1300 වැනි චිත්‍රපටය ලෙස ප්‍රසාද් සමරතුංගගේ ‘ඉස්කෝලෙට මං ආවා’ හෙට තිරයට

අප්‍රේල් 4, 2019

 මෙරට චිත්‍රපට නාමාවලියේ 1300 වැනි චිත්‍රපටය සම්පූර්ණ කරමින් ඉස්කෝලෙට මං ආවා ළමා සිනමාපටය මෙම මස 05 වැනිදා එනම් හෙට සිට එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වෙයි. මෙය සරසවිය මාධ්‍යවේදී ප්‍රසාද් සමරතුංගගේ අධ්‍යක්ෂණයකි. ලක්මිණි ක්‍රියේෂන් වෙනුවෙන් සඳුන් දොලමුල්ල මෙය නිෂ්පාදනය කොට තිබේ. සූකිරි නමැති දිලිඳු දරුවකු වටා ගෙතී ඇති කතා පුවතකින් සමන්විත ඉස්කෝලෙට මං ආවා සිනමාපටයෙහි කුමාර වඳුරැස්ස, එඩ්නා සුගතපාල, රොෂානා ඔන්ඩච්චි, රජිත හිරාන්, සමන්ති ලැනරෝල්, උපුල් වීරසිංහ, විරාජ් මධුශාන්, ජයතිස්ස අතුලසිරි, ජගත් ඇපලදෙනිය, තේජා නදීශානි, සුජීව රොහාන්, රොහාන් පෝල්, උදිත් අබේරත්න, නිම්න වර්ෂණ, කුසල් වීරමන්ත්‍රී, දෙනුර වීරසිංහ, ශයිනි රෝචනා, නෙත්තිකුමාර ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙති.

සුමිත් කුමාරගේ කැමරා අධ්‍යක්ෂවරයාය. ප්‍රසන්න විජේසිංහ සහාය අධ්‍යක්ෂණයෙන් එක් විය. රන්ජන් ප්‍රසන්න නිෂ්පාදන සම්බන්ධිකාරකවරයාය. සුජීව රොහාන් නිෂ්පාදන කළමනාකරණයෙන්, රසික තෙන්නකෝන් අංග රචනයෙන්, අශෝක චාමින්ද වාස් කලා අධ්‍යක්ෂණයෙන් ඉස්කෝලෙට මං ආවා සඳහා දායක වූහ. උදාර සමරවීර සංගීත අධ්‍යක්ෂවරයාය. ශාන් අල්විස්ගේ සංස්කරණයකි. කුසල් වීරමන්ත්‍රී ගීත ගායනයෙන් එක් විය. සංඛ සමරප්පුලිගේ ගී පද රචනයකි.

ඉස්කෝලෙට මං ආවා ප්‍රසාද්ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි. උලත් එකයි පිලත් එකයි සිනමාපටයේ තිර රචනය සකසන ලද්දේ ද ඔහු විසිනි. ඉස්කෝලෙට මං ආවා සිනමාපටයෙහි කතා සංකල්පය නිෂ්පාදක සඳුන් දොලමුල්ලගෙනි. 

Add new comment