රොඩ්නි වර්ණකුල හැකර් කෙනෙකුගේ ග්‍රහණයට...

ජුනි 11, 2020

රොඩ්නි වර්ණකුල කියන්නේ ඔබ මා හොඳීන් දන්න හඳුනන රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහු බොහොම අහිංසක සහ තමන්ගේ පාඩුවෙ ජීවත්වන චරිතයක් කියලත් ‍රොඩ්නි ළඟින් ඇසුරු කරන අප දන්නවා. රොඩ්නි හරිම ළෙංගතුයි මූණූ පොතට.නිතරම තමන්ගේ නිර්මාණ කටයුතු පිළිබඳ ඊට ඔහු ඇතුළත් කරමින් මිතුරන්ව දැනුම්වත් කළා. මේ මූණූ පොත නිසාම ඔහු නොසිතූ විරූ අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා. සැහැල්ලුවෙන් තිබුණු රොඩ්නිගේ මනස ව්‍යාකූල තත්ත්වයට පත්වෙලා. ඔහු ඒ කතාව මුල සිට පැවසුවේ මෙහෙමයි.

ඇත්තෙන්ම ඔයාලා තමයි පළමු වතාවට මට වෙච්ච මේ කරදරය ගැන ඇහැව්වේ.බොහොම ස්තුතියි ඒකට. මං මුල ඉඳලා කියන්නම්. දෙදහස් දහ අටේදි තමයි මම ෆේස්බුක් එකට එන්නේ.මගේ පුතා මට එකවුන්ට් එකක් හදලා දුන්නා.මුලදි මං ෆේස්බුක් ගැන උනන්දුවක් තිබුණේ නෑ වැඩිය.පස්සේ පස්සේ මට තේරුණා මං වගේ ශිල්පියෙකුට ඒක හුඟක් වටිනවා කියලා.අපි කරන නිර්මාණ ගැන අපේ රටේ පමණක් නොව පිට රටවල ඉන්න අය පවා දැනුම්වත් කළහැකි මේ ෆේස්බුක් හරහා.ඔය අතරේ හැක් කරනවා කියන වචනේ සහ හැකර්ලා ඉන්නවා කියලා අහලත් තිබුණා.ඔය අතරේ මාවත් හැක් කළා.හැක් කිරීම හරියට ඉඩම් මංකොල්ලයක් වගේ දෙයක්. ඒ වගේම ගෙදරට ඇවිත් ඉන්න මිනී මැරුවා වගේ. හැක් වුණාට පසුව අත්වෙන මානසික පීඩාව.... ඔක්කෝටම වඩා ඒක දරුණුයි.කන්න බොන්න හිතෙන්නේවත් නැහැ.

ඔබ ඊට වඩා තව අකරතැබ්බයකට මුහුණ දුන්නා?

ඔව්.මගේ මුහුණු පොත හැක් කරානේ. මම දෙවැනි මගේම මූණූ පොතක් හදාගෙන පුළුවන් තරම් මගේ මිතුරන්ව දැනුම්වත් කළා. ඔය අතරේ මට ආරංචියක් ආවා මගේ පරණ මූණූ පොතට රිංගපු කෙනා මගේ නම විකුණ විකුණ සල්ලි ඉල්ලමින් මගේම ෆේස්බුක් මිතුරන්ට පණිවුඩ යවනවාලූ. මෙහෙම පණිවුඩයක් ආව මිතුරන් දෙතුන් දෙනෙක් මට කතා කළා. මම නිරෝධනය වෙමින් ඉන්නවා, ජීවත් වෙන්න විදිහක් නෑ, කලාකටයුතුත් නෑ කියමින් තමයි අර හැකර් මැසේජ් යවලා තියෙන්නේ. රුපියල් දාහක් දෙදහක් වගේ ඉල්ලනවලූ. මාව දන්න මගේ හිතවත් අය දන්නවා මම ඔහොම හිඟා කන්නේ නැති විත්තිය. මම ගැන නොදන්න ඒත් මට ආදරේ කරනා අයෙකුට ඔය පණිවුඩය ගිහිල්ලා නම් ඔවුන් රොඩ්නි වර්ණකුල නමින් දාහක් දෙදහක් අර හැකර්ට දීලා තියෙන්නත් පුළුවන්. මේ හරහා හරි දැනුම්වත් වෙලා රොඩ්නි වර්ණකුල නමින් කාටවත් සල්ලි දෙන්න එපා කියලා මම මේ වෙලාවේ කියනවා.

ඔබ නීතිමය ක්‍රියා මාර්ගයක් ගත්තේ නැද්ද?

නීතිමය ක්‍රියා මාර්ග අරන් තියෙන්නේ. මටත් වඩා ඉහළ තනතුරු දරන අයගේ ෆේස්බුක් ගිණුම් මීට පෙර ඔහොම හැකර්වරුන්ට හසු වුණානේ. එතකොට නීතිය හරියට ක්‍රියාත්මක කළා සේම මටත් සාධාරණයක් වේවි කියල මා හිතනවා.