තවත් ඓතිහාසික කථා පුවතක් සිංහල ස්වදේශීය සේවයට

ජූලි 11, 2019

 ගුවන් විදුලි සංස්ථාවේ ඓතිහාසික නාට්‍ය ආකෘතියට යළි ජීවය ලබා දීමට ස්වදේශීය සේවය පසුගිය දින සිපගත් අසිපත නමින් නාට්‍ය මාලාවක් ඇරඹීය. එහි සමාරම්භක උත්සවය ගුවන් විදුලි සංස්ථාවේ සභාපති මාලක තල්වත්ත, අධ්‍යක්ෂ ජනරාල් එරානන්ද හෙට්ටිආරච්චි සහ සිංහල සේවයේ අධ්‍යක්ෂ ඉන්දික ජයරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම මස 21 වැනි දින සිට සෑම ඉරිදා දිනකම රාත්‍රී 7.00 සිට 7.30 දක්වා සිංහල ස්වදේශීය සේවයේ තරංග මාලා ’91.7 / 91.9’ ඔස්සේ මෙම නාට්‍ය විසුරුවා හැරේ.

 සිපගත් අසිපත’ ගුවන් විදුලි නාට්‍යයේ පිටපත සහ නිෂ්පාදනය නාට්‍ය ශිල්පිනී ඉනෝකා බොතේජු ගෙනි. නාද සංකලනය නදීරා මනම්පේරි සමග මංජුල සෙනවිරත්නගෙනි.  සිපගත් අසිපත නාට්‍ය පිටපතට උපදේශකත්වය ලබා දෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංගයි.

නෙතලි නානායක්කාර, කුමාරි මුණසිංහ, කමල් දේශප්‍රිය, රත්නා ලාලනී ජයකොඩි, නිලුකා රේඛානි, සෝමදාස සූරියආරච්චි, රෝහණ සිරිවර්ධන, රත්න ඩී නම්බුගේ, පබෝධා සංදීපනි, සුදර්ශන බණ්ඩාර, බුද්ධික රෝෂාන්, තාරක ජයරුවන්, ප්‍රියන්තිනි ගමගේ, සුමනා අබේසිංහ, ෆර්නි රෝෂණී, අජිත් ක්‍රිශාන්ත සේරම්, තිළිණි ගුණවර්ධන ගුවනට රංගනයෙන් හඬ මුසු කරති.

 සිපගත් අසිපත’ නාට්‍යයේ පළමු පටිගත කිරීම පසුගිය 2 වැනි දින සවස ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි අංක 10 දී නාට්‍ය සඳහා සහභාගි වන නළු නිළියන් සියලු දෙනාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

 

Add new comment