කොරෝනාට CHALLANGE කරපු කූඹියෝ

අප්‍රේල් 16, 2020

අපි මේක VIEWS ගන්න කරපු වැඩක් නෙවේ


ලක්මාල් ධර්මරත්න දක්ෂ නිර්මාණකරුවෙක්. කූඹියෝ ටෙලි සිතුවම අධ්‍යක්ෂණය කරමින් ඔහු ඒ බව පසක් කළා. කලාකරුවෙක් කියන්නේ සමාජ වගකීමක් දරන්නෙක් කියලා ලක්මාල් ඉකුත් දා සනාථ කළා. ඒ කොරෝනා වසංගතයෙන් මිදෙන්නෙ කොහොමද කියලා ජනතාව දැනුම්වත් කරන්න සිය නිර්මාණ ශක්තිය යොදා ගනිමින්. ඔහු ඒ වෙනුවෙන් අපූරු ප‍්‍රචාරක පටයක් තැනුවා. කූඹියෝ ඔස්සේ අතිශය ජනප‍්‍රිය වුණු චරිත තුනක් තමයි මෙහි රංගනයෙන් දායක වුණේ. කොරෝනාට එරෙහිව ගිය කූඹියෝ ගැන ලක්මාල් මේ වගේ අදහසක් තමයි අපිට කිව්වේ.

ලක්මාල් කොහොමද මේ කර්තව්‍යයට අඩිතාලම වැටෙන්නේ?

අපේ ජෙහාන්, තුමිදු දොඩන්තැන්නගේ හිතවත් ඩොක්ටර් කෙනෙක් ඉන්නවා අචල ජයතිලක කියලා. ඔහු තුමිඳුගෙන් අහලා තියනවා නිර්මාණකරුවෝ විදිහට මේ වෙලාවේ මොනවා හරි දෙයක් කරන්න පුළුවන්ද කියලා. ඔය පණිවුඩය මට ලැබුණාම මම ටිකක් කල්පනා කළා. පළමු ගැටලූ‍ව වුණේ අපි කාටවත් එළියට බහින්න බැරිකම. ඒක වෛද්‍යතුමන්ම විසඳලා දුන්නා. මම ඊට පස්සේ හිතපු ප‍්‍රධානම කාරණය මෙන්න මේකයි. නාගරික මට්ටමෙන් කොරෝනාව ගැන, ඒකෙන් මිදෙන විදිහ ගැන බහුතරයක් දැනුම්වත් වෙලා ඉන්නේ. ෆෙස්බුක් එක හරහත් මේ සම්බන්ධව Post share වෙනවා. හැබැයි ග‍්‍රාමීය මට්ටමෙන් මේ දැනුම්වත්භාවය හරිම අඩුයි කියලායි මට පෙනුණේ. අන්න ඒ අයගේ මනසට කතා කරන්න උත්සහ කිරීමක් මේ කළේ.කූඹියෝ නාට්‍යයේ තුමිදු,කළන සහ උදාර මේකේ රඟපෑවා. ඒවා මිනිස්සු අතර තිබුණු චරිතනේ. එතකොට ඇහැ යන ප‍්‍රමාණයත් වැඩියි.

ප‍්‍රචාරක පටයක් release වුණාට පසුව මොනවගේ ප‍්‍රතිචාරයක්ද ලැබුණේ?

අපි මේක views ගන්න කරපු වැඩක් නෙවේ. කලාකරුවකු විදිහට මේ වෙලාවේ මොනවද අපිට කරන්න පුළුවන්. සුනාමි, ගං වතුර, නියඟ වගේ වෙලාවක නම් එළියට බැහැලා උදව් පදව් කරන්න යන්න හැකියාව තිබුණා. මේ එහෙම කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. සමාජ වගකීමක් හැටියට දෙයක් කළා. ප‍්‍රතිචාර හුඟක් හොඳයි. රජයේ වගකිව යුතු web පිටුවලට පවා මෙය අරගෙන තියනවා. views ගාන වැඩි වුණාට සතුටුවෙන්න පුළුවන් වෙලාවක් නෙවෙයි මේක. මම දැක්කා ජැක්සන් ඇන්තනී, රවීන්ද්‍ර රන්දෙණිය වගේ ප‍්‍රවීණයන් coments එකතු කරලා තිබුණා.

මෙම නිර්මාණයට දායක වුණු පිරිස මතක් කළොත්?

බොරැුල්ලේ මගෙ යාළුවෙකුගේ office එකක තමයි shoot කළේ. කළිඳු සිවරාජ් camera director light එකක්වත් අපි පාවිච්චි කළේ නැහැ.කවුරුවත් නැහැනේ මේ දවස්වල වැඩකට ගන්න.සියලූ‍ සම්බන්ධීකරණ කටයුතු සිදු කළා ඩොක්ටර් අචල. ඔහු කොළඹ පශ්චාත් වෛද්‍ය විද්‍යා උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයකුද වනවා. ප‍්‍රචාරක පටය edit කළේ මමමයි.

මේ විරාමය ලැබෙන්න කලින් ඔබ මොනවගේ කාර්යයන්වලද නියැලිලා හිටියේ?

චිත‍්‍රපටයක් රූපගත කිරමින් හිටියේ. කූඹියෝ දෙවැනි කොටසත් කරන්න සැලසුම් කරමින් ඉන්නවා. මට තව පොඩි දෙයක් කියන්න තියනවා මේ වෙලාවේ. හැකියාවක් තියනවද.

ඔව්,ඔබට පුළුවන්....

අපි මේ දවස්වල ගෙදරනේ ඉන්නේ. මේ තත්ත්වය මත හරිම හුදකලාවක් මිනිස්සුන්ට දැනෙනවා. වෛද්‍යවරුන්,ආරක්ෂක අංශයේ අය ඇතුළු බොහෝ දෙනෙකු තමන්ගේ වගකීම් ඉටුකරමින් ඉන්නවා. මේ වෙලාවේ නිකම්ම ඉන්නවාට වඩා අපිටත් වගකීමක් තියනවා. මගේ වචනයෙන් කියනවානම් පොඩි ආතල් එකක් දෙන්න සමාජයට. ගායකයෙන් ගායිකාවක් ඉන්නවානම් සිංදුවක් කියලා සමාජ මාධ්‍යට දාන්න පුළුවන්. ලස්සන නිළියෙක් ඉන්නවානම් තමන්ගේ පින්තූර දෙකතුනක් එක්කරන්න පුළුවන්නම් ඒකත් වටිනවා මේ වෙලාවේ.