චාල්ස් රණතුංග ගේ සිතුවම් දැක්ම ‘ශ්‍රී’

ජනවාරි 17, 2019

චාල්ස් රණතුංග විසින් පවත්වන සිතුවම් දැක්ම ‘ශ්‍රී’, ජනවාරි 18, 19, 20 සහ 21 වැනිදා කොළඹ 07, ලයනල් වෙන්ඩ්ට්හිදී පැවැත්වේ. චිත්‍රකලා ගුරුවරයකු ලෙසින් කලක් සේවයේ යෙදී බස්නාහිර පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙසින් කටයුතු කළ චාල්ස් රණතුංග දශක පහකට ආසන්න කාලයකට පසු පවත්වන ඔහුගේ දෙවන සිතුවම් දැක්ම වන මෙම සිතුවම් දැක්මට ඔහුගේ බිරිය ඩී. ඒ. සී රූපසිංහ සහ දියණිය ශ්‍යාමා ඉන්දුමතී රණතුංගගේ සිතුවම් ද ඇතුළත්. චාල්ස් රණතුංග මෙම සිතුවම් දැක්ම පිළිබඳ තොරතුරු පැවසුවේ මෙලෙසින්

‘ශ්‍රී’ සිතුවම් දැක්මේ ඇතුළත් සිතුවම් සහ ඒ සඳහා භාවිත කළ මාධ්‍යයන් මොනවාද?

දිය සායම්, ඇක්‍රලික් සායම් සහ තෙල් සායම් චිත්‍ර මෙම ප්‍රදර්ශනයට ඇතුළත්. තේමාවන් ලෙසින් සඳහන් කළහොත් බෞද්ධාගමික සිතුවම්, පාරම්පරික සිතුවම්, ලියවැල් ආශ්‍රිත මෝස්තර නිර්මාණ සහ නව චිත්‍ර කලාව යටතේ සිතුවම් රැසක් එහි අඩංගු වෙනවා.

මෙම සිතුවම් දැක්මට ඔබගේ ආදරණීය බිරිය සහ දියණියගේ සහභාගිත්වය ගැනත් කියමු?

මගේ බිරිය හඳුනා ගත්තේ හේවුඩ්හි චිත්‍රකරණය පිළිබඳ හදාරමින් සිටියදීයි. ඇයත් චිත්‍ර කලාව පිළිබඳ උපාධි ගුරුවරියක්. 1970 දී පමණ මගේ පළමු චිත්‍ර ප්‍රදර්ශනයට ඇයගේ දායකත්වයත් ලැබුණා. දියණිය ශ්‍යාමා ඉන්දුමතී රණතුංග ලින්ඩ්සේ බාලිකා විදුහලේ චිත්‍ර හා හින්දි භාෂාව උගන්වන ගුරුවරියක්. බිරිය විසින් සිතුවම් කළ ඇක්‍රලික් සිතුවම් සමඟින් ක්‍රොස්ටික්ස් මෝස්තර නිර්මාණත් මෙහි ප්‍රදර්ශනය කෙරෙනවා.

චිත්‍ර කලාවට යොමුවීමට බලපෑ විශේෂ හේතුවක් ඇති?

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ චිත්‍ර ශිල්පයෙහි දක්ෂ මගේ මාමා කෙනෙකු හිටියා. මා චිත්‍ර කලාවට යොමු වන්නට මුල් වූ ප්‍රධාන කාරණය ඔහුගේ ආභාෂය යි. ඒ වගේම ප්‍රවීණ චිත්‍ර ශිල්පී හෙන්රි ධර්මසේන විසින් සිතුවම් කළ අත්තිඩිය තොරණ තවත් හේතුවක්. බුදු පිළිම සිතුවම් කිරීම ඉගෙන ගත්තේ සාර්ලිස් මාස්ටර්ගේ පුත්‍රයෙකු වන එම්. නෝබට්ගෙන්. සෝමබන්දු විද්‍යාපතිගෙන් චිත්‍රකලාවට අමතරව වේදිකා නාට්‍ය පසුබිම් සැකසුම, වේශ නිරූපණය වැනි දේත් ඉගෙන ගත්තා. මගේ ගුරුවරියක වන මානෙල් අලුත්වල මහත්මිය තමයි මට හේවුඩ් එකට යන්න උපදෙස් දුන්නේ. එතැනින් ම‍ගේ චිත්‍ර හැකියාව විධිමත් අයුරින් වර්ධනය කර ගන්න හැකි වුණා. නමුත් පසුව ගුරු පත්වීම් සමඟින් දුෂ්කර පළාත් රැසකට මාරුවීම් ලැබුණු නිසා ප්‍රදර්ශනයක් වෙනුවෙන් කාලය සොයා ගැනීම තරමක් අපහසු වුණා.

‘ශ්‍රී’ සිතුවම් දැක්මේ අරමුණ කුමක්ද?

මේ වන විට චිත්‍ර කලාව පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තිබෙනවා. කෞතුකාගාර පරිශ්‍රයේ පැවැත්වෙන පාරම්පරික චිත්‍ර පාඨමාලාවට විවිධ ක්ෂේත්‍රයන් ගෙන් රැකියාවන්හි නිරත බොහොමයක් දෙනා පැමිණෙනවා. චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන ලෙස එහි සිසුන්‍ ගෙනුත් විශේෂ ඉල්ලීමක් කෙරුණා. බොහෝ කාලයකින් චිත්‍ර ප්‍රදර්ශනයක් නොපැවැත්වීමේ අඩුවත් මට තදින්ම දැනුණු දෙයක්. බිරිය සහ දියණියගේ අදහස් වුණෙත් ප්‍රදර්ශනයක් කරමු කියන එකයි.

චිත්‍ර කලාවට පමණක් නොව ඔබ සංගීතයටත් ලැදියි?

මම සංගීත ක්ෂේත්‍රයට යොමු වුණේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් හඳුනා ගැනීම සමඟින්. හින්දි භාෂාවත් ප්‍රගුණ කළා. මෑතකදි ගුවන්විදුලි සංස්ථාවේ සරළ ගි පරීක්ෂණයටත් පෙනී සිටියා. ඉදිරියේදී චිත්‍ර ප්‍රදර්ශනයක් සමඟින් හින්දි ගී ප්‍රසංගයකුත් පවත්වන්න අදහස් කරගෙන සිටිනවා. ‍සිතුවම් දැක්ම පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට කැමැති අයහට 0112893523 හෝ 0711886834 අංක ඇමතීමෙන් ලබා ගත හැකියි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.