වයස අවුරුදු 107 යි ඇය දැන් නිළියක්

මැයි 23, 2019

 

ලොව රංගනයට එක් වූ වයස්ගතම කාන්තාව කවුරුන් විය හැකිද? නොඅනුමානවම ඇය ස්වීඩනයේ ඩාග්නි කාල්සොන් ය. ඇය රංගනයට පිවිසෙන විට වයස අවුරුදු 105 කි. ස්වීඩන චිත්‍රපටයක් වූ ඩ්භදඤචඥබබචපඪදඨඥද ඉධථ ඉථඥබ ජ්පචද ව්ධබචද ර්‍ණජඩ ජ්ධපඵමචදද චිත්‍රපටයේ ඇය රඟපාන විට ඇගේ වයස 105 කි.

 

 

නිළියක් වීමට වයස බලපාන්නේ නැති බව නොබෝදා අවුරුදු 107 සැමරූ ස්වීඩනයේ ඩාග්නි කාල්සොන් ලොවට පෙන්වා දුන්නීය.

1912 මැයි 8 වෙනිදා එනම් ටයිටානික් නැව ගිලුණ දා ස්වීඩනයේ ක්‍රිස්ටිනාස්ටාඩිහි උපන් ඩාග්නි වාල්බොරි කාල්සොන් තවමත් සිය තට්ටු නිවසේ දවසේ කටයුතු තමා විසින්ම කර ගනිමින් ඉතා සතුටින් ජීවත් වන අතර රාත්‍රී නින්දට යන්නේ සිය පරිගණකයේ බ්ලොග් පිටුවේ දවසේ සටහන ලියා අවසන් කරමිනි.

ජීවිතයේ අත්දැකීම් සම්භාරයකට මුහුණ දුන් ඇයට ලෝක යුද්ධ දෙකකදී සිදු වූ බොහෝ දේ තවමත් මතකයෙන් කිව හැකිය. ඇය තවමත් හොඳ සෞඛ්‍ය සම්පන්න ජීිවිතයක් ගත කරන අතර ඇගේ මතක ශක්තියේ ද අඩුවක් නැත. දිනපතා තනිවම ඇවිදීමට යන ඇය පවසන්නේ වාඩි වී සිටියහොත් තමා ඉක්මනින් මිය යන බවය. අපේ රටේ වයස පනහ ඉක්ම වූ පසු තමා මහලු යයි සිතන කාන්තාවනට ඇය හොඳ ආදර්ශයකි.

ඇගේ ළමා කාලය එකල විසූ වෙනත් බොහෝ දරුවන්ගේ මෙන් අඳුරු එකක් විය. ඇයට වයස අවුරුදු 17 වෙද්දී පියා මිය ගියේය. ඇගේ මව නිතරම ඩාග්නිව හෙළා තලා කතා කරමින් ඇගේ ආත්ම විශ්වාසය පලුදු කළාය. ඇගේ මව වඩාත් ආදරය කළේ දෙවෙනි දුවටය. දුප්පත්කමත්, මවගේ අඩු තක්සේරුවත් නිසා ළාබාල වියේදීම ඇඳුම් මසන්නියක සේ රැකියාව කළ ඇය 1942 දී රග්නාර් නෝර්ලින් සමඟ විවාහ වූ මුත් ඔහුගේ බේබදුකම සමඟ ඈඳුණු කෲරකම් ඇයට ඉවසිය නොහැකි විය. ඇයට තම මිතුරියන් හමුවීමට යාම වැළැක්වීම සඳහා දිනක් ඔහු ඇය අල්මාරියක් තුළට දමා වසා තැබුවේය. තවදුරටත් ඉවසුම් නොදුන් ඇය 1951 දී ඔහු හැර දමා මල්ලකට ඇඳුම් කිහිපයක් දමාගෙන තනිවම ස්ටොක්හෝම් කරා පැමිණ ඇත. රෙදිපිලි නිෂ්පාදනය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනයක් ලැබූ ඇය ඉන් පසු එවැනි ආයතනයක වැඩ බලන්නියක ලෙස සේවය ඇරඹුවාය. ඒ අතර ඇයට හැරී කාල්සොන් නමැත්තෙකු හමු විය. ඔහු ඉතා කරුණාවන්ත අයෙකු බව වටහා ගත් ඇය ඔහු හා විවාහ වී තවදුරටත් අධ්‍යාපනය ලැබූ අතර ඇය අවසන් අවදියේ සේවය කළේ රක්ෂණ දෙපාර්තමේන්තුවේය.

 

2004 වර්ෂයේ හැරී මිය යනතුරු ඉතා සතුටින් ජීවත් වූ බව ඇය පවසන්නේ හිස් අවකාශය දෙස බලමිනි. ඒ යටගිලුණු දෙනෙත්වල තවමත් සැමියා නැති ශෝකය සටහන්ව ඇත. එවිට ඇයට වයස අවුරුදු 92 කි. තම ආදර සැමියා මියගියදා තමාට ජීවත්වීමේ ආශාව නැතිව ගිය බව ඇය පැවසුවාය. ජීවිතය ගැන තවත් බලාපොරොත්තු තබා ගත නොහැකි බව සිතූ ඇය තමා සතු සියලු දේපළ පිළිකා සංවිධානයට පරිත්‍යාග කළාය. එහෙත් ඇය මියැදුණේ නැත. ‘මා නොමළ නිසා මා ජීවත් විය යුතු වූවා’ යි ඇය සිනාසෙමින් කීවාය. ඉන් පසු ඇය ජීවත්වීම සඳහා කුමක් හෝ දෙයක නිරත විය යුතු යයි සිතා පරිගණක පුහුණුව සඳහා ගියාය. ඇය පරිගණක පුහුණුව ලැබූයේ වයස අවුරුදු 99 දීය.

‘ජීවිතය පටන් ගන්නේ අවුරුදු සීයෙන්’ නමින් ඇය ගැන ස්වීඩන් රූපවාහිනිය වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කළේය. එවිට ඇගේ වයස අවුරුදු 103 කි. ඇයට වයස අවුරුදු 104 පිරුණු දා ‘එකසිය හතර හැවිරිදි ඇගේ හිස’ නමින් ඇගේ පොත එළිදැක්විණි. ඒ හැර ඇය වෙනත් බොහෝ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන්වලට සහභාගි වී ඇති අතර ‘බිල නොගෙවා අතුරුදන් වූ එකසිය එක් හැවිරිදි මිනිසා’ චිත්‍රපටයේ ද සුළු චරිතයක් රඟපෑවාය. ‘නාකි වෙන එකෙත් හොඳක් තියෙනවා’ යි ඇය කීවේ රූපවාහිනී හා පුවත්පත් වාර්තාකරුවන් ඇය නිතර හමුවීමට පටන් ගත් පසුය. ඇගේ කැලැන්ඩරයේ හිස් දවසක් සොයා ගත නොහැකි විය.

වයස අවුරුදු 106 දී ඇය කාරයක හැපී තුවාල සිදු විය. ‘මට තවත් වයස තියෙනවා’ සතියකට පසු අතේ වෙලුම් සහිතව රෝහලෙන් පිටව නිවසට යමින් ඇය සිනාසෙමින් කීවාය.

වැඩිකල් ජීවත්වීමේ රහස කුමක්දැයි ඇසූ ප්‍රශ්නයට ඇය පිළිතුරු දුන්නේ ‘වඩා හොඳ ජාන සහ කුතුහලය’ බවයි. නිතරම වැඩවල යෙදිය යුතු බව ඇය කියයි. තවමත් දිනපතා ඇවිදින ඇය ‘කකුල් විතරක් පාවිච්චි කළාට මදි, ඔළුවත් පාවිච්චි කළ යුතුයි’ කියමින් දිනපතා රාත්‍රී නින්දට යාමට පෙර සිය බ්ලොක් පිටුවේ නොයෙකුත් මාතෘකා යටතේ සටහන් තබයි. ලෝකයේ දේශගුණික වෙනස්වීම් නිසා සිදු වන හානි ගැනත් පරිසරය රැක ගැනීමට සියලු දෙනා මහන්සි ගත යුතු බවත් ඇය සිය බ්ලොග් පිටුවේ නොබෝදා ලියා තිබුණි.

 

ඩාග්නි ඔබට තව බොහෝ කල් ජීවත්වීමට ලැබේවා!

 

 

ප්‍රියංවදා ඇම්. බන්දුවර්දන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.