බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ට නව මුහුණු වරක්

අප්‍රේල් 11, 2019

බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ගේ මුහුණ විකෘති වෙලා. දීපිකාගේ මුහුණ මේ විදියට විකෘති වෙලා තියෙන්නේ ඇයගේ අලුත්ම චිත්‍රපටය නිසා.

Chhappak ලෙස නම් වුණු එම චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ඇය තම ඡායාරූපයක් ටිවිටර් ගිණුමට එක් කර තිබුණා. පසුගිය වසරේ නොවැම්බර් රන්වීර් සමඟින් විවාහ දිවියට පත් දීපිකා දිගු විවේකයකින් පසු යළිත් ක්ෂේත්‍රයට පිවිසෙන්නේ දිල්ලිහිදී සිදු කෙරෙන Chhappak රූගත කිරීම් සමඟින්.

2005 වසරේදී වයස අවුරුදු 15ක් වූ ලක්ෂ්මි අගර්වාල් වෙත එල්ල කෙරුණු ඇසිඩ් ප්‍රහාරය පාදක කොට ගෙන Chhapaak චිත්‍රපටය නිර්මාණය කෙරෙනවා.

28 හැවිරිදි වියේ පසුවන ලක්ෂ්මි අගර්වාල් මේ වන විට ඇසිඩ් ප්‍රහාර වැළැක්වීම වෙනුවෙන් දැනුවත් කරන්නියක සහ ඇසිඩ් ප්‍රහාරවලට ලක් වූවන් වෙනුවෙන් පෙනී සිටින්නියක ලෙසින් කටයුතු කරමින් සිටිනවා.

දීපිකා Chhappak චිත්‍රපටය සමඟින් සිනමා දිවියේ තවත් පියවරක් තබන්නේ නිෂ්පාදනයට ද දායක වෙමින්.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ, බොලිවුඩ් සිනමාවට රහස් ඔත්තුකාරියක කැඳවා ගෙන එමින් 'රාසි' චිත්‍රපටය අධ්‍යක්ෂණය කර මෙවර ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනූ මේඝ්ණා ගුල්සාර් විසිනි.

ලබන වසරේ ජනවාරි මාසයේදී Chhappak ලොවපුරා තිරගත කිරීමට නියමිතයි.

 

 

 

   

           

Add new comment