වීරු දේව්ගන් අභාවප්‍රාප්ත වේ

මැයි 28, 2019
බොලිවුඩ් සටන් අධ්‍යක්ෂ වීරු දේව්ගන් අභාවප්‍රාප්ත වේ
 
බොලිවුඩ් සිනමාවේ ප්‍රවීණ සටන් අධ්‍යක්ෂවරයකු වූ වීරු දේව්ගන් ඊයේ (මැයි 27) අභාවප්‍රාප්ත විය. නළුවකු, නිෂ්පාදකවරයකු, සහය අධ්‍යක්ෂවරයකු, තිරරචකයකු සහ අධ්‍යක්ෂවරයකු වන වීරු දේව්ගන් ජනප්‍රිය බොලිවුඩ් නළු අජේ දේව්ගන්ගේ පියාණන් වේ. 
 
වීරු දේව්ගන් බොලිවුඩ් සිනමා නිර්මාණ 80ට වැඩි ප්‍රමාණයක සටන් අධ්‍යක්ෂණය කර තිබේ.
 
Kranti, Aaj Ka Arjun, Mr Natwarlal, Mr India, Shahenshah, Tridev වැනි චිත්‍රපටවල වීරුගේ සටන් අධ්‍යක්ෂණයන් ඇතුළත් වන අතර සිය පුතු අජේ රංගනයෙන් දායක වූ Ishq, Dilwale චිත්‍රපටවල ද සටන් අධ්‍යක්ෂණය කරන ලද්දේ ඔහු විසිනි.
 
Kranti (1981), Sourabh (1979), Singhasan(1986) චිත්‍රපට වලට රංගනයෙන් ද දායක වූ ඔහු Hindustan Ki Kasam (1999) නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය. 
 
අජේ දේව්ගන්, අමිතාබ් බච්චන්, මනීෂා කොයිරාල මහ සුෂ්මිතා සෙන් එහි රංගනයෙන් දායක වූහ. පසුගිය පෙබරවාරි මාසයේදී තිරගත කළ Total Dhamaal චිත්‍රපටයේ ඔහු විශේෂ දර්ශනයක් වෙනුවෙන් පෙනී සිටියේය.
 
77 වැනි වියේ පසු වූ වීරු දේව්ගන් ශ්වසන අපහසුතාවක් හේතුවෙන් මුම්බායිහි රෝහලක් වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් අද පෙරවරුවේ දිවියෙන් සමුගත්තේය.
 
වීරු දේව්ගන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (මැයි 27) පස්වරුවේදී සිදු කළ අතර අභාවය සැළ වූ අවස්ථාවේ පටන් අමිතාබ් බච්චන්, අනිල් කපූර්, ශාරුක් ඛාන්, සංජේ දත්, අභිෂේක් බච්චන්, ඓශවර්යා රායි බච්චන්, සනී ඩියෝල්, අර්ජුන් කපූර් ඇතුලු බොලිවුඩයේ හිතවතුන් රැසක් සිය සංවේගය පළ කිරීමට දේව්ගන් නිවසට පැමිණියහ.
 
 

Add new comment