ඒ කොල්ලො තුන්දෙනා ගමට කරදරයක්...

ජනවාරි 14, 2021

නාඩගම්කාරයෝ, අග්නි පියාපත් නිෂ්පාදක චාමර සමරවික්‍රම

 

එළැඹෙන 18 වැනිදා සිට ස්වර්ණවාහිනී නාළිකාව ඔස්සේ තවත් අලුත් ටෙලි සිතුවමක් විකාශය වීම ආරම්භ වේ. එය නම් කොට ඇත්තේ නාඩගම්කාරයෝ යනුවෙනි. ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයක් වන එහි නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ චාමර සමරවික්‍රමයි. රේඛීය නිෂ්පාදකවරයෙකු ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඔහු පසුකාලීනව ටෙලි නිෂ්පාදකවරයෙකු විදිහට සිය ගමන වෙනස් කරනු ලබයි. මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන අග්නි පියාපත් ටෙලි සිතුවමද චාමරගේ නිෂ්පාදනයකි. මේ ඔහුගේ අලුත් ටෙලි සිතුවම සහ ඔහු පිළිබඳ කෙරෙන්නාවූ සාකච්ඡාවකි.

 

අපි පළමුව කතා කරමු නාඩගම් කාරයෝ ටෙලි සිතුවම ගැන?

එක්තරා ගමක ඉන්නවා තරුණ පිරිමි ළමයින් තුන් දෙනෙක්. සජිත අනුත්තර, සංගීත් ප්‍රභූ සහ විරාජ් ධනූෂ තමයි ඒ චරිත රඟපාන්නේ. මේ අය ගමේ ජීවත් වෙන්නේ නොයෙක් අකටයුතුකම් කරමින්. මේ හේතුවෙන් ඔවුන්ගේ ක්‍රියාකලාපය ගමේ පිරිසට මහත් තර්ජනයක් හිරිහැරයක් වෙනවා. ගමේ තියනවා නාඩගම් පිළිබඳ උගන්වන පන්තියක්. ගමේ පිරිස මැදිහත් වීමෙන් ඔවුන් එතෙන්ට යනවා. මේ කොල්ලො තුන්දෙනා යහමඟට ඒවි කියලා හිතාගෙන තමයි එතනට යවන්නේ. ඔන්න ඔය වගේ කතාවක් තමයි නාඩගම්කාරයෝ සඳහා ඇතුළත් වෙන්නේ. ටිකක් කමඩි ටච් එකකුත් තියෙනවා. 18 වැනිදා සිට ස්වර්ණවාහිනී නාළිකාවේ රාත්‍රී 9.30ට විකාශය වෙනවා.

 

ඔබ ටෙලි නාට්‍ය නිෂ්පාදනයට පිවිසුන අන්දම මතක් කළොත්?

නිෂ්පාදන කළමනාකරුවකු ලෙස තමයි මුලින්ම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. පසුව රේඛීය නිෂ්පාදකවරයෙක් ලෙස නාට්‍ය රැසක වැඩ කළා. සිටුමැදුර තමයි එහෙම වැඩ කරපු පළවෙනි නිර්මාණය. ඉන් අනතුරුව සද්ධාමංගල සූරියබණ්ඩාර සමඟ එක්ව මාත්‍රා නිෂ්පාදන ආයතනය පිහිටුවා ගැනීමත් සමඟම ටෙලි නාට්‍ය නිෂ්පාදන කටයුතු ආරම්භ කළා.

 

ඔබ නිෂ්පාදනය කළ නාට්‍ය වැඩිපුර විකාශය වී තිබෙන්නේ ස්වර්ණවාහිනියෙ නේද?

ඇත්තෙන්ම ඔව්, ගොඩක් නාට්‍ය ස්වර්ණවාහිනීයෙ තමයි විකාශය වුණේ. ඊට අමතරව ස්වාධීන රූපවාහිනිය, ජාතික රූපවාහිනිය හා හිරු ටීවී නාළිකාවලත් විකාශය වෙලා තිබෙනවා.

 

ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් සහ තිර කතා රචක සද්ධාමංගල සූරියබණ්ඩාර සමඟ තමා ඔබ වැඩියෙන්ම නිෂ්පාදනය පැත්තෙන් දායක වුණේ. කොහොමද ඒ මුසුව සිදුවුණේ?

2012 වසරදී වගේ තමයි සිවගුරුනාදන් මහතා සමග වැඩ කරන්න පටන් ගත්තෙ. මුලින්ම කළේ මුතුපලස ටෙලි නාට්‍ය, සද්ධාමංගල සූරියබණ්ඩාර මහතා හඳුනාගන්නේ 2010 වර්ෂයේ සුදු ගින්දර ටෙලිනාට්‍යත් සමඟ. මේ දෙදෙනා සමග කළ ප්‍රථම නිර්මාණය තමයි කළු අරලිය ටෙලි නාට්‍යය. ඒක 2012 වර්ෂයේ මම නිෂ්පාදනය කළේ. එතැන් සිට මේ දක්වා අඛණ්ඩව අපි තිදෙනා විවිධ නිර්මාණ රැසක් නිර්මාණය කර තිබෙනවා. හාරකෝටිය ඒ අතරින් විශේෂයි. ඒ අවුරුද්දේ ජනප්‍රියම නළුවා බිහිවෙන්නෙත් එකෙන්. ඒ වගේම එහි රඟපෑ බොහෝ පිරිසත් අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. නාට්‍යයත් ප්‍රේක්ෂයින් වැලඳ ගත්තා. ටෙලිනාට්‍ය තේමා ගීතය, හීන තිබුණට කෝටියක් අතේ නෑ එක රුපියලක්... ඒකත් අද වෙනතුරු ඉතා ජනප්‍රිය මට්ටමේ තියනවා. ‍ඒ ලැබුණු ප්‍රතිචාරත් එක්ක ඒකේ දෙවන කොටස තමයි කෝටිපතියෝ ලෙස නිෂ්පාදනය ආරම්භ වෙන්නේ. ඒකත් ඉතා සාර්ථකව ප්‍රේක්ෂකයින් වැලඳ ගත්තා. ඒ ටෙලිනාට්‍යවල විකාශන කටයුතු අවසන්වීමෙන් කාලයකට පසුවත් බොහෝ දෙනා ඒ ගැන කතාබහ කරමින් ප්‍රතිචාර දක්වනවා.

 

අද ආදරය සරලවම තේමා කරගත් ටෙලි නිර්මාණ බිහිවන යුගයක්. අග්නි පියාපත් වැනි ටෙලි නාට්‍යය තුළින් ප්‍රේක්ෂකයින් නව මාවතක් කරා‍ රැගෙන යනවා නේද?

ඇත්තටම අග්නි පියාපත් නාට්‍යයේ රචකයාගේ, නළු නිළියන් හා අධ්‍යක්ෂකවරයාගේ දක්ෂතාව තමා ඊට ප්‍රධාන හේතුව කියලා මට හිතෙන්නේ. සද්ධා මංගලසූරියබණ්ඩාර රහස් පරීක්ෂක කතා ලියන්න හරිම දක්ෂයෙක්. ඒ වගේම තමා සිවගුරුනාදන් මහතාගේ අධ්‍යක්ෂණයත්. අපරාධ කතාවක් මූලික කරගනිමින් ඊට යටින් දිවයන ආදර කතාවක් එක්ක තමා මේ අග්නි පියාපත් ටෙලිනාට්‍ය ගලාගෙන යන්නේ. මේ දිනවල ස්වර්ණවාහිනියෙ රාත්‍රී 8.30 විකාශනය වෙනවා. මුලින්ම එය රාත්‍රී 7.30ට තමා විකාශය වුණේ. ප්‍රේක්ෂකයින්ගේ ඉල්ලීම මත

ඒකේ වෙලාව වෙනස් කළා. දැන් රාත්‍රී 8.30ට අග්නි පියාපත් විකාශය වෙන්නේ.

 

ඔබේ ටෙලිනාට්‍යවලත් පොදුවේ එකම නළු නිළි පිරිසකට සීමා වෙලා වගේ පේනවා?

ඒක ඒ විදියටම කියන්න අමාරුයි. මුලින්ම කරන්නේ පිටපතට අනුව ගැළපෙනම නළු නිළියන් තෝරා ගන්නා එක. නළු නිළියන් තෝරා ගැනීමේදී කලින් නිර්මාණයේ හිටියාද නැද්ද කියන එකට වඩා අපි බලන්නේ පිටපතට අනුව වඩාත් ගැළපෙන්නෙ කවුද කියන එකයි. නවකයිනුත් බොහෝ පිරිසක් මගේ නිර්මාණ හරහා ක්ෂේත්‍රයට පිවිසිලා තිබෙනවා.

ඒ නිසා ප්‍රවීණ තරුණ කියලා භේදයක් නැතිව හැමෝටම මගේ ටෙලිනාට්‍යය ඔස්සේ අවස්ථාව ලැබෙනවා.