සියවසක් සපිරෙන මහා උපන් දිනයක්

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
අප්‍රේල් 5, 2019

දශක කිහිපයකට පෙර කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට ගොඩ බට ඉංග්‍රිසි ජාතිකයකු වූ රොජර් මැනුවෙල් නම් සුප්‍රකට සිනමා විචාරකයා කුලී රියකට ගොඩ වූයේ කොළඹ ඩික්මන් පාරේ අංක 24 දරණ තැනට යන්නටය. ඩික්මන් පාරේ එහා මෙහා ගිය ද අංක 24 සොයා ගන්නට රියැදුරුට නොහැකි විය. රියැදුරා ද රෝජර් මැනුවෙල් ද හෙම්බවත් ව සිටියහ. ‘සර් යන තැන ඉන්නේ කවුද‘ රියැදුරා විමසුවේය. ‘ලෙස්ටර් ජේම්ස් පීරිස්‘ වැඩි ගාණක් නැතුවම මැනුවෙල් පැවසුවේය. ‘ඇයි සර් මේ අංක 24 කියන්නේ. මට ලෙස්ටර් මහත්තයාගේ ගේ කිව්වා නම් ඉවරයිනේ ‘රියැදුරු යළිත් කිසිත් නොකියාම මාර්ගය අසල තාප්පයකින් වට කළ කුඩා නිවහනක් ඉදිරියේ රථය නතර කළේය.

‘කවුද සර් ලංකාවේ මිනිහෙක් ලෙස්ටර් මහත්තයාගේ ගේ දන්නේ නැත්තේ ? මින් පස්සේ සර් කෙලින්ම අංකේ නැතිව ලෙස්ටර් මහත්තයාගේ ගේ කියලා කියන්න.‘

රියැදුරා රෝජර් මැනුවෙල් ගෙන් සමුගත්තේ එහෙමය.

කොළඹ බම්බලපිටිය ගාලු පාරත් හැව්ලොක් ටවුමත් යා කරන ඩික්මන් පාරට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත යැයි නම ලැබුණේ මෙයින් වසර කිහිපයකට පෙරාතුවය. එහි අංක 24 දරණ නිවෙස මාවතේ සෙසු නිවාසවලට වඩා පෙනුමෙන් කුඩා එකකි. වටා ඇති තාප්පයෙන් එබිකම් කරන්නෙකුට හැර පාරේ යන්නෙකුට එම නිවෙස නොපෙනේ. ඒ වටා ඇති ගස් වැල් එම නිවෙසට අමුතු සිරියාවක් ගෙන දුන්නේය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුමිත්‍රා පීරිස් යුවළ ජීවත් වන නිවෙස ලෙස බොහෝ දෙනා දැන සිටිය ද ඔවුන් එහි දශක ගණනාවක්ම වාසය කළේ කුලී නිවැසියන් හැටියටය. පසුගිය වසර දක්වාම සෑම අප්‍රේල් මස 5 වැනි දිනට මේ නිවෙස ආරාධිතයන්ගෙන් මෙන්ම අනාරාධිතයන්ගෙන් ද පිරි යන්නේය. ඒ එහි නිවැසියාට දීර්ඝායුෂ පතන්නටය. මෙරට ඉහළ පෙලේ පුරවැසියන් ගේ පටන් සිනමා කර්මාන්තයේ බොහෝ දෙනා මේ සිරිත කඩ නොකොට කර ගෙන ආහ. එකල්හි දේශපාලකයන්ගේ අනේකවිධ පොරොන්දු එහි දෝර ගලන්නේය. සිනමා රසවතුන්ගේ අතොරක් නැති ඕපාදූප ද එයටත් වඩා වැදගත් විද්වත් කතා බහද එහි අඩුවක් නොමැතිව පිරී යන්නේ රෑ මැදියම පසුවන තෙක්මය. මේ අතර මියුරු සංගීතය ද අසන්නට ලැබෙන්නේය. ගිය වසර වන විට ගෙහිමියා සිටියේ යම් තරමක් දුර්වලවය.. එහෙත් සියල්ලගේ එකම ප්‍රාර්ථනාවක් විය. හරියටම තවත් අවුරුද්දක් හෝ ඔහුට ජීවත් වන්නට ඉඩ ලැබේවා යන්නය. එය සිදුවූයේ නැත. සිය 99 වැනි ජන්ම දිනය සමරා නොබෝ දිනකින්ම හෙතෙම අප අතැර ගියේය. ඒ මෙරට ජීවත් වූ ලොව විශිෂ්ට සිනමා කරුවකු ලෙස ගෞරවය ද රැක ගෙනය. එමෙන්ම ඒ වන විට ජීවත් වූ ලොව වැඩිමල්ම සිනමාකරුවා හැටියටය.විශිෂ්ට මිනිසකු හැටියටය.

වසරක් ගත වූ තැන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත නම් පුවරුව තිබුණ ද කුඩා නිවහන තවදුරටත් එහි නැත. ඇත්තේ හිස් බිම් කඩකි. නිවහන පොළවට සමතලා කොට ඇත්තේ කිසිදු සලකුණක් ඉතිරි නොකරමිනි. තවමත් පාරට සෙවණ සලසන තුරුලතාවෝ පමණක් තව නොබෝ දිනකින් සිය බිම්කඩද අහිමි වන ඇතැයි සිතමින් නිසොල්මනේ සිටිති. දහසකුත් එකක් වූ පොරොන්දු සියල්ල අහස් තලයට ගොසිනි. නුදුරු දිනයක කඩා බිඳ දැමෙනු ඇතැයි සිතෙන තාප්පය අතීතයේ දවසක් රකිනා සේය.

1919 වසරේ අප්‍රේල් මස 05 වැනි දින දෙහිවල දී සිංහල කතෝලික පවුලක දරුවකුව උපදින ලෙස්ටර් ජේම්ස් පීරිස් මතු දවසක මහා සිනමාකරුවකුව වැජඹෙනු ඇතැයි කිසිවකු හෝ සිතන්නේ නැත. ඒ වන විට ලොව පුරා පැවැතියේ ද නිහඬ සිනමාවයි. වෛද්‍යවරයකු වූ තාත්තා සිතා සිටියේ පුතු තමා මෙන්ම වෛද්‍යවරයකු වනු ඇති බවය. නැත්නම් පූජකවරයකු වනු ඇති බවය. තාත්තා මෙන්ම පුතා ද ක්‍රිකට් ලෝලීහු වූහ. සිනමාකරුවකු වීම තරම් බරපතළ සිහිනයක් දකින්නට එකල කාලය නොවීය. හැමවිටම හොඳ සිනමාකරුවකුගේ ලක්ෂණයක් ලෙස ලෙස්ටර් ද ළමා වියේ සිටම සිනමා ලෝලියකු වූයේය. ආචාර්ය ලෙස්ටර් 99 වසරකට පසු සිය ජීවිතයෙන් සමුගන්නා තෙක්ම හොඳ සිනමාලෝලියකු විය. යාවත්කාලීන වන සිනමාලෝලියකු විය. එබැවින්ම ලෝකයේ සිනමාව වෙනස් වන අන්දම ද එහි තාරුණ්‍යය ද ඔහු දුටුවේය. තමන් විසින් ගොඩ නඟන ලද ලෝකය නව පරපුර විසින් ඉදිරියට ගෙන යනු දුටු ඔහු ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේය. මේ පුංචි මිනිසා සතුව අප්‍රමාණ හයියක් ඇතැයි බොහෝ දෙනා දැන ගන්නේ එවිටය. සිනමා වාරණයට එරෙහිව බොහෝ දෙනා මුනිවත රකිද්දී ආචාර්ය ලෙස්ටර් සිය අදහස නොබියව ප්‍රකාශ කළේය. සිනමා සංරක්ෂණය ගැන ඔහු මෙරටට කියා සිටිනුයේ 1959 තරම් ඈතකය. එකම චිත්‍රපටයක් කෙරූවකු සිනමා සංරක්ෂණය ගැන කතාකරතියි එදා ලෙස්ටර්ගේ වෑයමට බොහෝ දෙනා සිනාසුණහ. සිනමාව දළ සේය පටළය අත් හරින බවත් එය ඩිජිටල් තාක්ෂණය වැළඳ ගනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේ මෙරට කිසිවකු හෝ ඒ ගැන සිතන්නට පෙරාතුවය.

ඔහු මෙරට සිනමාවට පිවිසෙනුයේ පිටස්තරයෙකු හැටියටය. ඔහු සිනමාකරුවකු වීමට අත්පොත් තබනුයේ එංගලන්තයේ දීය. ළමා වියේ දී පමණ ඔහු ට සිටිසන් කේන් වැනි මහා සිනමා නිර්මාණයන් දැක ගැනීමට හැකි වන්නේය. එබඳු චිත්‍රපට පවා එකල වාණිජ වශයෙන් මෙරට සිනමාහල්වල ප්‍රදර්ශනය විය.ආසියානු කලාපයේ මුල්ම සිනමා සමාජය වන කොළඹ සිනමා සමාජයේ සාමාජිකයකු වන ඔහු සිනමාව හඳුනා ගන්නේ එහිදීය. එබැවින් සමකාලින සිනමාලෝලී තරුණයකු දකින වසඟවන අසල්වැසි ඉන්දියානු සිනමා කෘතින්ට වඩා එහා ලෝකයක් ඔහු දැන හඳුනා ගන්නේය. එබැවින් ඔහු ට දකින්නට ලැබෙනුයේ ඒ වන විටත් ලොව බිහිවෙමින් පැවැති අග්‍රගණ්‍ය සිනමා නිර්මාණයන්ය. ඔහු ඇසුරු කරනුයේ විශ්ව සාහිත්‍යයේ අග්‍රගණ්‍ය කෘතින්ය. ඔහු රස වින්දේ මහා සංගීතය යි. තම කුඩා සොහොයුරා අයිවන් පීරිස් සුප්‍රකට 43 කණ්ඩායමේ චිත්‍ර ශිල්පියකු වීම ඔහුගේ දැක්ම තවත් පුළුල් කරන්නට හේතු විය. මල්ලී කැන්වසයෙහි අඳීන ලද සිතුවමකට එහා යමින් අය්යාට රිදී තිරයේ ජීවිතය සිතුවම් කළ හැකිවූයේ එහෙයිනි.

ගැටවර වියේ මෙරටින් බැහැර වන්නට පෙර කොළඹින් බැහැර ගම්මානයකට ගියේ 1945 වසරේ ජපන්නු කොළඹට බෝම්බ දැමූ දවසේය. ඒ ද හලාවතටය. හරියටම ඔහුගේ 14 වැනි උපන් දිනය දවසේය. එංගලන්තයේ දී වාර්තා සිනමාකරණයේ දැවැන්තයකු වන රැල්ෆ් කීන් මුණගැසීම ඔහුට නොව අපේ සිනමාවේ දිශානතිය වෙනස් කරන්නට ඉඩ ලැබීම දෛවෝපගත කරුණක් විය. කීන් සමඟ ඔහු මෙරටට යළි පැමිණෙන්නේ රජයේ චිත්‍රපට අංශයටය. ඒ වාර්තා සිනමාකරුවකු හැටියටය. ඔහු අනුරාධපුර නගරය දැක ගත්තේ එයින් පසුවය. අතීත මිනිසුන්ගේ යෝධ හැකියාවෙන් අහස සිඹින මහා ස්ථූපයන් ද සමුදුරු පරයන වැව් තලාවන් ද ඔහු දැක ගත්තේ එදිනය. ඈත ගම්දනව් වල මිනිසුන් මැලේරියාවෙන් පීඩා විඳීමින් සිටින වග ඔහු දකින්නේ එහෙමය. ලෝකයේ දී ඔහු උගත් දෑ මෙරට ජන ජීවිතය හා බද්ධ කරන්නට ඔහු පොලඹවාලනුයේ සිනමාවය. ඔහු ගේ මුල්ම සිනමා කෘතින් දෙකින්ම ලෝකයේ දී දැන හඳුනා ගත් මහා සිනමාවේ ගති ලක්ෂණ ද වාර්තා සිනමාව හරහා උකහා ගත් ලාංකික මිනිසුන්ගේ ජීවන රටාව ද විද්‍යාමාන විය. එපමණක් නොව සමකාලින සෙසු සිනමාකරුවන්ට අනුකාරක වූ දකුණු ඉන්දියානු චිත්‍රපටවලට වඩා උතුරු ඉන්දියානු සිනමාවේ මුහුණුවරින් ද ලෙස්ටර් ගේ මුල්ම සිනමාකෘති යුගල මිදුණේ නැත.

ලාංකික සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යය රේඛාව වුව ලෙස්ටර් සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යය වනුයේ ගම්පෙරළියයි. වෛද්‍යවරයකු හෝ පූජකවරයෙකු නොවන තරුණ ලෙස්ටර් එතැන් පටන් සිය සිනමාව හරහා මිනිස් සිත් සතන් හි අඳුරු ගැබ විවර කර එහි නොපෙනන දේ මතු කොට ඔප කර ලෝකය හමුවේ තැබුවේ වෛද්‍යවරයෙකුට හදුනා ගත නොහැකි වූ සියුම් මානව ගුණාංගයන් ඉදිරිපත් කරමිනි. ඒ සමඟ දැවැන්ත සමාජ විවරණයකට ද ඔහු මග පාදා ගනී. මෙරට සිනමාවේ අග්‍රගණ්‍ය නිර්මාණ ගොන්නෙහි ලා ගැනෙන ගම්පෙරළිය, දෙලොවක් අතර, නිධානය, අහසින් පොළවට වැනි නිර්මාණ බිහිවනුයේ එබැවිනි. හුදකලා සංග්‍රාමයක යෙදෙන හුදකලා නොවන සිනමාකරුවකු හැටියට ආචාර්ය ලෙස්ටර් හඳුනා ගත හැක්කේ එහෙමය.

රේඛාව වාණිජ වශයෙන් අසාර්ථක වුව ද ඔහුගේ සිනමාවේ බලපෑම දශකයක් යන්නට මත්තෙන් සෙසු සිනමාකරුවන් ගේ ඇතැම් නිර්මාණ හරහා පෙනෙන්නට විය. ජී.ඩී.එල්.පෙරේරා ගේ සාමා එයට කදිම උදාහරණයකි. සිනමාවේ තුන් වැනි දශකය වන විට සිනමා ප්‍රේක්ෂකයන් මෙන්ම තරුණ සිනමාකරුවන් රැසක් ද බිහිවනුයේ ආචාර්ය ලෙස්ටර් ගිය මඟ අනුදකිමිනි. වර්තමාන සිනමාව වෙනදාට වඩා ලෝකයට විවෘතය. තරුණ සිනමාකරුවන්ට ඉතා පහසුවෙන් අන්තර්ජාතික සිනමා උත්සවයන්ට ඉදිරිපත් වීමට හැකියාව ලැබී ඇත. මේ මාර්ගය තැනුවේ ආචාර්ය ලෙස්ටර්ය. අද මෙන් ලෝකය අපට සමීප නොවුණ යුගයක ඔහු සිනමා කෘතින් නිර්මාණය කරන ලද්දේ ලංකාව යනු ලෝකයේ කොටසක් විනා ලෝකය යනු ලංකාවේ කොටසක් නොවන බව වටහා ගෙනය. හැත්තෑව දශකය මුල වන විට විශිෂ්ට ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මෙරට බිහිවෙමින් පැවතිණ. ගොළු හදවත වැනි චිත්‍රපටයක් ලබන ඉහළ ආදායම එයට කදිම උදාහරණයකි. සම්භාවනීය සහතිකය ලද සිනමා කෘති සදහා වෙන් කරන ලද පස් වැනි ප්‍රදර්ශක මණ්ඩලය බිහිවනුයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ වීර පුරන් අප්පු චිත්‍රපටය සමගය. සිනමා කෘතිය එතුමන්ගේ වුව මණ්ඩලය බිහිවනුයේ දේශපාලන බලවන්තයකුගේ හදිසි වුවමනාව මතය. එහෙත් එයින් වූයේ යහපත් සිනමා ප්‍රේක්ෂක සමූහයක් ගොඩනැඟීමය. තවත් දස වසක ඇවෑමෙන් පස් වැනි මණ්ඩලය කෘතිම මරණයකට හිමිකම් නොකියන්නට මෙරට විශිෂ්ට සිනමාව හා එයට තිබුණ ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළ තලයකට යාහැකිව තිබිණ. පස් වැනි මණ්ඩලය යහපත් සිනමාවක් අපේක්ෂිත ප්‍රේක්ෂකයන්ට පමණක් නොව තරුණ සිනමාකරුවන්ට ද සිය නිර්මාණ ගෙන ඒමේ මගක් පාදා දුන්නේය.

ආචාර්ය ලෙස්ටර් ගේ සිනමාව බලධාරින් වටහා ගත්තේ කලක් ගත වූ පසුවය. රේඛාව වැනි චිත්‍රපටයක් විදෙස් සිනමා උලෙළවලට සහභාගි වීම වරදක් ලෙස දුටුවේ එකල අධ්‍යාපන ඇමැතිවරයාය. එය තහනම් කළ යුතුයැයි ඔහු මුරගා සිටියේය. කලක් ගත වෙත්ම ආචාර්ය ලෙස්ටර්ගේ තරම වටහා ගැන්මෙන් පසු බොහෝ බලධාරිහු එතුමන් වටා රැස් වන්නට පටන් ගති. ඔවුන් දුන් පොරොන්දු එමටය. ආචාර්ය ලෙස්ටර් වෙනුවෙන් විවිධ ගෞරව දක්වන්නට ඔවුහු විවධ ක්‍රියාකාරකම් කළහ. එහෙත් සිනමාකරුවකුට ලැබිය හැකි ලොකුම ගෞරවය නම් තම නිර්මාණ නිදහසේ බිහි කරන්නට අවශ්‍ය පසුබිම සැකසීමය. වසර 99 ක් වැනි දීර්ඝ ජීවිත කාලයෙන් හැත්තෑ වසරකට කිට්ටු කාලයක් සිනමාකරණයේ නියැළුණ ද ආචාර්ය ලෙස්ටර් වෘත්තාන්ත චිත්‍රපට හැදුවේ 19 කි. එයින් හැඟෙනුයේ ඔහුගේ ඉතිරි කාලයම අපතේ ගිය එකක් හැටියටය. ඉංග්මාර් බර්ග්මාන්, අකිර කුරොසව ආදින් මෙයට වඩා දරුණු ඉරණමකට මුහුණ දුන් අවස්ථා තිබුණ ද ඔවුන්ට චිත්‍රපට තනන්නට ඉඩ කඩ ලැබිණ. බලධාරීන් ආචාර්ය ලෙස්ටර් ඉදිරියේ දුන් විවිධ පොරොන්දු ඉදිරියේ සිනමා කෘතියක් හදන්නට එකෙක් වත් පොරොන්දු දුන්නේ නැත. ආචාර්ය ලෙස්ටර් සමඟ පනස් වසරකට අධික කාලයක් දුක සැප බෙදා ගත් භාර්යාව සුමිත්‍රා පීරිස් මැතිනිය ගේ වෛෂ්ණාවි චිත්‍රපටය ගිය වසරේ ආචාර්ය ලෙස්ටර් ගේ 99 වැනි ජන්ම දිනය දා තිර ගත කරන ලද්දේ කිසිදු බලධාරියකුගේ පිහිටෙන් නොව ආචාර්ය ලෙස්ටර්ට ගරු කරන ඔහු ගේ සිනමාව අනුදත් සිනමාකරුවන් හා ප්‍රදර්ශකයන් කිහිප දෙනෙකුගේ දැඩි උත්සාහය නිසාය.

සිනමාව වෙනස් කළ මහා සිනමාකරුවන් හිමි ලෝකයේ බොහෝ රටවල ඔවුන්ගේ මහා සිනමාකරුවාගේ ජන්ම සියවස මහා ඉහළින් පවත්වනු ලැබෙයි. එමගින් තම සිනමාවට අනුප්‍රාණයක් ලැබෙයි. එහෙත් ආචාර්ය ලෙස්ටර් ගේ ජන්ම සියවස මෙරට සිනමාවේ බලධාරින්ට අමතකව නැතැයි සිතමි. කොටින්ම ඇතමුන්ට ආචාර්ය ලෙස්ටර් යනුවෙන් කිසිවකු සිටියාදැයි වසරක දී අමතක ව ගියාසේය. ආචාර්ය ලෙස්ටර්ට ගෞරව කරනවා යනු ඔහු අනුදත් මග යන සිනමාකරුවන් වෙනුවෙන් මග පෑදීමයි. එය අපේ සිනමාවේ අනාගතයයි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ජීවත්ව සිටිය දී ම තරුණ සිනමාකරුවකු වෙනුවෙන් පිරී නැමීමට තීරණය කළ සරසවිය සම්මානය සඳහා ආචාර්ය ලෙස්ටර් ගේ නම යොදා ගත්තේත් සිනමා ඉතිහාසයේ මුල්වරට වාර්ෂික සිනමා සම්මාන උලෙළක් සිනමාකරුවකුගේ නමින් නම් කොට 2018 සරසවිය සම්මාන උලෙළ ආචාර්ය ලෙස්ටර් ළයාන්විතය නමින් බුහුමන් කරන ලද්දේත් සරසවිය හැමවිටම මේ මහා සිනමාවේදියා ගුරු කොට සලකන හෙයින්ය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.