එදා සරසවිය කාර්යාලය මෙදා තිරයට නැඟෙයි

අගෝස්තු 29, 2019

සරසවිය පුවත්පත පසුබිම් කොට තැනෙන වෘතාන්තමය චිත්‍රපටයක තතු අප පසුගියදා අනාවරණය කළෙමු. ඒ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ මිදුණු විශ්වයයි. මෙම චිත්‍රපටය සඳහා අපූරු පසුතලයක් මරදාන දුම්රිය අංගනයේදී ඉදි කෙරිණ. ඒ 1960 දශකයේ ලේක්හවුස් මන්දිරයේ පැවති සරසවිය කාර්යාලයයි. එහි රූපගත කිරීම් සිදු කිරීමෙන් අනතුරුව ලේක්හවුස් පරිශ්‍රයේද දර්ශන තල ලෙස යොදා ගනිමින් චිත්‍රපටයේ වැඩ කටයුතු ඉදිරියට සිදු කෙරිණි.

රුවන් ජයසිංහ මිදුණු විශ්වය නිෂ්පාදනය කරන අතර හැටේ දශකයේ සිනමා නිළියකගේ ජීවන කතාව ඇසුරෙන් මෙහි තිර රචනය නිම කොට තිබේ. ශ්‍රියන්ත මෙන්ඩිස්, උද්දික ප්‍රේමරත්න, උදාරි වර්ණකුලසූරිය, බුද්ධික ජයරත්න, කුසුම් රේණු, චුලක්ෂි රණතුංග මෙහි ප්‍රධාන චරිත රංනයේ යෙදෙති.

නිමල් ෆ්‍රැන්සිස් සහාය අධ්‍යක්ෂවරයාය. ප්‍රවීන් ජයරත්න කැමරා අධ්‍යක්ෂණයෙන් සහ සංස්කරණයෙන් දායක වෙයි. ප්‍රසන්න ඉත්තෑපාන නිෂ්පාදන කළමනාකරුය. නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂණයෙන් එකතු වේ. දමිතා අබේරත්න, කුෂානි සඳරේඛා සහ ලෙස්ලි තෝමස් ගායනයෙන් දායක වේ. ඉන්දික උදාර ලංකාගේ අංග රචනයකි. පියතිස්ස අකුරම්බොඩ කලා අධ්‍යක්ෂවරයාය. මිදුණු විශ්වය හි තිර රචනය ජයන්ත චන්ද්‍රසිරිගෙනි. චිත්‍රපටයේ නිශ්චල ඡායාරූප ධම්මික පතිරත්නගෙනි.