රවුඩි බේබි නමින් ජනප්‍රිය සචිනි කලටුවාව

ඔක්තෝබර් 10, 2019

සංගීත නිර්මාණකාරිණියක ලෙසින් ඉදිරිය දැකීමට සූදානම් වන ඇය සචිනි කලටුවාවයි. ඇය සංගීතයට ළෙංගතු වන්නේ පල්ලියේ කන්තාරු කණ්ඩායම හා එක්වීම නිසාය. ගීතිකා ගැයීමට ඉමහත් දස්කමක් දැක් වූ සචිනි තමා විසින්ම ගීතිකා නිර්මාණය කිරීමට පසුව පෙළඹුණාය. ශේන් සිං නමැති යොවුන් ගායකයාගේ ආරාධනයෙන් ලයින් වන් බැන්ඩ් කණ්ඩායමට එකතු වූ ඇය කලක් එහි නිත්‍ය ගායිකාව ලෙසින් කටයුතු කළාය. ක්‍රමයෙන් කාර්යබහුල වූ සචිනි ඉන් ඉවත්ව අද වන විට තනි ගායිකාවක වශයෙන් කටයුතු කරන්නීය.

ඇයට එලෙස කටයුතු කරද්දී මිස් ඇන් මිසිස් වර්ල්්ඩ් නෝබල් ක්වීන් ශ්‍රී ලංකා තරගාවලියෙහි තේමා ගීතය නිර්මාණයට මඟ පෑදෙයි. ලංකා රැජන ලෙසට නම් වූ එහි පද සංගීතය සහ ගායනය ඇයගේය. එක්තරා රූපවාහිනී නාළිකාවක වැඩ සටහනකට සහභාගි වූ ඇය එහිදී විදෙස් ගීතයක් වූ රවුඩි බේබි ගැයීය. එතැන් පටන් බොහෝ දෙනෙකු ඇය හඳුන් වන්නේ රවුඩි බේබි නමිනි. මේ වන විට සචිනි සිය නිවෙසේ හඬ පාලනය උගන්වන ආයතනයක් වෝකල් විත් සචිනි නමින් පවත්වාගෙන යයි.