රැඟුමෙන් ගැයුමට තිලක් උඩතැන්න

ඔක්තෝබර් 24, 2019

කන්ද උඩරට කොත්මලේ මාවෙල නම් වු සුන්දර ගම්මානයේ උපන් තිලක් උඩතැන්න කුඩාම අවදියේ සිට ගායනය, රංගනය හා ලේඛන යන අංශ ත්‍රිත්වයෙන් දස්කම් පෑවේය.

රංගන ශිල්පී ජයලාල් රෝහණ යටතේ රංගන කලාවත්, විශාරද සමන්ත පෙරේරා මහතා යටතේ ගායන හඬ පාලනය පිළිබඳ මූලික අධ්‍යාපනය හැදෑරූ අතර තිලක් උඩතැන්නගේ පළමු වන ගීතය ලංකාවේ ජනප්‍රිය ගී පද රචකයකු වන නිලාර් එන්. කාසිම් හා සංගීතය විශාරද සමන්ත පෙරේරා අතින් සිදු විය.

මේ වන විට තමන්ගේම ගීත හතරක් පටිගත කර ඇති තිලක් උඩතැන්න ‘ගිනි අවියක රැඳි සෙනෙහස හා වින්ද දුක් මේ තරම්’ නවකතා ද්විත්වය ද රචනා කොට තිබේ.

රංගනය අංශයෙන් ගත් විට දැනට ටෙලි නාට්‍ය 19 ක හා චිත්‍රපට 06 ක රංගනයෙන් දායක වී ඇත. වාසනා වේවා, මිලා, සිඳු, සිද්ධාර්ථ ගෞතම ඉන් කිහිපයකි.

මේ අතර මොහාන් නියාස්ගේ ‘හිතට වහල් වීමි’ ටෙලි නාට්‍යයේ සහ තිරගතවීමට නියමිත ඉමෝකා සත්‍යංගනීගේ ‘සින්ඩරෙල්ලා 2’ චිත්‍රපටයේ සැලකිය යුතු චරිත නිරූපණය කළේය. ඉදිරියේ තිරගතවීමට නියමිත චිත්‍රපට හා ටෙලි නාට්‍ය ගණනාවක රංගනයෙන් දායක වී ඇත. වසර 15 ක පමණ රංගන දිවියට අල්ප මාත්‍රයක හෝ උපකාර කළ සියලුම දෙනාට හද පත්ලෙන් ගෞරවය කරන අතර ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය, ඉනෝකා සත්‍යංගනී, මොහාන් නියාස්, සුමිත් ගල්හේන, රංගන ශිල්පී රාජසිංහ ලෝලුවාගොඩ, ප්‍රදීප් මානවඩු විශේෂයෙන් සිහිපත් කරයි.

ප්‍රසාද් 
තිලක්/නිශ්ශංක