උතුම් පැතුම්

මැයි 9, 2019

මේ වන විට රටේ පවතින තත්ත්වය ගැන අමුතුවෙන් සඳහන් කරන්නට අවශ්‍ය නැහැනෙ. බොහෝ දෙනෙකු විමසිල්ලෙන් ජීවත් වුණත් සමහරු නම් කාලය ගත කරන්නේ කිසිත් නොවුණ ගාණට. කෙසේ වෙතත් සුපුරුදු පරිදි වෙසක් උදා වෙනවා. අලුත් අවුරුද්දෙන් පසුව හැමෝම වගේ ඊළඟට සමරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ වෙසක් මංගල්‍යය. ඒකට ආගම් භේදයක් නැහැ. නමුත් උද්ගත වී ඇති තත්ත්වය හමුවේ වෙසක් කලාප නොපැවැත්වීමට රජය තීරණය කරලා. ඒවා සංවිධානය කළත් එක හිතකින් ඊට සහභාගී වන්නට බැරි වේවි. නමුත් රටේ ආරක්ෂාව වෙනුවෙන් අපට යම් කැප කිරීමක් කරන්න වෙනවා. මේ පිළිබඳ අපූරු සටහනක් අපට හමු වුණා නලීන් පෙරේරාගේ ෆේස් බුක් පිටුවෙන්. එය සංස්කරණයකින් තොරව මෙසේ අප පළ කරනවා. උපතින් කතෝලිකයකු වුණු ඔහුගේ මුහුණු පොතේ තිබූ අදහස බලන්න.

“ඔවුන් අප සමඟ එකට හඬා වැලපුණහ. අපගේ දේව මෙහෙයන් පවත්වන්නට ඔවුනගේ විහාරස්ථානවල ඉඩ සලසා දුන්නා. වෙසක් දන්සැල්වලට වියදම් කරන මුදල් අපගේ දේවස්ථාන පිළිසකර කිරීම වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ද ඔවුන් සූදානම්ය.

ඔව්. ඒ අපේ සහෝදර බෞද්ධ ජනතාවය.

රටේ, පොදු ජනයාගේත් ආරක්ෂාව මත මෙවර වෙසක් කලාප පැවැත්වීම තහනම් කිරීමට රජය තිරණය කොට ඇත. අපට ශක්තියක් වූ බෞද්ධ ජනතාවට කෘතගුණ සැලකීමක් ලෙසත් ඔවුන්ට අවශ්‍ය මොහොතක ඔවුන් වෙනුවෙන් පෙළ ගැසීමට කිතුනුවන් වන අප ද සූදානම් බව සංකේතවත් කිරීමටත්, වෙසක් පොහෝ දින අපගේ නිවෙස්වලත් වෙසක් කූඩුවක් එල්ලා හෝ පහනක් දල්වා බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සැමරීමට සහෝදර බෞද්ධ ජනතාව සමඟ එකතු වෙමු.

මෙදා සැරේ වෙසක් කලාප නැතිවේවි. නමුත් අපි එකතු වී අපේ නිවෙස්වල එක පහනක් හෝ දල්වා වෙසක් සිරියෙන් මුළු රටම එකම වෙසක් කලාපයක් කරමු.”

ඒ තමයි මුහුණු පොතේ තිබුණු අදහස. බලන්න එය කොතරම් උතුම් ද කියා. ඒ වගේම කතෝලික ජනතාවට පාස්කු ඉරිදා සිදු වූ ඒ ව්‍යසනයෙන් පසුව ආගම් භේද පසෙකලා එකා වගේ සිටිය බෞද්ධ ජනතාවට ස්තූති පුද කිරීමක් රජීව් සෙබස්තියන් ද තම මුහුණු පොත හරහා කරලා තිබුණා.

Add new comment