වේදිකාවේ මොකද වෙන්නෙ?

නොවැම්බර් 26, 2020

කලා ලොව කලාකරුවන්ට උදා වී ඇත්තේ එතරම් හොඳ කලදසාවක් නොවේ. කොවිඩ් වසංගතය නිසා ඉන් බහුතරයක් පිරිසකගේ ජීවිතය ගෙවී යන්නේ හෙට දවස පිළිබඳ අවිනිශ්චිත හැඟීමෙනි. සජීවී මාධ්‍යයක් ලෙස සැලකෙන වේදිකාවටද මඳ විරාමයක් ලැබී ඇත. නමුත් එකී නිවාඩුව වේදිකා නාට්‍යකරුවන්ට නම් සුබදායි එකක් නොවන වග අමුතුවෙන් පැවසිය යුතු නොවේ. තමන් ගේ ප්‍රකාශන මාධ්‍යය තුළ ආයෙ කවදා සක්‍රීය වන්නට ද කියා කිසිවකුටත් පැවසිය නොහැකි තත්ත්වයක් ඇතිවේ තිබේ. එය දැනෙන අන්දම කොහොමද කියා අපි වේදිකාවේ රැඳුණු නිර්මාණකරුවන් කිහිප දෙනෙකු ගෙන් විමසුවෙමු. බලාපොරොත්තු රහිත හෙට දවස පිළිබඳ ඔවුන් පැවසූ වදන් පෙළගැස්මයි මේ.

 

නාට්‍ය පුහුණු වෙන්න පුළුවන්

නාට්‍යවේදී, නීතිඥ - ඩග්ලස් සිරිවර්ධන

අධ්‍යක්ෂ ජනරාල් - ටවර් හෝල් රඟහල පදනම

පසුගියදා අපි රජයේ වෛද්‍ය නිලධාරි සංගමය එක්ක සාකච්ඡාවක් පැවැත්වූවා. ටෙලි නාට්‍ය රූගත කිරීම් සම්බන්ධව සහ වේදිකා නාට්‍ය ඉදිරියට කෙරෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳ. එහි දී ටෙලි නාට්‍ය සඳහා අපිට පිළිපැදිය යුතු නීති රීති මාලාවක් ලැබුණත් වේදිකා නාට්‍ය නැවත පටන් ගැනීම පිළිබඳ අනුමැතියක් අපිට ලැබුණේ නැහැ. වේදිකා නාට්‍යයක් බලන්න සෑහෙන පිරිසක් එකතු වෙනවා. එහි දී මේ රෝගය ව්‍යාප්ත වීමට ඉඩ කඩ වැඩියි. සමස්ත සමාජය ගැනම හිතලා තමයි මේ වගේ තීරණ ගන්නේ. එහිදී අපි තව ඉල්ලීමක් කළා වේදිකා නාට්‍ය වේදිකා ගත කරන්නට තව යම් කාලයක් යනවනම්, වේදිකා නාට්‍ය ශිල්පීන්ට තමන්ගෙ නාට්‍ය රිහසල් කරන්න වගේ දේවල් කර ගෙන යන්න අවස්ථාව ලබා දෙන්න කියලා. එයට ඔවුන්ගේ යම් අවසරයක් ලැබුණා. සෞඛ්‍ය ආරක්ෂිත විදිහට නාට්‍ය රිහසල් කර ගෙන යන්නට අවස්ථාව තියෙනවා. ටවර් හෝල් රංගන පදනමෙන් අපි නාට්‍ය පිටපත් තරගයක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ දවස් වල ලොක් ඩවුන් වෙලා ඉන්න අපේ දක්ෂ නාට්‍ය පිටපත් රචකයින්ට පුළුවන් එයට අයැදුම් කරන්න. ඒහි ජයග්‍රහයකයින් සඳහා අපි ඉහළ මුදල් ත්‍යාගයක් දෙන්නත් සූදානම්. ඒ වගේම එතැන තියන හොඳ පිටපත් තෝරා ගෙන නිෂ්පාදනයට උදවු කරන්නත් අප ගේ බලාපොරොත්තුවක් තියෙනවා.

 

කවදාද අපි ගොඩඑන්නේ

ජූඩ් ශ්‍රීමාල් - නාට්‍ය සංවිධායක

මේ අලකලංචියට අපි මුහුණ දෙන්න පටන් ගත්තේ පසුගිය මාර්තු පහළොවේ ඉඳලා. ඒ වෙනකොට වේදිකා නාට්‍ය තුනක් මම නිෂ්පාදනය කරලා මංගල දර්ශන පවත්වන්නයි සැලසුම් කරගෙන හිටියේ. සුදු ඇඳගෙන හොරු ඇවිදින්, සාකුන්තලය සහ ඌරෝ අතර පෝක් තමයි එම නාට්‍ය ත්‍රිත්වය. ඒ එකක්වත් හරියාකාරව වේදිකාවට ගෙන එන්නට අපට බැරි වුණා. ඒක නාට්‍ය නිෂ්පාදකවරයකු විදිහට මට දරාගන්න බැරි පාඩුවක්. මේ දෙසැම්බර් මාසෙ වෙනකම් අපි වේදිකා නාට්‍ය සඳහා ශාලා බුක් කරලයි තිබුණේ. වෘත්තිමය නාට්‍ය සංවිධායකවරයෙකු විදිහට ඒ සඳහා යම් මුදලක් වැය කරනවා. හෝල්වල ඇඩ්වාන්ස් සහ ප්‍රචාරණය වගේ ඒවට. ඒ වගේම මම නිෂ්පාදනයට අමතරව සංවිධානය කරන නාට්‍ය විස්සකටත් වැඩිය තියෙනවා. ඒවත් ඔක්කොම කොට උඩ. කවදා ගොඩ එන්නද කියලා අපිට හිතා ගන්න බැරුව ඉන්නෙ. එහෙම ආසාවට මේ වැඩේ කරත් අපේ මේ වෘත්තිය කිසිසේත්ම ස්ථාවර නැහැ. මේ වගේ අවස්ථාවන්වලදී රජයෙනුත් යම් වැඩ පිළිවෙළක් ඕනේ. හිඟන්නෝ තමයි එක එක දේවල් ඉල්ලන්නේ. කලාකරුවෝ විදිහට අපිට එහෙම ඉල්ලන්න බැහැ. නමුත් අවශ්‍යතා හොයලා බලලා අපේ බලධාරීන් යමක් කරන්නට ඕනේ. හරියට කිව්වොත් මේ වේදිකා නාට්‍යකරුවන් තධජඬඤධඹද වෙලා ඉන්න පසුගිය මාර්තුවේ ඉඳලා. මේ වෙනකම් කිසිම සහනයක් අපිට ලැබුනේ නම් නැහැ.

 

මෙවැනි කාලයක් තිබුණෙම නැහැ

රවීන්ද්‍ර ආරියරත්න - බල්ලොත් එක්ක බෑ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ

මේ යන විදිහට නාට්‍යකරුවන්ගේ ඉදිරිය අඳුරුයි. ඒ වගේ තත්ත්වයක් මත ඉඳගෙන තමයි අපි මෙච්චර කල් නාට්‍යක් කරලා ප්‍රේක්ෂකයෝ පිනෙව්වේ. වසර විස්සකට ආසන්න කාලයක් මම මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්නවා. ඒ කිසිම කාලෙක මේ වගේ මෙච්චර කල් නාට්‍යයක් නොපෙන්වා හිටිය කාලයක් තිබුණේ නැහැ. යුද්ධයක් තිබුණත් සුනාමියක් කාවත් කෙටි කලක් ඇතුළත යථා තත්ත්වයට පත්වෙලා වේදිකාව සක්‍රිය වුණා. මොකද වේදිකා නාට්‍යකරුවන්ට කිසිදු සහනයක් පෙනෙන්නක් නැහැ. වෘත්තියක් වශයෙන් වේදිකා නාට්‍ය කරන නිර්මාණ කරන නිර්මාණකරුවන් අතිශය විශාලයි. ඒ වාගේම තිරයෙන් පිටුපස ඉඳලා ඔවුනට සහාය වන පිරිසක් ඒ වගේම සංඛ්‍යාවක් ඉන්නවා. ඔවුන් වේදිකා නාට්‍ය කරලා තමයි කීයක් හරි හොයාගෙන තමන්ගේ පවුලක් නඩත්තු කරන්නේ. රජයට බරක් නොවන කලාකරුවන් පිරිසක් ලෙස වේදිකා නාට්‍යකරුවන් හඳුන්වන්න මම කැමැතියි. ඔවුන්ට පුළුවන් විදියට නාට්‍යයක් කරගෙන ඒකත් පෙන්නලා ප්‍රේක්ෂකයො පිනවල කීයක් හරි හම්බ කර ගත්තු පිරිසට අද යන එන මං නැහැ. වෙන රටවල්වල මේ වගේ තත්ත්වයකදී වෘත්තිමය කලාකරුවන්ට යම් කිසි සහනයක් ලබා දෙනවා. නමුත් අපේ රටේ එවැනි දෙයක් තවමත් පේන්න නැහැ.

 

හෙට ගැන බලන් ඉන්නවා

ප්‍රියන්ත රංජන් - වේදිකා නාට්‍ය සංවිධායක

වේදිකා නාට්‍ය කලාවෙන් ජීවත් වෙන අපිට මරු පහරක් වැදුණේ පාස්කු ප්‍රහාරයත් එක්ක. 2019 අප්‍රේල් ඉඳන් අපි නොයෙකුත් බාධා මැද තමයි වේදිකා නාට්‍යයක් රඟ දැක්වුයේ. එහි දිගුවක් හැටියට තමයි කොරෝනා වසංගතය මම දකින්නේ. මේ වසරේ මාර්තු වන විට මම රූකඩ රජා, මල් වඩම් අනවශ්‍යයි ඇතුළු නාට්‍ය පහක් අධ්‍යක්ෂණය කොට වේදිකාවට ගෙන එමින් සිටියා. ඒ වගේම සරච්චන්ද්‍රයන් ඇතුළු ශ්‍රේෂ්ඨ නාට්‍යවේදීන් මීට පෙර කරන ලද වේදිකා නාට්‍යවල නව නිෂ්පාදනයන් මා විසින් වේදිකාවට ගෙන එමින් සිටියා. එහෙම බලනකොට මම නාට්‍ය සෑහෙන්න සංඛ්‍යාවක් සංවිධානය කළා. ඒ ඔක්කොමවල වැඩ නැවතුණා. වේදිකා නාට්‍යයවල රඟපාන නළු නිළියෝ බහුතරයක් වෙන මාධ්‍යවලට දායක වෙලා, විශේෂයෙන් ටෙලි නාට්‍යවල රඟපාලා හරි ජීවත් වෙනවා. නමුත් වේදිකාවෙන් යැපුන අය...? එයාලට මොකද වෙන්නේ. ඔවුන් සමහර කුලී වැඩ කරනවා කියලත් මට ආරංචියි. මොකද ජීවත් වෙන්න මොනවා හරි කරන්නත් ඕනනේ මේක ඇත්තටම ශෝචනීය තත්ත්වයක්. අපිට මේ වෙලාවේ රජයෙන් එක එක දේවල් ඉල්ල ඉල්ල කරදර කරන්නත් බැහැ. අපි ගැන විතරක් නෙමේ නේ රජය පාර්ශව කීයක් පිළිබඳ හොයල බලන්න ඕනේද. නමුත් මොකද කරන්නේ. කවද හරි වේදිකා නාට්‍ය ආරම්භ වෙනකම් බලාගෙන ඉන්නවා හැර වෙන කරන්න කිසිම දෙයක් නෑ.

 

වේදිකාවට වැඩි අවදානයක් ඕනෑ

සුනිල් ශ්‍රී - වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ

වෘත්තියක් විදිහට අපේ නාට්‍ය කලාව අගාධයකට වැටිල ඉවරයි. මගේ අලුත්ම වේදිකා නාට්‍යය “කෝ” පෙන්වන්න සැලසුම් කරගෙන හිටියත් ඒ කිසිවක් කරගන්න හමුවුණේ නැහැ. දෙසැම්බර් 20 නැවතත් එහි මංගල දර්ශනය තියන්න හැදුවත් ඒකත් කල් ගියා. නාට්‍යයක් වේදිකා ගතවන තැනට වෙනකන් වෙන මහන්සිය අපි විතරයි දන්නේ. අද පටන් අරන් හෙට වේදිකා නාට්‍යයක් වේදිකා ගත කරන්න බෑ. ඒ සඳහා අතිශය විශාල කාලයක් පුහුණු කිරීම් කරන්න ඕනේ. ඒ වගේම ලොකු පිරිවැයකුත් දරන්න වෙනවා. මේ වන විට වෘත්තිය නාට්‍යකරුවෙක් විදිහට කිසිදු සහනයක් කාගෙන්වත් ලැබුනේ නැහැ. රුපියල් ලක්ෂ පහක ණයක් දුන්නත් ඒක ගන්න ගියාමත් ණය දීලා ඉවර කරලා. මම නම් කියන්නේ මේ වෙලාවේ බලධාරීන්ගේ වැඩි අවධානය වේදිකා නාට්‍ය පැත්තට යොමු වෙන්න ඕනේ. නැත්නම් ඒ කලාකරුවෝ තවත් අසරණ වෙනවා.