Avatar පරදා මාවල් වීරයන් අංක එකට

ජූලි 22, 2019
දස වසරකට පසු පසුගියදා ලෝක සිනමා වාර්තා පොතේ අලුත් විය.
 
එනම් වසර දහයක් පුරා ලොව වැඩිම ආදායම් ලද චිත්‍රපටය ලෙස නම් දරා සිටි ජේම්ස් කැමරන් අධ්‍යක්ෂණය කළ Avatar චිත්‍රපටය දෙවැනි ස්ථානය පත් කරමින් ජෝ සහ ඇන්තනි රූසෝ සහෝදරයන් විසින් අධ්‍යක්ෂණය කළ Avengers: Endgame චිත්‍රපටය පළමු ස්ථානයට පත් වීමයි.
 
මේ වන විට එය වාර්තා කර ඇති ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 2.790කි. 2009 වසරේ තිරගත කළ Avatar චිත්‍රපටය වාර්තා කළ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 2.789ක් විය.
 
මාවල් චිත්‍රකතා සමඟින් පැමිණි මාවල් සිනමා විශ්වයේ සුපිරි වීරයන්ගේ වික්‍රමයන් ගෙන එන 22 වැනි සිනමා නිර්මාණය ලෙස පසුගිය අප්‍රේල් 26 වැනිදා සිට ලොවපුරා තිරගත වීම ආරම්භ කළ Avengers: Endgame චිත්‍රපටය Avengers: Infinity War (2018) චිත්‍රපටයේ දෙවැනි චිත්‍රපටය යි. එහි රොබට් ඩවිනි ජුනියර්, ක්‍රිස් එවන්ස්, මාර්ක් රුෆොලෝ, ක්‍රිස් හෙම්ස්වර්ත්, ස්කාර්ලට් ජොහැන්සන්, ජෙරමි රේනර්, බ්‍රියේ ලාර්සන්, බ්‍රැඩ්ලි කූපර්, පෝල් රුඩ්, ජෝෂ් බ්‍රෝලින් ඇතුලු පිරිසක් රංගනයෙන් දායක වූහ. මේ වන විට ලොව ඉහළම ආදායම් ලද චිත්‍රපට ලැයිස්තුවේ මුල් චිත්‍රපට 10 අතරට මාවල් සිනමා විශ්වයේ චිත්‍රපට 04ක් ඇතුළත් වී ඇත. 
 
මේ වන විට මාවල් සිනමා විශ්වයේ අදියර තුනක් යටතේ චිත්‍රපට 23ක් තිරගත වී ඇති අතර සිව්වන අදියර යටතේ Black Widow (2020), The Eternals (2020), Shang-Chi and the Legend of the Ten Rings (2021), Doctor Strange in the Multiverse of Madness (2021), Thor: Love and Thunder (2021) චිත්‍රපට තිරගත කිරීමට නියමිතය. Avatar චිත්‍රපටයේ දෙවැනි සහ තෙවැනි චිත්‍රපට පිළිවෙලින් 2021 සහ 2023 වසරවල තිරගත කිරීමට නියමිත බව ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් නිවේදනයන්හි සඳහන් වේ.
 

Add new comment