තිත්ත ඇත්ත ගමට යයි

ජුනි 13, 2019

තිත්ත ඇත්ත සිනමාපටය ගම් මට්ටමින් ප්‍රදර්ශනය ආරම්භ කොට ඇති වග එහි අධ්‍යක්ෂ ප්‍රීතිරාජ් වීරරත්න පවසයි. ඉකුත් අප්‍රේල් 20 වැනිදා තිරගත වීම ආරම්භ වූ එම සිනමාපටය දින පනහ සපිරෙද්දී මෙලෙස ගමට ගෙන ගොස් තිබේ. ආදායම් වාර්තා තැබූ නොම්මර 17 ඇතුළු සිනමාපට රැසක් නිෂ්පාදනය කළ ප්‍රීතිරාජ්ගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය වන්නේ තිත්ත ඇත්ත වේ. දූෂිත දේශපාලඥයකු වටා ගෙතී ඇති කතා පුවතකින් සමන්විත මෙහි තිර රචනය ද අධ්‍යක්ෂවරයාගෙනි. ටෙනිසන් කුරේ, දොන් ගයි, සුසිලා කෝට්ටේගොඩ, චතුර පෙරේරා, මධුෂානි වික්‍රමසිංහ ඇතුළු නළු නිළියන් රැසක් තිත්ත ඇත්ත සඳහා රංගනයෙන් දායක වී ඇත. ප්‍රීතිරාජ් අධ්‍යක්ෂණය කළ තවත් සිනමාපට යුවළක් තිරගත කිරීමට සූදානමිනි. ඒ රශ්මි සහ එදත් දිනුම් අදත් දිනුම්ය.