විරෝධකාල්පනිකයා හෙට සිට...

මාර්තු 21, 2019

කොල්වින් සෙට්ටිනායකගේ සිතුවම් දැක්ම 'විරෝධකාල්පනිකයා' හෙට (මාර්තු 22) සිට 25 වැනිදා දක්වා කොළඹ, ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ. සියුම් ලෙස භාව ප්‍රකාශනය කරමින් සිතුවම්කරණයේ යෙදෙන සිත්තරෙකු ලෙසින් ප්‍රචලිත කොල්වින් සෙට්ටිනායක මෙවර සිය සිතුවම් දැක්ම පවත්වන්නේ 9 වැනි වරටයි.

විරෝධකාල්පනිකයා යනු ඔබට පටබැඳී නමක්?

විරෝධකාල්පනිකයා නමින් මා හඳුන්වා දුන්නේ ප්‍රකට විචාරකයකු වූ සිරිල් බී. පෙරේරා විසින්. එතුමා මගේ චිත්‍රවල ඇති විශේෂත්වය දකිමින් සිය ලිපි ඔස්සේ එනමින් මා හඳුන්වා දුන්නා. පසුව මම මගේ චිත්‍ර ප්‍රදර්ශන විරෝධකාල්පනිකයා ලෙසින් නම් කළේ ඒ හේතුව නිසයි.

 

අනෙකුත් චිත්‍ර ශිල්පීන් අතරේ ඔබ කැපී පෙනෙන්නේ ඔබේ සිතුවම් ශෛලියේ ඇති විශේෂත්වය හේතුවෙන්?

සෑම විටම මගේ සිතුවම්වලට පාදක වන්නේ සමාජය තුළ මිනිසුන් විඳීන දුක් ගැහැට, පීඩිත පන්තිය, දාරක ස්නේහය වැනි තේමාවන්. ඒ වගේම මගේ සිතුවම් තරමක් දිගටි ස්වරූපයක් ගන්නවා. එයින් පෙන්නුම් කරන්නේ ජීවිතයේ ඇදෙන ස්වභාවය යි. මිනිසුන් ආසාවන් කෙරෙහි ඇදී යනවා. බියට හැකිළෙනවා. මේ දෙක අතරේ ජීවිතය දෝලනය වෙනවා. මගේ චිත්‍ර ශෛලියේ ආරම්භය සිදු වුණේ එතැනින්. පීඩිත පන්තියේ මගේ සැබෑ ජීවිතයෙත් අතීතයේදී බොහෝ දුක් කම්කටොළුවලට මුහුණ දුන්නා. ඒ ඔස්සේ ලද පන්නරය මටම ආවේනික ශෛලියකින් චිත්‍ර කලාවේ ඉදිරියට යන්න මට ආසාවක් ඇති කළා.

 

ඔබගේ නිර්මාණ අතර බතික් සිතුවම් කලාවටත් ප්‍රමුඛ ස්ථානයක් හිමි වී තිබෙනවා?

බතික් කලාව භාව පූර්ණයි. ඒ තුළත් සම්පූර්ණයෙන්ම තියෙන්නේ ජීවිතය යි. දිය සායම් හෝ තෙල් සායම් චිත්‍රයක් වගේ නෙවෙයි බතික්‌ කලා මාධ්‍යය මනාව හැසිරවීම තරමක් අපහසු කාර්යයක්. ඒ වගේම ගැඹුරු මාධ්‍යයක්. මමත් දශක ගණනාවක්‌ තිස්‌සේ බතික් කලාවෙහි නිරතවීමෙන් ලත් පුහුණුවත් සමගින් ඒ පිළිබඳ පර්යේෂණ කරලා තියෙනවා. ඒ අත්දැකීම් මම ජනතාවට ලබා දෙන්න ආසාවෙන් සිටිනවා. ඒ නිසාම මගේ මීළඟ සිතුවම් දැක්ම බතික් කලාව වෙනුවෙන් වෙන් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මෙවර විරෝධකාල්පනිකයා ප්‍රදර්ශනයටත් කළු සුදු සහ වර්ණ රේඛා චිත්‍ර මෙන්ම බතික් සිතුවම් කිහිපයකුත් ඇතුළත් කරලා තියෙනවා.

 

ඔබේ සිතුවම් දිවියේ පළමු සිතුවම් දැක්ම විශේෂයි?

මම මුලින්ම චිත්‍ර ප්‍රදර්ශනය පැවැත් වූයේ 1974 වසරේදීයි. එය විවෘත කරන්න පැමිණියේ මහගමසේකරයන්. එදා ගෝල්ෆේස් පිටිය අසල පිහිටි සමුද්‍ර කලාගාරයේ පැවැති ඒ ප්‍රදර්ශනය පස්වරු 4.30ට විවෘත කරන්න නියමිතව තිබුණත් සේකරයන් පැමිණියේ තුනට විතර. ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේදී සේකරයන් වැන්නන්ගේ මඟ පෙන්වීම අපිට ඉදිරියට යන්න විශාල පිටුබලයක් ගෙන දුන්නා.

 

අලෙවි කිරීම වෙනුවෙන් සිතුවම්කරණය පිළිබඳ ඔබ දරන්නේ වෙනම අදහසක්?

ඒක ඇත්ත. මම සල්ලිවලට චිත්‍ර අඳීන කෙනෙක් නෙවෙයි. කවදාවත් මම විකුණන්න චිත්‍ර ඇඳලා නැහැ. නමුත් හැමදාම මම චිත්‍ර අඳීනවා. චිත්‍ර අගය කරන අය ඒවා මිලදී ගන්නවා. මම මගේ ජීවිතය ගැන තෘප්තිමත්. මා වටා සිටින පිරිස මාව ආරක්ෂා කරනවා. ඒ නිසාම ඔවුන් මටත් වඩා මගේ සිතුවම් රටාවලට ආදරය කරනවා.

 

මෙවර විරෝධකාල්පනිකයා සිතුවම් දැක්ම පිළිබඳ කෙටි සටහනක් තබමු?

මම සිතුවම් දැක්මක් පවත්වන්නේ වසර 05ට පමණ පසුවයි. ගත වුණු කාලයේදී සිතුවම්කරණයේ හොඳ අස්වැන්නක් නෙළා ගන්න මට අවස්ථාව ලැබුණා. ඒ අනුව මෙවර සිතුවම් දැක්මට නව රටාවලින් සිතුවම් ඉදිරිපත් කෙරුණත් තේමාවේ වෙනසක් සිදුවන්නේ නැහැ. හෙට සිට 25 වැනිදා තෙක් පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා කොළඹ, ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වෙන 'විරෝධකාල්පනිකයා' සිතුවම් දැක්මේ අසිරිය විඳ ගන්න පැමිණෙන ලෙස ඔබ සැමට මා ආරාධනා කර සිටිනවා.

 

Add new comment