිගින් දිගට වාද කරමින් ඉන්න හැකියාවක් නැහැ.

 

මේ ඔන්ලයින් ක්‍රමය නොතිබුණා නම්?

ඇත්තෙන්ම ඔන්ලයින් ක්‍රමය නැතිව දැන් උලෙළක් තියන්න විදිහක් නැහැ. එක්කෝ සම්මාන නැති උලෙළක් පවත්වන්න ඕනෙ. හැබැයි මේ ඔන්ලයින් ක්‍රමයෙත් ප්‍රශ්න නැතුවාම නෙවෙයි. අපට එවන ලින්ක් එක අපි බලන්නේ එක්කෝ ලැප්ටෝප් පරිගණකයක, නැත්නම් අන්තර්ජාලය හා සම්බන්ධ වියහැකි පහසුකම් සහිත රූපවාහිනී යන්ත්‍රයක් තිබේ නම් එවැන්නක. එහෙම බලද්දි සිනමා ශාලාවක වගේ ඩීසීපී එකකින් උසස් මට්ටමේ ප්‍රක්ෂේපණයක් නෙවෙයි දකින්නේ. ඒ නිසා මේ ක්‍රමයේදී යම් යම් අංශවලට කිසියම් අසාධාරණයක් වන්න ඉඩ තිබෙනවා. අනෙක අන්තර්ජාලය අතරමඟ බාධා වනවා. ඒ නිසා ශබ්ද සංකලනය, වර්ණ සංයෝජනය වගේ තාක්ෂණික අංශවලට සම්මාන ප්‍රදානය කරන්නේ නැහැ. පුළුවන් තරම් සම්මාන සීමා කරගන්න සිදුවෙනවා.

 

එහි සම්මාන ප්‍රදානය කරන උත්සවය පවත්වන්නේ?

මේ ක්‍රමයටත් උත්සවයක් පවත්වනවා. හයිබ්‍රිඩ් ජූරියක් නම් සත්කාරක රටේ සභිකයන් එතැන ඉන්නවා. ඒ අය සම්මාන ප්‍රකාශ කරනවා. ඒ රටේම කෙනකු නම් උත්සවය මොහොතේම සම්මානය ලබාගන්න එන්න පුළුවන්. සංචාරක තහංචි නැති වෙනත් රටක කෙනකුටත් අවශ්‍ය නම් සහභාගී වන්න පුළුවන්. නැත්නම් සිදුවන්නේ අදාළ සම්මානය හිමි රටේ තානාපති කාර්යාලයට දැනුම් දෙනවා ඔවුන්ගේ නිලධාරියකුට කැමැති නම් පැමිණ සම්මානය ඒ මොහොතේ රට වෙනුවෙන් ලබා ගන්නට. එසේ නැත්නම් සම්මානය කුරියර් ක්‍රමයට ලැබෙන්න සලස්වන්නත් පුළුවන්. සහතික නම් තැපෑලේ යවනවා. ඒ සඳහා අවශ්‍ය ජූරි සභිකයන්ගේ අස්සන් ඊමේල් මඟින් ලබාගෙන සම්මානවල සටහන් කරනවා. සමහර වෙලාවට සම්මාන ලාභියාටත් සහතිකය විද්‍යුත් තැපෑලෙන් එවා පසුව තැපෑලට යොමු කරන්නත් පුළුවන්.

 

ඔන්ලයින් සම්මානයක සහ උත්සවයට සහභාගී වී ලබන සම්මානයක පිළිගැනීමේ වෙනසක් තිබෙනවාද?

කිසිම වෙනසක් නැහැ. බොහෝ සම්මාන උලෙළවල ජූරිය වර්චුඅල් වුවත්, භෞතිකව සහභාගීවන උලෙළක පරිද්දෙන්ම ෆෙස්ටිවල් කැටලොග් එක මුද්‍රණය කරනවා. ඒ නිසා කිසිම අඩුවක් ඒ සම්මානවල නැහැ. උත්සවය සඳහා අවශ්‍ය දේශන සහභාගීවීම් පවා අපි පටිගත කර යවනවා. සිල්ක්රෝඩ් උලෙළේ සමාරම්භයට වගේම අවසානයට මම ඇතුළු සියලු ජූරි සභිකයන්ගේ කතා අප එසේ යැව්වා.

 

කොරෝනාව දිගටම පැවතුණොත්?

මේ ආකාරයෙන් කොවිඩ් - 19 දිගටම පැවතුණොත් ලබන අවුරුද්ද මේ වසරට වඩා සිනමාව පැත්තෙන් අතිශය භයානක තත්ත්වයකට මුහුණ දෙයි. මොකද ලොව පුරා චිත්‍රපට නිෂ්පාදකයන් අවදානමක් ගන්න සූදානම් වන්නේ නැහැ. ඒ නිසා නිපදවන චිත්‍රපට සංඛ්‍යාව අතිශයින් අඩු වේවි. එවිට සිනමා උලෙළත් සීමා වේවි. ඒ නිසා ලෝක සිනමා සංස්කෘතියම පවතින්නේ දැඩි අවදානම් තත්ත්වයක.