ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ බිරිය මියයයි

නොවැම්බර් 22, 2018


චිත්‍රපට හා රූපවාහිනී අධ්‍යක්ෂ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ භාර්යාව වූ භද්‍රා නවරත්න ප්‍රනාන්දු මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. ඇය මිය යන විට දරුවන් දෙදෙනකුගේ මවකි. දේහය නාරම්මල පාරේ කුලියාපිටිය නිිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (22) නාරම්මල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

********************

ජන රිද්ම ගායනා වෘන්දය සඳහා නවකයන්

ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සංගීත පාලක, සජ්ජන රසික සංසදයේ කැඳවුම්කරු ප්‍රවීණ සංගීතවේදී රංජිත් බාලසූරිය මහතා විසින් මෙහෙයවනු ලබන ජන රිද්ම ගායන වෘන්දය සඳහා මේ දිනවල නවකයන් බඳවා ගැනේ.

වයස් භේදයකින් හා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින ගායන හැකියාව ඇති අයට මේ සඳහා අයදුම් කළ හැකිය.

රංජිත් බාලසූරිය 10/ඕ/66/අ, රද්දොළුගම ලිපිනයට ලියා හෝ 071-4761720 යන දුරකතන අංකය අමතා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

*****************

2017 වසරේ කවි පිළිබඳ විග්‍රහයක් ‘කවි සාර දීපනී’ කාව්‍ය විචාර

ප්‍රවීණ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර විසින් රචිත 'කවි සාර දීපනී' කෘතිය 2017 වසරේ ප්‍රකාශිත සිංහල කාව්‍ය ග්‍රන්ථ පිළිබඳ තුලනාත්මක විග්‍රහයකින් යුතුය. 'සන්ථව කාව්‍ය විචාර සම්මාන 2018' තරගයේදී සම්මානයට පාත්‍රවුණ විචාර සහ එහි දෙවැනි හා තෙවැනි ස්ථාන දිනාගත් විචාර ත්‍රිත්වයද මේ කෘතියට ඇතුළත්ය.

*******************

නොලද ආදරයක් ‘අනුෂ්කා’

ඕස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස්හි පදිංචි සමන් මහානාම දිසානායක මහතා ලියූ අලුත්ම නවකතාව 'අනුෂ්කා' එළඹෙන 27 වැනි අඟහරුවාදා උදේ 10.00 ට කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී ජනගත කෙරේ.

නොලද ආදරයක් බලහත්කාරයෙන් හෝ ලබා ගැනීමට උත්සාහ කළ ධනවත් තරුණයකුගේ කතාවක් 'අනුෂ්කා' නවකතාවට පාදක වී ඇත. එසේ වුව ද ආදරය නිසා සිටු මැදුර හැර ගිය තරුණියකගේ කතාවක් ද, තම ආදරය පැහැර ගැනීම නිසා ද්වේශයෙන් කටයුතු කරන තරුණයකුගේ තොරතුරු ද මෙහි අතුරු කතා වෙයි.

********************

අන්තර්ජාලයෙන් මුද්‍රණ ලොවට එන ‘මල් වඩම් සිනාසිය යුතුය’

දිගු කලක් අන්තර් ජාලය ඔස්සේ කවි ලියමින් කතාබහට ලක් වූ කිවිඳියක වන දිනූ රාජගුරුගේ පළමු කාව්‍ය සංග්‍රහය වූ 'මල් වඩම් සිනාසිය යුතුය' කෘතිය පසුගිය දින එළි දැක්විණි. ඉතා සියුම් ප්‍රතිභාවක් ඔස්සේ සිය කවිය වෙත ආලෝකය ලබාගන්නා දිනූ රාජගුරු කිවිඳිය භාෂාව ඉතාමත් සුමට හසුරුවා ඇත.