දෑස දන් දී සිනහව වසා දැමූ ආදරණීය ටෙනී

ඔක්තෝබර් 1, 2020

 

වර්ෂ 1952 මාතර වැලිගම ග්‍රාමයේ උපත ලද පිරිමි දරුවකුගේ නැකැත් පත්‍රය පරික්ෂා කළ නැකැත්කරුවා පවසා ඇත්තේ ඔහුගේ ජීවිතය ආරම්භ වන්නේ වයස අවුරුදු 40න් බවය. කියූ ලෙසම ඔහුගේ මුල් කාලයේ කළ කිසිවක් සාර්ථක නොවූ අතර වයස අවුරුදු 40න් පසුව රටක් සිනා සයුරේ ගිල්වමින් ඔහු ජනාදරයටත් ජනප්‍රියත්වයටත් පත්විය. හෙතෙම මෙරෙඤඤගේ එඩ්වඩ් ටෙනිසන් කුරේ හෙවත් ලංකේය සිනමාව තුළ විකට නළුවකු ලෙස වැඩිම මුදලක් අය කළ, කලක් බොක්ස් ඔෆිස් නළුවකු ලෙස වාර්තා අතරට ගිය ටෙනිසන් කුරේ නැමැති රංගන ශිල්පියාය.

ටෙනිසන් කුරේ ගැන නොදන්නා කෙනෙක් සොයා ගැනීමට වඩා නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගනු මැනවි. ඔබට අබ මිටක් හමු වෙනු නිසැකය. ඒ තරමටම ලොකු කුඩා භේදයකින් තොරව සැවොම සිනහා ගැන්වූ ඔහු ගැන නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. මේ සටහන හදිසි අසනීප තත්ත්වයක් මත රෝහල්ගතවී පසුගිය 28 වැනිදා අප අතරින් වියෝ වුණු ටෙනිසන් කුරේ නම් විකට නළුවා, වේදිකා නාට්‍යය නළුවා, අධ්‍යක්ෂවරයා මෙන්ම නිෂ්පාදකවරයා ගැනය.

 

1952 අප්‍රේල් 30 වැනිදා වැලිමඩදී එඩ්ගාර් ස්ටැන්ලි ආතර් කුරේට දාව එච්.එම්. රම්මැණිකාගේ කුසෙහි දෙවැනි වරට උපන් පිරිමි දරුවාට ආගමික පරිසරයට හුරු නමක් දැමීමට පියාට අවැසි විය. පොතපත කියවන්න ලැදි කුරේ මහතා ඔහුගේ ප්‍රියතම ඉංග්‍රීසි කවියා වූ "ලෝඩ් ටෙනිසන්"ගේ නම සහ එඩ්වඩ් රජුගේ නම තම පුතාට යොදන්න තීරණය කළේය. එනයින් ඔහු මෙරෙඤඤගේ එඩ්වඩ් ටෙනිසන් කුරේ නම් විය. වැඩිමහල් සහෝදරියක්ද බාල සහෝදරයකුද සිටින ටෙනිසන් වයස අවුරුදු හතරේදී පමණ තම පියාගේ ගම වූ මොරටු පුරවරයට පදිංචියට පැමිණියේය. ඒ ගැන ඔහු කියා ඇත්තේ මෙසේය.

 

"ගමෙන් ආවාට පස්සේ මුලින්ම අපි පදිංචි වුණේ පිළියන්දල ගෙදරක. තාත්තගේ මහගෙවල් මොරටුවෙ. මම්මා (තාත්තගේ අම්මා) අපිව බලන්න රික්ෂෝවකින් එනවා. ඊට පස්සේ මොරටුවෙ මහගෙදරට අක්කාවයි මාව එකතු කරගෙන යනවා. රික්ෂෝවකින් ඒ යන ගමන තාමත් මගේ හිතේ හිතේ කා වැදිලා තියෙනවා."

"මම අවුරුදු අටක් විතර කාලේ පල්ලියේ ප්‍රසංගයකට විකට ජවනිකාවක් ඉදිරිපත් කළා. ඒකට මට උදව් කළේ මගේ මිත්‍රයා පර්සි"

පසුකාලීනව රටම හිනැස්සවූ ඔහුගේ පළමු ඉදිරිපත් කිරීම ගැන පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ එසේය.

විල්ලෝරාවත්ත රෙපරමාදු කතෝලික මිශ්‍ර පාසල හෙවත් මොරටුව මෙතෝදිස්ත විද්‍යාලයට හෙතෙම ඇතුළත් විය. පාසලේ ක්‍රීඩා සහ කලා සංගම්වලට වැඩකටයුතුවලට මූලිකත්වය දුන් ටෙනිසන් කුරේ නම් යෞවනයාගේ ප්‍රියතම නළුවන් වූයේ ජෝ අබේවික්‍රම සහ ගාමිණී ෆොන්සේකායි. එකල ටෙනිසන් කුරේ නම් තරුණයා පසුකාලීනව දෙමෝදර පාලම චිත්‍රපටයහි සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ තමාට රඟපෑමට ඉඩහසර ලැබෙන බවත් එහිදී තමාගේ රඟපෑම ඔහු ඉහළින් අගය කරන බවත් සිහිනෙන් හෝ නොසිතන්නට ඇත.

ටෙනිසන් කුරේගේ පියා ඉංග්‍රීසි සාහිත්‍ය පත පොත පරිහරණය කළ උසස් ඉංග්‍රීසි දැනුමක් ඇති තැනැත්තෙකි. එම නිසා ලියෝ ටෝල්ස්ටෝයි, ශේක්ස්පියර් ලියු පොතපත් කියවීමට ටෙනිසන් කුරේ නම් තරුණයාට ද ඉඩහසර ලැබිණි. ඉංග්‍රිසි සාහිත්‍යය පිළිබඳ ඔහුගේ දැනුම කෙතරම් ද කිවහොත් පසුකලෙක ප්‍රවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහ පවා ඒ පිළිබඳ විස්මයට පත් විය.

රංගනයේදී පමණක් නොව ටෙනිසන් නම් කොලු ගැටයා පාසලේදීද කර ඇත්තේ සියල්ලන්ම සිනහගස්වන සුලු නොමනා වැඩය. ඉන් එකක් ඔහුගේම වචනයෙන් කිවතොත් මෙසේය.

"දවසක් ලොකු අයියලා වාරවිභාගය කාලේ අපිට පන්තියට වෙලා සද්ද නැතුව ඉන්න කිව්වම අපි කෑගැහුවා. ඒ සද්දේ ඇහිලා පි‍්‍රන්සිපල් වේවැලත් අරගෙන අපි ඉන්න පැත්තට ආවා. මම හෙමීට කාමරෙන් එළියට පැනගත්තා. දැන් ප්‍රින්සිපල් අහනව "කවුද කෑ ගැහුවේ" කියල. ඔක්කොම කට්ටිය මීයට පිම්බ වගේ මම එළියෙ බිත්තියකට මුවා වෙලා එක පාරටම ඔළුව දාලා "මමයි කෑ ගැහුවේ" කියලා තවත් පැත්තකට දුවලා ගිහින් හැංගුණා. ඔන්න ප්‍රින්සිපල් ඒ පැත්තට ආවාම මම වෙන තැනකින් ඔලුව දාලා "මම මෙහේ" කියලා කෑගැහුවා. ප්‍රින්සිපල්ට හොඳටම තරහ ගිහින්. ඒත් මාව අල්ල ගන්නත් බෑ. මම හූ කිය කියා පන්ති කාමරෙන් කාමරයට දුවනවා. ප්‍රින්සිපලුත් මගේ පස්සෙන්ම එනවා හරියට ඔට්ටු සෙල්ලම් කරනවා වගේ."

පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කියන්න පෙර සිටම මෝටර් රථ කාර්මික පාඨමාලාවක් සඳහා යොමුවුණු ටෙනිසන් පසුව නැවක කාර්මිකයකු ලෙසද රැකියාව කළේය. එහෙත් ටෙනිසන්ගේ හිත යොමු වුණේම කලා වැඩකටයුතුවලටය. එහි ප්‍රතිඵලයක් ලෙස "අපායේ තත්පර 1800" නමින් වේදිකා නාට්‍යයක් නිර්මාණය කොට මොරටු ප්‍රදේශයේ ජනතාවට ඉදිරිපත් කළේය. එය මොරටු ප්‍රදේශයේත් ඉන් බැහැර දර්ශනවාර වාර 35ක් පමණ ප්‍රදර්ශනය විය. (90 දශකයේදී එය චිත්‍රපටයක් ලෙස දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කළේය. මෙහි ප්‍රධාන චරිතය ගාමිණී ෆොන්සේකා රඟපෑ අතර කතාව දෙබස් සහ තිර රචනය ටෙනිසන් කුරේගෙන්ය.) පසුව ටෙනිසන්ට චිත්‍රපටයක රඟපාන්න තිබුණා නම් යැයි සිතුණු අවස්ථා එමටය. එනමුත් එකී අවස්ථා විරල විය. අවස්ථා ඉල්ලුවාට එතරම් පැහැපත් සමක් නොමැති උසින් අඩු මේ තරුණයාට අවස්ථාවක් ලැබුණේද නැත. අත්හදා බැලීම් කරන්නට කැමති යෞවනයකු වුණු ටෙනිසන් 1971 වර්ෂයේදී "හද ඇඳී සිත්තම්" නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළේය. එහිදී ඔහුට ගිවන්ත අර්ථසාද් සහ බර්මින් ලයිලි ප්‍රනාන්දු හඳුනාගැනීමට හැකි විය. එහි සෝනියා දිසා, දොන් සිරිසේන, රෝහිණී ජයකොඩි ආදී රංගන ශිල්පීන් රඟපෑහ.

ටෙනිසන් කුරේ මුලින්ම රිදී තිරයට එකතු කරගත්තේ ඔහුගේ පියාගෙන් ඉංග්‍රීසි ඉගෙනගන්නට නිවසට නිතර ආ ගිය හාදයාය. ඔහු හේමසිරි සෙල්ලපෙරුමය. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ "ජිවන්ති" චිත්‍රපටිය ටෙනිසන් කුරේ රංගනයෙන් දායක වූ පළවෙනි චිත්‍රපටියයි. ගිවන්ත අර්ථසාද්ගේ මිතුරුකම අනුව ටෙනිසන් කුරේගේ කලා දිවියට නව එළියක් එකතු කළ අපූරු සගයෙක් හමුවිය. ඒ ගිවන්තගේ බාල සොහොයුරු සිනමා අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ය. මේ තරුණයන් දෙදෙනා හාපුරා කියා අත ගැසුවේ අපූරු වැඩකටය. ඒ ගැන ටෙනීගේ වචනයෙන්ම කියනවා නම් මෙසේයි.

"අපි දෙන්න එකතු වෙලා පොඩි අත්හදා බැලීමක් කළා. ඒක "ඇක්ෂන්" කියලා කෙටි චිත්‍රපටියක්. වැඩ සෙල්ලම් සීයයි. විශේෂ ප්‍රයෝග ඒව මේව ඔක්කොම දාල තමයි මේක හැදුවේ. ඇත්තටම "ඇක්ෂන්" අපිට හොඳ අත්දැකීමක් වුණා."

ඇක්ෂන් චිත්‍රපටයේදී මේ තරුණයන් දෙදෙනාට හමුවුණු රාජ් රණසිංහ දිනේෂ් ප්‍රියසාද්ට අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න බාර දුන්නේය. එහි පිටපත ලියන්නට බාර වුණේ ටෙනිසන් කුරේටය. ටෙනිසන් කුරේගේ සැබෑ දක්ෂතා හැකියා ඉස්මතු වුණු එම චිත්‍රපටය නම් වන්නේ "නොම්බර එකයි" නමිනි. නොම්මර එකයි චිත්‍රපටය මේ තරුණයන් දෙදෙනාට තවත් වැඩකට අතගැසීමට මඟ පාදා දුන්නේය. නොම්බර එකයි චිත්‍රපටය දැක තිලක් අතපත්තු දිනේෂ් ප්‍රියසාද්ට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න භාරදුන්නේය. එහි කතාව සහ තිර නාටකය ටෙනිසන්ගෙනි. ඒ කවුරුත් දන්නා "පෙරළිකාරයෝ" චිත්‍රපටයයි. පෙරළිකාරයෝ 1986 වසරේ දී ජනප්‍රියම චිත්‍රපටය වුණා පමණක් නොව ඉහළම ආදායම් වාර්තා තැබූ චිත්‍රපටය ද විය. පෙරළිකාරයෝ රූගත කිරීම්වල දී ටෙනිසන්ට සහ දිනේෂ්ට විජය කුමාරතුංග හමුවිය. විජය තම පළමු නිෂ්පාදන කර්තව්‍යයට අතගැසුවේ මේ තරුණයන් දෙදෙනාගෙන් වැඩක් ගනු රිසියෙනි. ඒ ගැන ටෙනිසන් සරසවියට පැවසුවේ මෙසේය.

"පෙරළිකාරයෝ අවසන් කොටස් රූගත වීම් අතරතුර දිනේෂ්ටත් මටත් විජයගෙන් ලැබුණේ මේ වගේ ප්‍රශ්නයක්.

විජය - "දැන් මේක ඉවර උනාම මොකක්ද කරන්න හදන්නේ?"

"දිනේෂුයි මමයි මූණට මූණ බලා ගත්තා. අපිට දෙන්න උත්තරයක් තිබුණේ නෑ."

"මොකුත් නෑ නිකං ඉන්නවා" අපිට නිකන්ම කියවුනා."

විජය - "උඹලා වගේ අය එහෙම නිකන් ඉන්න එක හොඳ නෑ හරි පටන් ගනින් පික්චර් එකක් මම වියදම් කරන්නම්"

විජය කුමාරතුංගගේ මුල්ම නිෂ්පාදනය වුණු "වරදට දඬුවම" චිත්‍රපටය ඇරඹුණේ ඒ ආකාරයෙන්ය. එතැන් පටන් ඇරඹුණු ටෙනුසන් කුරේගේ සිනමා ගමන ලැයිස්තුගත කළහොත් ඉන් කීපයක් මෙසේය.

පෙරළිකාරයෝ (1986), නොම්මර එකයි (1987), චණ්ඩින්ගෙත් චණ්ඩියා (1988), සම්බුදු මහිම (1990), රන්දෙණිගල සිංහයා, ඇසල සඳ, හිතේ දුකක් නැති මිනිහා, හොඳ හොඳ සෙල්ලං (1990), හිත හොඳ පුතෙක් (1990), හොඳීන් නැත්නම් නරකින් (1990), ඇසළ සඳ (1990), චෙරියෝ ඩොක්ටර් (1990), අලි බබා සහ හොරු 40 (1991), ආසයි බයයි (1991), සිංහයන්ගෙත් සිංහයා (1992), රණබිමේ වීරයා (1992), සිංහ රජා (1993), කම් ඔර් ගෝ චිකාගෝ (1993), මධූට නං ආදරෙයි, අජේ සහ විජේ (1993), රෝදය (1995), චෙරියෝ කැප්ටන් (1995), හිත හොඳ සූරයෝ (1995), දෙවියනි සත්‍ය සුරකින්න (1995), දෙමෝදර පාළම (1996), චෙරියෝ ඩාලිං (1996), අපායේ තත්පර අසූහාරදාහක් (1997), සූරයෝ වැඩකාරයෝ (1997), විජයග්‍රහණ (1997), රඹා සහ මධූ (1997), රෑ දනියෙල් දවල් මිගෙල් (1998), කොළොම්පූර් (1999), නගරං (1999), රෑ දනියෙල් දවල් මිගෙල් 2 (2000), ජොන්සන් ඇන්ඩ් ගොන්සන් (2001), ජැක් ඇන් ජිල් (2001), කොළඹ කොලොප්පන් (2001), පාර්ලිමන්ට් ජෝක්ස් (2002), සොමි බෝයිස් (2002), ලව් 2002 (2002), ඇලඩින්ගේ වෑල්ඩින් (2003), ටැක්සි ඩ්‍රයිවර් (2003), හිත හොඳ පිස්සෝ (2003), වැලා ඉන් ලන්ඩන් (2003) රෑ දනියෙල් දවල් මිගෙල් 3 (2004), ඔහොම හරිද (2004), ක්ලීන් අවුට් (2004), ජේම්ස් බොන්ඩ් (2005), වැඩ බැරි ටාසන් (2007), ජුන්ඩයි ගුන්ඩයි (2007), ඇයි ඔබ තනිවෙලා (2008), හදවත මල් යායයි (2010), අපේ යාළු පුංචි භූතයා (2010), වැඩබැරි ටාසන් මැතිසබයට (2010), කිව්වද නහී නොකිව්වද නහී (2011), තැන්ක් යූ බර්ටි (2011), ජීවිතේ ලස්සනයි (2012), සුපිරි අන්දරේ (2014), රංජා (2014), පරපුර (2014), සිංග මචං චාර්ලි (2015), හලෝ මිස්ටර් මං ඩිරෙක්ටර් (2017), නෝනා හරිම වසයි (2017), ජය ශ්‍රී ඇමතිතුමා (2019).

මේ අතරින් පෙරළිකාරයෝ, නොම්බර එකයි, දෙමෝදර පාලම, කොලොම්පූර් යන චිත්‍රපටවල තිර කතා රචනා කර ඇත්තේ ටෙනිසන් කුරේ විසින්. "තැන්ක් යු බර්ටි" ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණයයි. නළුවෙකු ලෙස රිදී තිරයට පැමිණි ටෙනිසන් කුරේගේ රඟපෑම් ශෛලියෙන් වෙනත් පසෙකට ඇද දැමූ චිත්‍රපටයකි දිනේෂ් පි‍්‍රයසාද්ගේ "හිතේ දුකක් නැති මිනිහා". ඒ ත්‍රාසජනක ජවනිකා සඳහා ටෙනිසන්ගේ තිබෙන හැකියාව ඉස්මතු වූ චිත්‍රපටියකි. වේගයෙන් රිය පැදවීම සටන් කිරීම වැනි ටෙනිසන්ගෙන් ප්‍රේක්ෂකයින් දැක නොතිබුණු හැකියාවක් ඉස්මතු කරන්නට එහි අධ්‍යක්ෂ දිනේෂ් පි‍්‍රයසාද් ගත් උත්සාහය ඇගයිය යුතුය. උතුරේ යුද්ධය පැවති ආර්ථික ගැටලු වැනි කාරණා නිසා 90 දශකය මුල් භාගයේ සිනමා වසන්තය අහවර විය. රෑ දනියෙල් දවල් මිගෙල් වැනි චිත්‍රපටි තුළින් යළිත් සිනමාශාලා කරා ප්‍රේක්ෂකයන් ගෙන ඒම සඳහා නව රැල්ලක් ආරම්භ කිරීමට බන්දු - ටෙනී දැරූ ප්‍රයත්නය පැසසිය යුතුමය.

ටෙනිසන් කුරේ සිනමාවේ පමණක් නොව වේදිකාවේද තම විකට රංගනය මැනැවින් නිරූපණය කළේය. කැප්ටන් කූල්, මෑන් ද මෑන්, කුරුල්ලා, ටාසන් ද බබා, අයි ඈම් ශ්‍රී ලංකා, සිවම්මා ධනපාල, රැළිය යන වේදිකා නාට්‍ය ඔහු විසින් නිෂ්පාදනය කරන ලදී. මේ සෑම වේදිකා නාට්‍යයකින්ම සමාජයේ ප්‍රශ්න, ගැටලු ගැටලු ප්‍රහසනාත්මකව කතිකා කරනු ලබන ඔහු ප්‍රේක්ෂකයන් සිනහා ගන්වනවා මෙන්ම රටේ ප්‍රශ්න පිළිබඳව ප්‍රේක්ෂක අවධානය යොමු කරන්නටද උත්සාහ ගත්තේය.

සිනමා විචාරකයන් හාස්‍යෝත්පාදක චරිත විකටයන් ගණනට දමා විචාර කිරීම සම්බන්ධයෙන් ටෙනිසන්ට තිබුණේ කනස්සල්ලකි. ටෙනිසන් නිරන්තරයෙන් පැවසූවේ හාස්‍ය උත්පාදනය තුළද ගැඹුරක් ඇති බවත් එය තේරුම් ගැනීමට විචාරකයින්ට නොහැකි වුණු බවත්ය. හාස්‍ය රංගනය ගැන ටෙනිසන් කුරේ වරක් පැවසුවේ මෙසේය.

"හාස්‍ය රංගනය ලේසියෙන් කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අද මාලන් බ්‍රැන්ඩෝලාගේ නම්වලට වඩා චාලි චැප්ලින්ගේ නම ජනප්‍රියයි. කොමඩි කිව්වම ඒ නම මතක් වෙනවා. හාස්‍යයට හැමෝම කැමතිනේ. හාස්‍ය කියන්නෙත් හරිම සීරියස් දෙයක්. චාලි චැප්ලින් හිට්ලර්ගේ සමහර දේවල් උපහාසයට ලක් කළා හිට්ලර්ට චැප්ලින් එක්ක මාර කේන්තියක් තියෙන්න ඇති. ඒවා විහිළු නෙවෙයිනේ. ඒක නිසා හාස්‍ය රංගනය කියන්නේ හිනාවෙන එක විතරක් නෙමෙයි. අපේ රටේ මේක අඳුර ගත්තෙ නැහැ. ඒක නම් මාරම විහිළුවක් තමයි."

ටෙනිසන් කුරේ විවාහ වූයේ ඔහුට දුරින් ඥාති වන තරුණියක් සමඟය. ඇය නමින් මල්සිරි කුෙර්ය. තමාගේ සාර්ථකත්වයට හේතුව බිරිඳ බව ටෙනිසන් නිරන්තරයෙන් පැවසුවේය. ටෙනිසන්ට එක් දියණියකි. ඇය මධු මිහිරි කුෙර්ය. ගුරුවරියක් වන ඇය විවාහ වූයේ චතුරංග ප්‍රනාන්දු නම් වූ ව්‍යාපාරිකයකු සමඟය. මින්ද්‍රි, චනුදෘ ඔහුගේ මිණිබිරිය සහ මුණුපුරාය.

කෙනෙකුගේ කාර්යයට නිසි වටිනාකමක් ඇත. එකී වටිනාකම ගොඩනඟා ගැනීම සඳහා ඔහු හෝ ඇය කරන උත්සාහය, කැපවීම, වෙහෙස මහන්සිය, වැය කරන කාලය යනාදිය මත එකී වටිනාකම ගොඩනැඟෙනු ඇත. ටෙනිසන් කුරේ නම් රංගවේදියාටද එවන් වටිනාකමක් ඇත. එය ලාංකේය සිනමා රංගන ශිල්පීන්ගෙන් මිලෙන් අධිකම රංගන ශිල්පියකු ලෙස ඔහුව නම් කිරීමට තරම් වේ. ඒ ගැන ඔහු පුවත්පතකට කිව්වේ මෙලෙසය.

"මම අද ලංකාවේ වැඩියෙන්ම අය කරන නළුවන්ගෙන් එක්කෙනෙක්. මගේ මුදල ගෙවන මාව චිත්‍රපටයට ගන්නේ මගෙන් චිත්‍රපටයට තියෙන අවශ්‍යතාව නිසයි. රේස් එකකදි වුණත් හැමෝම ඔට්ටු අල්ලන්නේ හොඳට දුවන අශ්වයාට. ඒ වගේ අද සිනමාකරුවන් වැඩියෙන් ගෙවලා හරි මාව ගන්නෙ මට ප්‍රේක්ෂකයන් කැමැති නිසයි."

ටෙනිසන් කුරේ නම් හසරංග පෞරුෂය සමඟ එක්ව ජනමාධ්‍ය විවිධ වැඩසටහන් නිෂ්පාදනය කළේය. ගුවන් විදුලි නාළිකා, රූපවාහිනී නාළිකා ඔහුව සම්බන්ධ කරගෙන සතිපතා හාස්‍ය වැඩසටහන් බොහෝමයක් නිෂ්පාදනය කළේය. මීට වසර විස්සකට පමණ පෙර සරසවිය පුවත්පතද මේ කාර්යබහුල අපූරු විකට රංගන ශිල්පියා සමඟ සතිපතා ප්‍රශ්නෝත්තර ලිපි මාලාවක් ප්‍රකාශයට පත් කළේය. එය "ටෙනිසන්ගෙන් අහන්න" නම් වේ. එකල එය පුවත්පතේ ජනප්‍රිය විශේෂාංගයක් විය. එහිදී පාඨකයන් ඉදිරිපත් කරන ප්‍රශ්නවලට ටෙනිසන් දුන් පිළිතුරු හාස්‍යජනකය.

ටෙනිසන් කුරේ ටෙලිනාට්‍ය සඳහා රංගනයෙන් දායක වී ඇත්තේ අතළොස්සකි. ඔහු ටෙලි නාට්‍ය රංගනයට පෞද්ගලිකව අකමැති අතර අතර චිත්‍රපට වැනි දැවැන්ත නිර්මාණ වලට සම්බන්ධ වීමට කැමැත්තක් දැක්වූවේය. ඔහු පවසන ආකාරයට චිත්‍රපටයක රඟපාලා ලබන තෘප්තිය ටෙලිනාට්‍ය සියයක් කළත් නොලැබෙයි. අධ්‍යක්ෂවරයාගේ ආධිපත්‍යය, වාණිජ හේතු නිසා ඇතැම් ටෙලිනාට්‍යය ශිල්පීන්ට වන අසාධාරණ මෙන්ම ටෙලි නාට්‍යවලින් චිත්‍රපටවල තරම් මානසික සුවයක් අත්නොවීම ටෙනිසන් ටෙලිනාට්‍ය රංගනයට නොපැමිණීමට හේතු ලෙස ඔහු දක්වා ඇත.

වර්තමාන සිනමාවේ ටෙලිනාට්‍යවල නාට්‍යවල පවතින ලොකුම ගැටලුවලින් එකක් වන්නේ හාස්‍ය රංගනය පවතින අඩුලුහුඩුකම්ය. හාස්‍ය රංගන ශිල්පීන් කොතෙකුත් සිටිය ද සිටියද හාස්‍ය රංගනය සඳහා නිර්මාණය තුළ කොතෙක් ඉඩකඩ වෙන් කළද එම නිර්මාණවලින් ප්‍රේක්ෂකයා හිනා වෙන්නේ නැත. හිනාවෙන්නේ හාස්‍ය රංගන ශිල්පියාය. ටෙනිසන් විශ්වාස කරන ආකාරයට කොමඩි යනු කිසිදා නොනැසී පවතින කල් අංගයකි. ගැටළුව ඇත්තේ එය නිසි ලෙස කරන්නට හාස්‍ය රංගන ශිල්පීන්ගේ නොහැකියාවයි.

"හැමදාමත් ලෝකෙ කොමඩි තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. අතීතයටත් වර්තමානයටත් අනාගතයටත් පොදු දෙයක් ඒක. කොමඩි කොහෙද වැටුණේ. කොමඩි වැටිලා නෑ අදත් හොඳ කොමඩි චිත්‍රපටවලට සෙනඟ ඉන්නවා. කොමඩි රැල්ල නෙමෙයි ප්‍රශ්නය. ඒ චිත්‍රපටවල තිබුණු ජපඥචබඪමඥ එකයි ප්‍රශ්නය. හොඳ නිර්මාණයක් නැතුව මිනිස්සුන්ට හිනා යන්නේ කොහොමද? සමහර චිත්‍රපට බලෙන් කොමඩි කරගන්නවා. 'හිනා වෙන්න බැරි නම් බලන්න එපා' කියලා පෝස්ටරේ තිබුණට හිනායන්නේ නැති නම් මොකක්ද කරන්නේ? දුක හිතෙනවා".

ඕනෑම කාර්යයකට ප්‍රශංසා මෙන්ම විවේචන හිමිය. හාස්‍ය රංගනයටද එම ධර්මතාව අදාළය. ටෙනිසන්ගේ රංගනය අගය කරන්නන් මෙන්ම ඔහුගේ රංගනය දැඩි ලෙස විවේචනය කරන්නන් ද සිනමා ප්‍රේක්ෂකයන් අතර නැතුවාම නොවේ. ඔහුගේ විකට ජවනිකාවලට කොක් කඬලා සිනහාවන්නෝම පසුව ඔහුගේ රංගනය දැඩි ලෙස විවේචනය කරති. විශේෂයන්ම කාන්තාව සම්බන්ධයෙන් කරන විහිළු, ලිංගිකත්වය අලළා කරන විහිළු සම්බන්ධයෙන් සිනමා ප්‍රේක්ෂකයන්ට බන්දු - ටෙනී යුවළ කෙරෙහි ඇත්තේ අප්‍රසාදයකි. ඒ ගැන ටෙනිසන්ගේ මතය මෙපරිදිය.

"ඇත්ත වශයෙන්ම මට තිබෙන ප්‍රධානතම චෝදනාව තමයි මගේ නිර්මාණ තුළ මම අසභ්‍ය වචන පාවිච්චි කරනවා කියන එක. නමුත් ඒ චෝදනාව මම පිළිගන්නේ නැහැ. මොකද භාෂාවේ තියෙනවා පිළිගත් අසභ්‍ය වචන කීපයක්. ඒ එකක්වත් මම පාවිච්චි කරන්නේ නැහැ. මම පාවිච්චි කරන්නේ ඩබල් මීනින් එහෙමත් නැති නම් දෙපැත්ත කැපෙන වචන පමණයි. යම්කිසි ආකාරයකින් හාස්‍ය රසයක් උපදවා ගන්නට අවශ්‍ය නම් දෙපැත්ත කැපෙන වචන භාවිත කරන්න පුළුවන්. අපේ සිංහල සාහිත්‍යයෙහි කොච්චර එහෙම දේවල් තියෙනවද?"

ටෙනිසන් කුරේ අවසාන වශයෙන් රංගනයට දායකවී ඇත්තේ නිශාන්ත වීරසිංහගේ අධ්‍යක්ෂණයක් සහ ජනිත මාරසිංහගේ නිෂ්පාදනයක් වන "ජය ශ්‍රී ඇමතිතුමා" චිත්‍රපටයටය. එය පසුගිය වසරේ සැප්තැම්බර් මස තිරගත විය.

දශක හතරකට අධික කාලයක් රටක් සිනහා සයුරේ ගිල්ලවූ ටෙනිසන් කුරේ නම් හසරංගවේදියා 2020 වර්ෂයේ සැප්තැම්බර් මස අග හෘද රෝගයක් හේතුවෙන් රෝහල්ගත විය. ඔහු හිතවත් කලා ශිල්පීන් පැවසූ ආකාරයට ඔහු අසනීප වී සිටියදී ඔහුව බලන්නට හිතවතුන් පැමිණෙනවාට ඔහු අකමැති විය. ටෙනිසන් සමඟ සිනාසුණු මතකය පමණක් හිතවතුන්ට ඉතිරි කරන්නට ඔහුට වුවමනා විය. රෝහල්ගත වී ප්‍රතිකාර ලබමින් සිට නොබෝ දිනකින් එනම් සැප්තැම්බර් මස 28 වැනිදා ඔහු මෙලොවින් සමුගත්තේ ඔහු සමඟ සිනාසුණු සියල්ලන්ගේම නෙතඟ කඳුළක් ඉතිරි කරමිනි. විස්මයට කරුණ නම් මියෙනතුරු හිනාවුණු, සියල්ලන්ම හිනැස්සවූ සිනාසෙන දෙනෙත් ඔහු කිසිවෙකුට නොදන්වා මිය යන්නට ප්‍රථම අක්ෂිදාන සංගමයට පරිත්‍යාග කිරීමය.

යුද්ධය, ආර්ථික, දේශපාලනික, සමාජීය ගැටලුවලින් මිරිකී පීඩා විඳී හිනැස්සවීම අපහසු මේ කොදෙව්වේ මිනිසුන් හිනැස්සවූයේ ටෙනිසන් කුෙර්ය. මුහුණ පුරා රැවුල වවා භාවයන් ප්‍රකාශ කරන්නට බැහැ යැයි කියූ සමයක එය බොරුවක් යැයි ඔප්පු කළේ ටෙනිසන් කුෙර්ය. සම්මත වේදිකාවේ න්‍යායන් රීතීන් විහිළුවට ගෙන එය තමාට අවැසි ලෙස සකසා නාට්‍ය කර සියල්ලන්ම සිනාගැන්වූයේ ටෙනිසන් කුෙර්ය. ප්‍රේක්ෂකයා වෙහෙසට පත් කරන බරපතළ ගණයේ දාර්ශනික විහිළු වෙනුවට වාචිකව කෝලම් කරමින් සියල්ලෝ සිනාසුණු විහිළු ටෙනීගේය. මුළු රටක් සිනා සයුරේ ගිල් වූ රසවතා වසංගතයකින් මුළු ලොවක් ඇළලී ගිය සමයක සමාජ දුරස්ථභාවය රකිමින් මිනිසුන් ආතතියෙන්, හුදෙකලාවෙන් පෙළන කාලයක සිනහව අත්‍යවශ්‍ය මොහොතක මෙලොවින් සමුගත්තේය. එනමුදු එලොව වාසීන් මේ දැනුදු ඔහුගේ විහිළුවලට ඉල ඇදෙනතුරු සිනහා වෙන බව ලියුම්කරුට ප්‍රත්‍යක්ෂය.