කීර්ති පැස්කුවල් මුල් වී මහා පුණ්‍යකර්මයක් ඇට මිදුලු බද්ධ කිරීමේ ඒකකයකට මුල පිරෙයි

ජනවාරි 10, 2019

ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් ඉකුත් දිනයකදී මහඟු සද්කාරයකට මුල පිරුවේය. ඔහුගේ වචනවලින් එය මෙසේ සඳහන් කළ හැකිය.

'පිළිකා රෝගීන් වෙනුවෙන් යමක් කරන්නට ඕනෑ කියන අදහස කාලයක් තිස්සේ මට තිබුණා. අන්ත දිළිඳු පවුලක කෙනෙකුට එවැනි රෝගයක් වැලඳුණාම හරියට ප්‍රතිකාර කරගන්න ක්‍රමයක් නැහැ. බොහෝ විට හරියට බෙහෙතක්හේතක් ගන්නවත් ප්‍රමාණවත් මුදලක් නැති වෙන්න පුළුවන්. ඔවුන් පිළිබඳ මහත් වූ සංවේගයක් මට තියෙන්නේ. මේ වෙලාවේ මට හිතුණා මගේ කීර්ති නාමය මෙන්ම මට තිබෙන සබඳතා ප්‍රයෝජනයට ගෙන අරමුදලක් හදලා පිළිකා රෝගීන් වෙනුවෙන් යමක් කරන්න. මට අවශ්‍ය වුණේ විශේෂිත ස්කෑන් මැෂින් එකක් ගේන්න. ඒකට ලක්ෂ අටසියයක් පමණ වැය වෙනවා.

මේ අදහස විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහත්මයාට මං කිව්වා. ඔහු ඒ වේලාවේ සඳහන් කළේ ඒ මැෂින් එකට වඩා අවශ්‍යතාවයක් තියෙනවා,

ඒ වෙනුවෙන් අරමුදල හදන්න කියලා. අපේ රටේ පිළිකා රෝගීන්ට තිබෙන ඇට මිදුලු බද්ධ කිරීම් ඒකකය ඉතාම ප්‍රාථමිකයි. ඉතාම නවීන තාක්ෂණයෙන් යුතු ඇට මිදුලු බද්ධ කිරීමේ ඒකකයක් හදමු කියලයි වෛද්‍යවරයා කිව්වේ. ඊට වැයවෙන මුදල ලක්ෂ හාරසියක් පමණයි. ඔහු ඇතුළු මගේ ව්‍යාපාරික මිතුරු මිතුරියන් එක්කාසු කරගෙන මං මේ අරමුදල පිහිටුවන්න සංවිධානයක් හැදුවා. හෙල්ප් සර්කල් ප්‍රාර්ථනා නමින් තමයි අරමුදල නම් කළේ. කොතලාවල වෛද්‍ය පීඨ පරිශ්‍රයේදියි මෙම ඒකකය ගොඩ නැඟෙන්නේ. මේ වන විට දහසකුත් දෙනා ප්‍රාර්ථනා ශක්තිමත් කරගන්න එකතු වෙලා ඉන්නවා.

මේ වෙනුවෙන් අපි සංගීතමය ප්‍රසංගයක් සංවිධානය කළා. ආචාර්ය වික්ටර් රත්නායක, ටී. එම්. ජයරත්න, අමරසිරි පීරිස්, කසුන් කල්හාර, රූකාන්ත ගුණතිලක, මරියසෙල් ගුණතිලක, ඇනෙස්ලි මාලේවන, කොරින් අල්මේදා, සමිතා මුදුන්කොටුව, ජානක වික්‍රමසිංහ, මිහිඳු ආරියරත්න සහ මම එහි ගීත ගායනා කරනවා. ලංකාවේ මේ වන විට වසරක් තුළ ඇට මිදුලු ශල්‍යකර්මය කර ගැනීමට නොහැකි පන්සීයක් පමණ දෙනා මිය යනවා. අප මේ ඒකකය තුළින් ශල්‍යකර්ම සහ සියලු ප්‍රතිකාර නොමිලයේ කරන්නේ. අඩුම තරමේ එතකොට අපට වසරකට රෝගීන් සියදෙනකුවත් බේරා ගන්න පුළුවන් වේවි..

0717376565 යන අංකයෙන් මේ පිළිබද වැඩි විස්තර විමසිය හැකීය.

   

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.