ඇගේ ඇසින් ලෝකය දකිමු

Colombo International Women's Film Festival
පෙබරවාරි 28, 2019

සිනමා ක්ෂේත්‍රයේ කාන්තා දායකත්වය දෙස අවධානය යොමු කරමින් කාන්තාවන් වෙනුවෙන් වෙන් වුණු සිනමා උලෙළක් අද (පෙබරවාරි 28) වැනිදා සිට මාර්තු 07 වැනිදා දක්වා කොළඹදී පැවැත්වේ. මේ වෙනුවෙන් රටවල් රැසක් නියෝජනය කරමින් වෘත්තාන්ත, කෙටි සහ වාර්තා චිත්‍රපට, ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාව ප්‍රධානව, ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානය, අමෙරිකානු සංස්කෘතික මධ්‍යස්ථානය සහ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී තිරගත කිරීමට කටයුතු යොදා ඇත. මෙම චිත්‍රපට උලෙළේ නිර්මාණාත්මක අධ්‍යක්ෂ අනෝමා රාජකරුණා ඒ පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසින්.

කොළඹ ජාත්‍යන්තර කාන්තා චිත්‍රපට උලෙළ පිළිබඳ කෙටි හැඳීන්වීමක් කළොත්?

'ඇගේ ඇසින් ලෝකය දකිමු' තේමාව යටතේ කොළඹ ජාත්‍යන්තර කාන්තා චිත්‍රපට උලෙළේදී රටවල් 15ක් පමණ නියෝජනය කරමින් චිත්‍රපට 40ක් පමණ තිරගත කරන්න සූදානම්. මෙහි තිරගත කෙරෙන සියලුම චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබෙන්නේ කාන්තාවන් විසින්. උලෙළ ආරම්භ වන්නේ  Little Harber නම් සම්මාන ලාභි ස්ලොවැකියානු චිත්‍රපටයෙන්. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙසින් පැමිණෙන්නේ හෙළ සිනමා කිවිඳිය සුමිත්‍රා පීරිස් මහත්මිය. මාර්තු 03 වැනිදා දීපා මෙහෙතාගේ Anatomy of Violence  චිත්‍රපටයෙන් පසු කාන්තාව සහ ප්‍රචණ්ඩත්වය මැයෙන් සහ 04 වැනිදා ෆාතිමා ශනාස්ගේ  Halal වාර්තා චිත්‍රපටයෙන් පසු කාන්තාව හා සාමය මැයෙන් සංවාද ද්විත්වයක් පවත්වන්නට නියමිතයි. උලෙළේ සමාප්තිය සටහන් කරන්නේ සුමිත්‍රා පීරිස් මහත්මියගේ වෛෂ්ණාවී චිත්‍රපටයෙන්. මෙහිදී යාවජීව සම්මානයක් පිරිනමන්නත් කටයුතු යොදා තියෙනවා. සිනමාව තුළ දායකත්වය වෙනුවෙන් එය පිරිනමන්නේ, සුමිත්‍රා පීරිස් මහත්මිය වෙතයි. මෙය කාන්තාවන් වෙනුවෙන් කාන්තාවන් සංවිධානය කරන චිත්‍රපට උලෙළක්.

අපේ රටේ සිනමාව ගත් විට කාන්තා දායකත්වය සුවිශේෂයි?

ලංකාවේ සිනමාවේදී විශේෂයෙන් කැමරාවේ පිටුපස සිටින කාන්තාවන් ගැන කතා කරනවිට හමුවන්නේ අතළොස්සක්. රෝහිණි ජයකොඩි රූබි ද මෙල් වගේ ඒ කාලේ සිනමාවේ කැමරාව ඉදිරිපිට සිටි කාන්තාවන් පසුව අධ්‍යක්ෂණයට පිවිසියා. එයින් පසු කාලයක සුමිත්‍රා පීරිස් සිනමාවට පිවිසියා. මාලිනි ෆොන්සේකාගේ පැමිණීමෙන් පසු ඉනෝකා සත්‍යාංගනී සුළං කිරිල්ලි සමඟින් සිනමාවට පැමිණියා. ලෝක සිනමාව ගත් විට ද මෙහි විශාල වෙනසක් පවතින්නේ නැහැ. ප්‍රතිශතවක් විදියට ගත් විට සිනමාවේ ආරම්භයේ සිට අද දක්වාම හොලිවුඩ් සිට බොලිවුඩ් දක්වා ගත් විට කාන්තා දායකත්වය ඉතාම සුළු පිරිසක්. කලාත්මක සිනමාවේ කාන්තා දායකත්වය ඉහළ මට්ටමක පවතින බව පෙනෙනවා. එම නිර්මාණ ලංකාවේ පැවති සිනමා උලෙළවල ප්‍රදර්ශනය කරන්න අධ්‍යක්ෂවරියක ‍විදියට මගේ උත්සාහයන් සාර්ථක වෙලා තියෙනවා.

මෙවැනි සිනමා උලෙළක් පැවැත්වීමේ අරමුණ?

සිනමාව ගත්විට වෘත්තාන්ත සිනමාව වගේම වාර්තා සිනමාව, කෙටි චිත්‍රපට යන මේ ක්ෂේත්‍ර තුනේම කාන්තා‍ දායකත්වයක් විශේෂයි. අපේ රටේ වාර්තා සිනමාවේ කාන්තා දායකත්වය අඩුයි. ඩිජිටල් යුගයේ කෙටි චිත්‍රපට නිර්මාණකරණයේදී තරුණියන්ගේ දායකත්වය ඉහළ මට්ටමක තිබෙන බව පේනවා. විශේෂයෙන් සිනමා පිළිබඳ අධ්‍යයනය, පුහුණුව, කාර්මික අංශයේ මෙන්ම නිෂ්පාදනයේත් කාන්තා උනන්දුව ඉහළයි. විශේෂයෙන් කෙටි සහ වාර්තා චිත්‍රපට අංශ ගත්විට ඔවුන් විසින්කළ සිනමා නිර්මාණ යම් විදියකින් සමාජගත වීමේ අවශ්‍යතාවක් ද පවතිනවා.

ඒ අනුව කාන්තාවන්ගේ සිනමාව ගත් විට එම අභියෝග මොනවාද යන්න කතාබහ කරන්නත් මේ අවස්ථාව අපි උපයෝගි කර ගන්නවා. ක්ෂේත්‍රයේ සිටින විචාරිකාවන්, චිත්‍රපට නිර්මාණකාරියන්, නිළියන් මේ සමඟින් අත්වැල් බැඳගෙන සිටිනවා. මේ වෙනුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුවියන්ගේ ද ලොකු දායකත්වයක් තියෙනවා. උලෙළේ තිරගත කිරීමට නියමිත බොහොමයක් චිත්‍රපට ඔවුන්ගේ අධ්‍යක්ෂණයන්.

ලෝක සිනමාව ගත් විට කාන්තා චිත්‍රපට උලෙළ කියන්නේ අනෙකුත් උලෙළවලට සාපේක්ෂව සුළු පරිමාණයේ ඒවා. ලෝක සිනමාවේ පවා ඒවා පවතින්නේ ප්‍රධාන ධාරාවෙන් පිටතයි. ඔස්කාර් සම්මාන උලෙළ ගත් විට එහි හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය හිමි වී තිබෙන්නේ එක් කාන්තාවකට පමණයි. එක්තරා විදියකින් කාන්තාවන්ගේ සිනමාව කුමක් ද යන්න ප්‍රේක්ෂකාගාරයට තේරුම් ගැනීමට මෙය හොඳ අවස්ථාවක් වේවි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.