හදිසියේ වියෝ වූ සරත් නාමල්ගම

මාර්තු 21, 2019

වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපට රංග ශිල්පියෙකු මෙන්ම ටෙලි නාට්‍ය නිෂ්පාදකයකු වූ සරත් නාමල්ගම ඉකුත් 13 වැනිදා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් නිසාවෙන් කළුබෝවිල මහ රෝහලේදී සිය ජීවන ගමනෙන් සමු ගත්තේය. මිය යන විට 61 වන වියේ පසු වූ ඒ මහතා රංගන ශිල්පිණී මනීෂා ශ්‍යාමලීගේ දයාබර ස්වාමි පුරුෂයා ද විය.

කොළඹ ඉසිපතන විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සරත් වඩාත් ඇලුම් කරනු ලැබුවේ වෛද්‍යවරයකු වීමටය. එහෙත් දෛවය ඔහුට ඒ සඳහා මංපෙත් විවර කර දුන්නේ නැත. පාසල් අධ්‍යාපනය අවසන් කරනවාත් සමඟම ඔහුට මහජන බැංකුවේ රැකියාවක් ලැබිණි. එහි වසර පහළොවක් පමණ සේවය කළ සරත් නාමල්ගම පූර්ණකාලීනව කලාවට අවතීර්ණ වීමත් සමඟ බැංකු රැකියාව ඔහුට අහිමි විය.

පාසල් අවධියේ දිනක කොළඹ සුදර්ශී ශාලාවේදී චන්ද්‍රා කළුආරච්චි මහත්මිය සරත්ට අහම්බෙන් හමුවීමත් සමඟ ගුවන් විදුලියේ මුවන් පැලැස්ස නාට්‍යය පටිගත කරන අයුරු නැරැඹීමේ අවස්ථාව ඔහුට උදා විය. ඒ නාමල්ගේ කලා ජීවිතයේ වෙනසක් කළ දිනයයි.

ටෙලි නාට්‍ය රංග ශිල්පියකු, නිෂ්පාදකයකු, අධ්‍යක්ෂවරයකු සේම සරත් නාමල්ගම විවිධ වූ කලා ක්ෂේත්‍රයන් ඔස්සේ සිය දායකත්වය එක් කරනු ලැබුවේ නාට්‍ය චිත්‍රපට හඬ කැවීම් ශිල්පියෙකු, වෙළෙඳ දැන්වීම් නිරූපණ ශිල්පියකු, රූපවාහිනී නිවේදකයකු, දෙස් විදෙස් සංගීත සංදර්ශන සංවිධායකවරයකු ලෙසින්ය.

1993 දී ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදකයා ලෙසින් ද සරත් නාමල්ගම කටයුතු කරනු ලැබීය.

සරත් මුලින්ම වේදිකාවට එක් වුයේ ආර්. ආර්. සමරකෝන්ගේ අහසින් වැටුණු මිනිස්සු වේදිකා නාට්‍යයේ රඟමිනි. 1990 දී කුසුම්චන්ද්‍ර‍්‍ර ගමගේ අධ්‍යක්ෂණය කළ පූර්ණිමා ටෙලි නාට්‍යයේ සම නිෂ්පාදකයකු ලෙසින් ටෙලි නාට්‍ය නිෂ්පාදනයට එක් වූ සරත් ටෙලි නාට්‍ය රංග ශිල්පියෙකු ලෙසින් ද එයට දායක විය. ඔහුගේ ටෙලි නාට්‍ය රංගන දිවියේ ආරම්භය ද එය විය. එතැන් පටන් විවිධ වූ අධ්‍යක්ෂවරුන්ගේ හා ටෙලි නාට්‍ය නිෂ්පාදකයන්ගේ නිර්මාණයන් සඳහා රංගනයෙන් දායක වූ සරත් නාමල්ගම තමන් නිෂ්පාදනය කළ සියලුම ටෙලි නිර්මාණයන් සඳහා ද රංගනයෙන් එක් විය. වසන්ත ඔබේසේකරගේ දොරකඩ මාරාව චිත්‍රපටයේ රඟමින් චිත්‍රපට රංගනයට අවතීර්ණ වූ සරත් එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කළ රෝස පැටික්කී චිත්‍රපටයේ සම නිෂ්පාදක ලෙසින් චිත්‍රපට නිෂ්පාදනයට එක් වී සරත් එයට රංගනයෙන් ද දායක විය.

අනුර මාධව ජයසේකර අධ්‍යක්ෂණය කළ කිරි අම්මාවරු ටෙලි වෘත්තාන්තය සරත්ගේම ප්‍රථම ටෙලි නාට්‍ය නිෂ්පාදනය වූ අතර එහි ද ඔහු රඟපෑ වසන්ත නැමැති අලුත විවාහ වූ පුද්ගලයකුගේ චරිතය ඔස්සේ ප්‍රේක්ෂක හදවත් තුළ සදා නිදන්ගත වන්නට එදා සරත් නාමල්ගමට හැකි විය. එතැන් පටන් ඔහු රඟපෑ විවිධ චරිත ප්‍රේක්ෂකයෝ වැලඳ ගත්තේ බොහෝ සෙනෙහෙබරවය.

පියගැට පෙළ, සඳවතක වරුණ, මායා ඇවනියු, දිය සෙවණැලි, කේතුමතී රජ දහන, පතිනිවරා, සමනලයා, සිරි දෙව්බවන, කැදැල්ලේ කුරුල්ලෝ, ආදරවන්තයෝ, ඉරහඳ පාමුල, සිහිනයක් පාට පාට, බාල ළමාවරු, පිය සෙනෙහස, උකුස්සෝ ආදී ටෙලි නාට්‍ය රැසක් සඳහා සරත් නාමල්ගම රංගනයෙන් දායක විය. සරත් තමන්ගේ පූර්ණ නිෂ්පාදන දායකත්වයෙන් මුලින්ම ආරම්භ කළ මොහාන් නියාස් අධ්‍යක්ෂණය කළ ගිනිසිළුව චිත්‍රපටය සඳහා උසාවි වාරණ නියෝගයක් පැන වූ අතර ඔහුගේ දෙවන සිනමා නිෂ්පාදනය වූයේ රෝස කුසුම මගේය.

ඉන්දීය, ශ්‍රී ලංකා සම නිෂ්පාදනයක් වූ කාසි චිත්‍රපටයේ තම බිරිය මනීෂා සමඟ රංගනයෙන් දායක වූ සරත් නාමල්ගම ඩ්චඡඪබ ධට බඩඥ ඩ්භථචද ඉංග්‍රීසි චිත්‍රපටයේද රඟපෑමේ භාග්‍යය උදා කර ගන්නා ලදී.

පසුකාලීනව කලාකරුවකු ලෙසින් සමාජ සුබසාධනයේ කාර්යභාරයන් රැසක් වෙනුවෙන් ප්‍රමුඛත්වය ගත් සරත් නාමල්ගම හීල් ඇන්ඩ් ෆීලි යනුවෙන් සුබසාධන වැඩසටහනක් අරඹමින් වැඩිහිටි නිවාසවල ජීවත්වන වැඩිහිටියන් සතුටු කිරීමේ සමාජ සත්කාර වැඩ සටහන් රැසක් ද දියත් කරන ලදී.

අහම්බෙන් කලා ක්ෂේත්‍රයට පැමිණ රංගනයෙන්, නිෂ්පාදනයෙන්, අධ්‍යක්ෂණයෙන් කලා කෙතේ බොහෝ තැන් ස්පර්ශ කළ සරත් නාමල්ගම තමන් ආදරයෙන් රැක බලා ගත් කලා කෙතට මෙන්ම තමන්ට එදා මෙදාතුර දිරියක් ශක්තියක් වෙමින් තම නිර්මාණයන් රංගනයන් හා නිබඳව අත්වැල් බැඳ සිටි සුවහසක් ප්‍රේක්ෂකයන්ට යළිත් නොඑන්නට සමු දී ඉකුත් 16 වැනිදා මළ හිරු බැස යන සැඳෑ යාමයේ කොහුවල පොදු සුසාන භූමියේදී සියල්ලන්ගෙන්ම සමුගෙන යනු ලැබුවේ තමන්ට ආදරය කළ සියල්ලන්ගේම නෙතට කඳුළක් එක් කරමිනි.

 

සරත් නාමල්ගම ඔබට නිවන් සුව!

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.